හුස්ම රකින යුතු­කම සින්දුවෙන් කියන දොස්තර

Monday, August 16, 2021 , 0 Comments




කොවිඩ් 19 වසංගතය තරම් මෑත කාලයේ කතාබහට යොමුවූ මාතෘකාවක් නැති තරම්...ජනප්‍රිය ගායන ශිල්පියකු මෙන්ම වෛද්‍යවරයකු වන ප්‍රදීප් රංගන මේ වන විට සේවය කරන්නේ බළංගොඩ ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහලකයි. කොවිඩ් වසංගත අවදානමත් සමඟ වසර දෙකකට ආසන්න කාලයක් ගතකරන ඔහුට ඒ සම්බන්ධ ඇති අත්දැකීම් බොහෝය. ඒ නිසාමදෝ ප්‍රදීප් රංගන විසින් ගයන අලුත්ම ගීතයද කොවිඩ් 19 සම්බන්ධ වූවකි. ´හුස්මේ යුතුකම´යනුවෙන් නම් කර තිබෙන එම ගීතය ගැන සහ ඔහුගේ අලුත්ම තොරතුරු ගැන   වෛද්‍ය ප්‍රදීප් රංගන මෙලස පුවත්පතක් සමඟින් විස්තර පවසා තිබුනා.


 

“මම වැඩකරන ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයේදී කොරෝනා රෝග ලක්ෂණ සහිත රෝගීන් බොහෝ දෙනකු හමුවුණත් බාහිර රෝගී අංශයේදී අපට සීයට සීයක්ම නිශ්චිතවම කියන්න බැහැ මේ රෝගය කෙනෙකුට තියෙනවා කියලා. රෝග ලක්ෂණ අනුව තමයි අපි තීරණය කරන්නේ මේ රෝගය තියෙනවද කියලා. මේ වසංගතය ආව දා සිටම එවැනි අවදානමක් එක්කයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි හැමෝම වැඩ කරන්නේ.


බාහිර රෝගී අංශයේදී කොවිඩ් යැයි සැක සහිත රෝගියෙක් හමුවුණාම අපි කරන්නේ ළඟම තිබෙන බළංගොඩ මූලික රෝහලට යවලා අදාළ පරීක්ෂාවන් සඳහා යොමුකිරීමයි. ඊට අමතරව දරුවන් බිහිකළ කොවිඩ් ආසාදිත මවුවරු දවස් කීපකයට පසුව බළංගොඩ රෝහලෙන් අපේ රෝහලට යොමු කරනවා. අපි ඉතිරි දවස් කිහිපය ඔවුන්ව රැකබලා ගත යුතුයි.” වෛද්‍ය ප්‍රදීප් රංගන සිය වෘත්තීය වගකීම් පිළිබඳ පැහැදිලි කරමින් එසේ කීවේය. ඒ සමඟ කොවිඩ් සම්බන්ධ ගීතය ගැනද අප ඔහුගෙන් විමසුවෙමු.



මේ ගීතය එළිදැක්වුණේ මීට මාස එකහමාරකට පමණ පෙර. කොවිඩ් සම්බන්ධයෙන් මුලින්ම බො‍හෝ ගීත නිර්මාණ බිහි වුණා. නමුත් පසුගිය කාලයේදී ඒ ගැන ගීතයක් කෙරුණේ නැහැ. ඒ වගේම ඇතැම් අය කොවිඩ් සම්බන්ධයෙන් වගකීමකින් තොරව හැසිරෙන නිසා ඒ ගැන දැනුම්වත් කිරීමක් කිරීමට ගීතයක් කළ යුතු යැයි මට සිතුණා.


මේ ගීතයෙන් කියවෙන්නෙ තව හුස්මක් වෙනුවෙන් තම හුස්මේ යුතුකම ඉටු කරමු කියන අදහසයි. ශ්‍රී ලාංකික අපි ජාතික අභිමානයක්, විනයක් සහිත, අනුන්ට උදවු කරන, විපතේදී එකට නැඟී සිටින මානසිකත්වයක් තියෙන මිනිසුන් බව නැවත නැවතත් පසක් කරන්නයි මට අවශ්‍ය වුණේ.


