මම පෙරේතකමට අනුන්ගේ වැඩ උදුරගන්නේ නැහැ - නදීර නෝනිස්

Friday, August 13, 2021 , 0 Comments




ඔහු දක්ෂ ගායකයෙක්ම මෙන්ම වාදකයෙක්ද වනවා. කණ්ඩායම් සංගීතය තුළින් තම අනන්‍යතාව ගොඩනඟාගත් ඔහු නමින් නදීර නෝනිස්. මේ වන විට තමාගේම සංගීත කණ්ඩායමක් පිහිටුවා ගනිමින් සංගීත ක්ෂේත්‍රය  තුළ ඉදිරියටම යන ඔහුගේ නවතම තතු ගැන ෙමලස පුවත්පතකට පවසා තිබුනා.


කොහොමද මේ දවස්වල ජීවිතය?


මේ දවස්වල සංගීත ප්‍රසංග මුකුත් පැවැත්වෙන්නේ නැහැනේ. ඉදිරියේදි Wedding කිහිපයක් නම් තිබෙනවා. ඊට අමතරව TV Programmes කිහිපයකටත් සම්බන්ධ වුණා. ඒ වගේම සංගීත කටයුතු පැත්තෙන් මගේ අලුත් ගීත නිර්මාණ කිහිපයකුත් කළා. ඒ වගේම දරුවෝ දෙන්නත් නිවෙසට වෙල ඉන්නවානේ. ඉතින් දුවයි, පුතයි දෙන්නත් ඉගෙන ගන්නා ගමන් සංගීත වැඩ කටයුතුවලටත් සම්බන්ධ වෙන නිසා ඔවුන්ගේ වැඩවලටත් උදවු වෙනවා.


මුලින්ම ඔබගේ අලුත්ම නිර්මාණ ගැන කතා කළොත්?


මම අලුතින් ගීත නිර්මාණ 3ක් කළා. ප්‍රේමාදරී කියන මගේ අලුත්ම ගීතයට Music Video එක පසුගියදා කළා. තම "ඔයාට පින්" සහ "සාරා" කියලත් ගීත දෙකක් නිර්මාණය කළා. සාරා කියන ගීතයේ මෙලඩි එක සහ සංගීතය මගේ අතින් නිර්මාණය වුණා. "ඔයාට පින්"  කියන ගීතයේ කටයුතු ශෙනාල් මද්දුමගේ අතින් නිර්මාණය වුණා චතුරික ගිහාන් එහි පද රචනා කළා. "ප්‍රේමාදරී" ගීතය ප්‍රදීප් කියන මල්ලි අතින් ලියවුණා. එම ගීතය නිර්මාණය කළේ ඉසුරු කියන මල්ලි.



ඔබගේ දරුවනුත් කලාවට දක්ෂතා දක්වනවානේ. අපි ඔවුන්ගේ එම හැකියාවන් ගැනත් මතක් කරමු?

ඇත්තටම ඔව්. දරුවෝ දෙන්නාත් මාත් සමඟ විවිධ වැඩසටහන්වලටත් සම්බන්ධ වුණා. ඒ වරෙන්ම ඉතින් දරුවෝ දෙන්නා කුඩා කාලයේ ඉඳන්ම සංගීතය සමඟන්නේ හැදුණේ වැඩුනේ.  දැන් ඉතින් ඔවුන් දෙදෙනාම සංගීතය වැඩිදුරටත් ඉගෙන ගන්නවා. සංගීත භාණ්ඩ වාදනය පැත්තෙන් පියානෝව ඉගෙන ගන්නවා. ගායනය නම් නිවෙසේදීම අධ්‍යයනය කරනවා.  Western Music වලට තමයි දෙන්නම දක්‍ෂ. කොහොම නමුත් දරුවෝ දෙන්නම සංගීතයට ගොඩක් දක්ෂතා දක්වනවා.


පසුගිය දිනවල ඔබව නර්තන තරගාවලියකදීත් දැකගන්නට ලැබුණා. ඒ අත්දැකීම කොයි වගේද?

ඇත්තටම එය මට අලුත් අත්දැකීමක්. මොකද එහි සිටින සියලුම තරගකරුවන් ගොඩක් දක්ෂ අය. මටත් වඩා පොඩ්ඩක් තරුණ අය තමයි හිටියේ. ඒ නිසාම මට සෑහෙන ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිදුවුණා. පළමු වටයෙන් තේරී පත්වී දෙවැනි වටයෙන් මට තරගයෙන් ඉවත් වෙන්න සිදුවුණා. එතරම්ම එහි තරගකාරී බව වැඩියි. නමුත් ඉතින්  එවැනි තරගයකට සම්බන්ධවීමට ලැබීම ගැන ඇත්තටම සතුටුයි. මොකද එතැන හිටපු එකම ගායන ශිල්පියා මමයි.


ඒ කියන්නේ නදීර නෝනිස් කියන ගායන ශිල්පියා නර්තනයටත් දක්ෂයෙක්ද?