මේ අසීරු කාල වකවානුව ගත කරන්නට අපි සියලු දෙනාගේම දායකත්වය අවශ්‍යයි. ඒ සඳහා අපේ යුතුකම ඉටුකරමු කියන පණිවිඩය තමයි මම ඒ ගීතයෙන් කියන්නේ. ගීතයේ පද රචනය අරුණ වාසුන්දර. ගීතය සංගීතවත් කළේ මම වුණාට සංගීත වීඩියෝව කළේ ස්වර්ණවාහිනියෙන්.”


ගීතයට ලැබෙන ප්‍රතිචාර ගැන ඔහු මෙසේ කීවේය.


“මම මෙයින් ආමන්ත්‍රණය කළේ සෞඛ්‍ය නීති කඩකරන සුළුතර පිරිසටයි. අපි දන්නෙ නැහැ මේ වසංගතය සමඟ අපට තව කොතෙක්කල් ජීවත් වන්න සිදුවෙයිද කියලා. ඒත් ඒ දක්වා අපි අපේ වගකීම ඉටුකරමු කියන පණිවිඩය සමාජයට දෙන්නයි මට අවශ්‍ය වුණේ. මේ ගීතය වෙනස් වගේම ලැබෙන ප්‍රතිචාරත් වෙනස් සහ විවිධාකාරයි.”


රටේ තිබෙන අවදානම් තත්ත්වයත් සමඟ විශාල වශයෙන් කලා කටයුතුවල නියැළීමට හැකියාවක් නැතත් මීට සිවු මසකට පමණ පෙර තමා විසින් නිකුත් කළ ´ජීවිතේ චාරිකා´ නම් ගීය පිළිබඳවද වෛද්‍ය ප්‍රදීප් රංගන දැක්වූයේ මෙවැනි අදහසකි.


“ඒ ගීතයත් මගේ අනිත් නිර්මාණවලට වඩා වෙනස් හැඩයක් ගත් ගීතයක් . එය විනෝද වෙන්න පුළුවන්, ටිකක් නටන්න පුළුවන් රිද්මයක් සහිත ගීතයක්. මිනිස්සු පීඩනයෙන් ඉන්න කාලයක ඒ පීඩනය, ආතතිය නිදහස් කරගන්න අවස්ථාවක් තිබිය යුතුයි කියන හැඟීමෙන් තමයි මම එම ගීතය කළේ. ¨


රාජකාරී වගකීම් අතර ලැබෙන විවේකය දයාබර බිරිය සහ දියණිය සමඟ ගෙවන්නට රිසි බව ඔහු පැවසුවේ සොම්නසිනි.


“අපි එන්නත් ලබාගෙන හිටියත් අපේ ශරීරය තුළින් තවත් කෙනෙකුට වයිරසය යන්න පුළුවන්.


ඒ නිසා හැකිතරම් පරෙස්සම් වෙනවා. මේ වෙලාවේ හැමදෙනාටම ඒ වගකීම ගැන මතක් කරන්න කැමතියි. සුළු පිරිසක් සෞඛ්‍ය නීති පිළිනොපැදීමෙන් සමස්ත සමාජයම අනතුරට පත්වෙනවා.


තමන් මොන රාජකාරිය කළත් මාස්ක් එක හරියට පලඳින්න. දුරස්ථ බව තියාගන්න. නිතරම අත් සෝදා පිරිසුදුව තබාගන්න. විෂබීජ නාශක පාවිච්චි කරන්න. මේ උවදුර වළක්වා ගැනීමට ජනතාවගේ සහයෝගය සියයට සියයක්ම ලැබිය යුතු බව කිව යුතුමයි¨