ඇත්තටම නර්තනය කුඩා කාලයේ සිටම මගේ ඇඟේ තිබුණු දෙයක්. නර්තනයට මම එහෙම අමතරව පන්ති ගිහින් නම් නැහැ. නමුත් ඉතින් Hip hop Dance, Break Dance, Floor Dance Style වගේ නර්තන ශෛලීන් මගේ ඇඟෙන්ම තිබුණා. ඉතින් නර්තනයට ඇති ආසාව නිසාම තමයි මම එවැනි නර්තන ශෛලීන් අනුගමනය කරන්නේ.


ගීත ගායන හැකියාව ඔබට පවුලෙන් ලැබුණු දෙයක්ද?


ඇත්තටම ඔව්. මගේ තාත්තාට හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. ඔහුගේ එම හැකියාව මටත් පිහිටලා තිබෙනවා කියලා මම හිතනවා. අප කතෝලික පවුලක් නිසා අපි අපේ දේවස්ථානයත් සමඟ වැඩි වශයෙන් ගනුදෙනු කළා. පල්ලිය ආසන්නයේමයි අපේ  ගෙවල් තිබෙන්නේ. කුඩා කාලයේ ඉඳලම කතෝලික පරිසරයක හැදී වැඩීමත්, පල්ලියේ  ගීතිකා ආදිය නිතරම අසන්නට ලැබීමත් නිසා සංගීතයට යොමු වුණා. පල්ලියේ ආභාසය  නිසා ගායනයට නිරායාසයෙන්ම යොමු වුණා වගේත්ම වාදන හැකියාව ගැන කියනවා නම් මගේ අයියා තමයි මුලින්ම වාදනයට යොමු වුණේ. අයියා වාදනය පුරුදු වෙනවා දැකලා  තමයි වාදනය කියන විෂයට මගේ කැමැත්ත ඇති වුණේ. මගේ පියාගෙන් මට ලැබුණු ඒ හැකියාව ඒ විදිහටම මගේ දරුවෝ දෙන්නටත් පිහිටලා තිබෙනවා. ඒ ගැන හරි සතුටුයි ඉතින්.



නදීර නෝනිස් ගැන කතා කරන විටදී කණ්ඩායම් සංගීතය ගැනත් කතා නොකරම බැහැ?


ඔව්. 2000 වසරේදී තමයි මම Flash Back සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණේ. නදීර  නෝනිස් කියන ශිල්පියාව සහ ඒ නම ජනතාව හඳුනා ගන්නේ Flash Back සංගීත කණ්ඩායම නිසයි. අද වන විට මා හට සංගීත ක්‍ෂේත්‍රය තුළ මේඳුරට පැමිණීමට එම සංගීත කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය ඉතාම ඉහළයි. ඒත් සමඟම කණ්ඩායම් සංගීතය කියන දේ මැරෙන තුරාවටම මට අමතක කරන්නට බැහැ. පසුකාලීනව වෙනත් සංගීත කණ්ඩායම් සමඟ සම්බන්ධවීමටත් Flash Back තුළ මා ගොඩනඟා ගත් අනන්‍යතාව හේතුවක් වුණා.


ඒ නිසා ඒ ගෞරවය සහ ආදරය සැමදාටම Flash Back සංගීත කණ්ඩායමේ  කළමනාකාරීතුමා වන ඩොනල්ඩ් ප්‍රනාන්දු මහතාට සහ නායකතුමා වන රොෂාන් ප්‍රනාන්දු මහතාට පුද කරනවා. රොෂාන් ප්‍රනාන්දු අයියාගෙන් කණ්ඩායම තුළදී ලද සහයෝගයත් මගේ සංගීත දිවිය සාර්ථක කර ගැනීමට ඉවහල් වුණා.


එවැනි අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමකින් ඉවත් වීමට හේතුව කුමක්ද?


ඇත්තටම ඒ වෙනකොට අපේ Flash Back සංගීත කණ්ඩායම තුළ රොෂාන් ප්‍රනාන්දු සහ කිංස්ලි පීරිස් කියන ජනප්‍රිය ගායකයන් දෙපළක්ම සිටිනවා. ඉතින් එවැනි ගායකයන් දෙදෙනෙක්ම කණ්ඩායම තුළ සිටින විටදී සංගීත කණ්ඩායම Play කරන කාලවේලාව තුළදී ගායකයන් දෙදෙනකුගේ ගීත ගායනාවලින් පසුව නැවත තවත් ගායකයකුට ගයන්න අවස්ථාව සහ කාල වේලාව ඉතිරි වුණේ නැහැ. ඒ වෙද්දී මටත් ගීත ගායනා කිරීමේ සහ ගායකයකු ලෙස ඉදිරියට ඒමේ අවශ්‍යතාව තිබුණා.


එනිසා කණ්ඩායමෙන් එළියට පැමිණියොත් මගේත්ම ගීතයක් නිර්මාණය කොටගෙන මගේම ගමනක් යා හැකියි කියන මතයේ මා සිටියා. ඒත් සමඟ මගේ අතිනුත් පොඩි පොඩි අඩුපාඩුවත් කණ්ඩායමට සිදුවුණා. පෞද්ගලික ගැටලු කිහිපයකුත් ඒත් සමඟ පැමිණීමත් නිසා මට සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්නට සිදුවුණා. ඒ වුණත් අදටත් කණ්ඩායමේ  කා සමගවත් මගේ කිසිදු තරහක් නැහැ. දැනටත් මට සංගීතය පිළිබඳ මොනා හරි දෙයක් දැනගන්න අවශ්‍ය නම් රොෂාන් ප්‍රනාන්දු අයියගෙනුත් අදහස් ලබා ගන්නවා. ඉතින් අපි අදටත් ඉතාම සුහදව කටයුතු කරනවා.


අතිශය ජනප්‍රිය වූ ඔබගේ ගීත රාශියක් තිබෙනවා. ඒ අතරින් කිහිපයක් කීවොත්?


පුංචි සමනලී, හිතට හිත පෙම් කෙරූ තරම්, පළමු අයිතිකාරයා, හිත රිදුන තරම්, දැවෙනා දුක, ඔබ නොඑන කාරණේ වැනි ගීත ගොන්නක්ම ජනප්‍රිය වුණා. ඒ වගේම මම මේ වන විට ගීත නිර්මාණ 100ක් පමණ කරලා තිබෙනවා. 


බොහෝ කලාකරුවන්ට අභියෝගයක් වූ කොරෝනා ගැටලුව ඔබට බලපෑවේ කෙසේද?


කොරෝනා ගැටලුවත් සමග සොබාදහම ලෝකයේ අපි සියලුම දෙනාටම යම්කිසි ලොකු පණිවුඩයක් දුන්නා. ඒක තමයි "කවදාහරි උඹලා සියලුම දෙනා මැරෙනවා කියන දේ මතක් කිරීම" කොරෝනාවලින් මම තේරුම් ගත්ත දෙය තමයි, පසුගිය කාලේ පුරාවටම අපි හැමෝම මුදල් පසුපසම දුවමින් හම්බ කරන්නම වෙහෙසුණේ. නමුත් ඉතින් අපිට බොහොම සරල, නිදහස් ජීවිත ගත කරන්නට පුළුවන්කම තිබියදීත් බොරුවට අපි විසින්ම කාර්යබහුල, සංකීර්ණ ජීවිත ගත කරලා තිබෙනවා.


ඔබගේ සංගීත කණ්ඩායමකුත් තිබෙනවා නේද?


ඔව්. මගේ සංගීත කණ්ඩායම "නදීර නෝනිස් ප්‍රමුඛ ඩිගිර" කියලා තමයි නම් කරලා තිබෙන්නේ. එහි වැඩකටයුතු තවදුරටත් දියුණු කරගෙන සංගීත වැඩකටයුතු ඉදිරියටම කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.


ඔබ වෘත්තීයමය සංගීත ශිල්පියෙක්ද?


ඇත්තටම ඔව්. මම වෙනත් කිසිදු රැකියාවක නිරත වෙන්නේ නැහැ. සංගීතය සමග තමයි ජීවිතයම ගත කරන්නේ. නමුත් පෙරේතකමට අනුන්ගේ වැඩ උදුරා ගන්න මම උත්සාහ කරන්නේ නැහැ. මට එන වැඩේ පාඩුවේ කරගෙන මගේ ගමන මම යනවා. ජේසු පිහිටෙන් කාලා, බිලා, දරුවන්ට උගන්වලා ජීවත් වෙන්න පුළුවන් මට්ටමේ වැඩ ටිකක් මට ලැබෙනවා. ඒ ගැන සතුටුයි.


ඔබගේ මේ සංගීත ගමනේදී බිරියගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?


අනේ ඇත්තටම මගේ බිරියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇයගෙන් ලැබෙන එම සහයෝගය නිසාමයි මට මේ තරම් දුරකට මගේ වැඩකටයුතු සාර්ථකව කරගෙන එන්න පුළුවන් වුණේ. ඉතින් ඇයවත් මේ මොහොතේ ආදරයෙන් මතක් කළ යුතුමයි.


පවුලේ විස්තර මතක් කරමු?


පුතා ජේසන් නෝනිස්. ඔහුට වයස අවුරුදු 14යි. දුව මරියා නෝනිස් ඇයට වයස අවුරුදු 12යි. වෙන්නප්පුව ශාන්ත ජෝන් පෝල් විද්‍යාලයට තමයි දරුවෝ දෙන්නම පාසල් යන්නේ. මගේ බිරිය රංගලි බණ්ඩාර නෝනිස්. ඇයත් ව්‍යාපාරික කටයුතුවල නිරත  වෙනවා. ඇයගේ වැඩකටයුතුවලට උදවෙන අතරම දරුවෝ දෙන්නට හොඳට උගන්වන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.