ඇය මට වෙඩි වැදුණු තැන අතගෑවා මිසක වෙඩි වැදුණු හේතු ඇහුවේ නැහැ - මධු

Wednesday, August 18, 2021 , 0 Comments





මධුමාධව අරවින්ද කලින් කලට කතාබහට ලක්වෙන අයෙක් ලෙස හැඳින්වීමට පුළුවන්.  බොහෝ සෙයින් විවෘතව අදහස් මුදාහරින මධුමාධව සිය කලා ජීවිතය, දේශපාලන ජීවිතය පිළිබඳව මෙන්ම පෞද්ගලික ජීවිතය පිළිබඳවත් ෙමලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


මධු මේ දවස්වල නිදහසේ ඉන්න බවක් පේනවා?


නිදහස කියන එක මං කවදත් වින්ද කෙනෙක්. මගෙන් එළියට පේන එක මොකක් වුණත් නිදහසේ ජීවත් වුණ කෙනෙක්. තාමත් අත නොසෝදා බත් කනෙත් ඒ නිදහස විඳින කෙනෙක් විදිහට.


ඒ විතරක් නෙවෙයි. මධුගේ FB පිටුවෙත් ජීවිතය විඳින සැහැල්ලු දේ ලියැවෙනවා?

මම මත පළ කරන එක අයින් කළා. මගේ මතය පැරදුණා. එතැනදී මම ඒ ඇත අවබෝධ කරගෙන මගේ ගමන යන කෙනෙක්.


මධුමාධව අරවින්ද කියන දේශපාලනඥයාට වඩා ගායකයාට මිනිස්සු ආදරය කරනවා කියන එක පිළිගන්නවාද?


ගායකයා කියන තැනදී මාව මිනිස්සු පරදවලා නැහැ. පැරදුණේ මගේ මතය. නමුත් මේ වසර 73ටම මේ රටේ ගායකයෙක් ගත්ත වැඩිම ඡන්ද ප්‍රමාණය ගත්තෙ මම. විවිධ වූ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඡන්දය ඉල්ලුවා ජනප්‍රිය ගායකයෝ. ඒ අයට ඡන්ද 5000, 7000ක් ගන්න බැරි වුණා. මම ඡන්ද අපේක්‍ෂකයෙක් විදියට ඉල්ලුවෙ මගේ මතයට එකඟ අයට විතරක් මට ඡන්දය දෙන්න කියලා. අන්‍ය ජාතීන්ගේ ඡන්දය එපා  කියලා කිව්වා. එතැනදී මගේ මතයට එකඟ වූ අය මට ඡන්දය දුන්නා. එදා මෙදා තුර ඡන්දය ඉල්ලූ ගායකයගෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ මට. මේදේත් කියන්නම ඕන. මම කවදාවත් මගේ දේශපාලන වේදිකාවට කිසිම කලාකරුවෙක් නග්ග ගත්තේ නැහැ. අහවල් තරුව මගේ වේදිකාවේ හිටිය නිසා මට ඡන්දය ලැබුණා කියන දේ අහන්න  මට ඕන වුණේ නැහැ.


මධු බිරිය නිලුව “යකඩ රෝස මල' කියලා හඳුන්වන්නෙ ඇයි කියලා දැනගන්න කැමැතියි?


යුරෝපයේ ඉඳලා ඒ සියල්ල අතඇරදාලා ඇය මෙහෙ එන මං වෙනුවෙන්. මධුමාධව අරවින්දට බාහිර ලෝකයා කියන කතා මට වගේම ඇයටත් අදාළ නැහැ. අපේ සරලකම ළඟ අන් කිසිවක් අපට බරක් නැහැ. ඇයට මගේ අතීතය නොවෙයි වැදගත් වුණේ මගේ ආදරයයි වැදගත් වුණේ. හැම ගැහැනියක් තුළම ලාලිත්‍යයක් තියෙනවා. වෙඩි වැදුණ  ගැහැනුන්ට මිනිස්සුන්ට තමන් තුළ තියෙන ඒ සැබෑව හංගන්න බැහැ මොනම හේතුවක්  නිසාවත්. හැබැයි මවාගෙන හිටිය අය තුළ ඉන්න යක්කු එළියට එනවා මම දැකලා තියෙනවා. යම් යම් දේ නිසා හැමෝම අපහාස කරමින් සිටි මගේ ජීවිතයට ඇය ඇතුළු වුණා. හැමෝටම නොදන්නා කතාවක් ඒ අයගේ ජීවිත තුළ තියෙනවා.


මගේ බිරිය නිලූටත් එහෙමයි. අම්මා, තාත්තා දෙන්නම නැති ලෝක්කුම කුඩුපට්ටම් වෙලා හිටිය ඇය සමාජය කියන විදියට චරිතය හොඳ නැති මං ගාවට එනවා. විවාහ දෙකකින් වෙන්වුණ නරකයි කියන මට ආදරය කරනවා. ඇයට දැනෙන්න ඇති මිනිස්සු කියන කෙනා නෙවෙයි ඇත්ත මම කියලා. ඇය සතු සියල්ල හැරදාලා මේ ආවෙ ඇය කෝටිපතියෙක් ළඟට නෙවෙයි. මට වෙඩි වැදුන තැන අතගාපු ඇය මට වෙඩි වැදුණ හේතු ඇහුවේ නැහැ. ඇය මගේ රිදුම සුවපත් කරද්දී බාහිර කිසිවක් ඇයට වැදගත් වුණේ නෑ ගැහැනියක් සතු ලාලිත්‍ය එක්කම ඕනෑම අභියෝගයකට ආදරණීයව මුහුණ දෙන ඇය මට "යකඩ රෝස මලක්.'


මධු මවට බොහෝ සෙයින් ආදරය කරන පුතෙක්. මවට පසු මේ ලෝකයේ දුටු හොඳම  ගැහැනිය නිලූද?

මට ගැහැනිය හැමදාමත් රස කාරකයක්. අම්මා කියන්නේ වෙනම තැනක ඉන්න කෙනෙක්. මම වන්දනාමාන කරන පිළිම දෙක මගෙ අම්මයි තාත්තයි. නිලූ කියන්නෙ මේ ලෝකෙ හොඳම ගැහැනිය කියලා මට කියන්න බැහැ. මම ගරු කරන, ප්‍රිය කරන  ගැහැනුත් ඉන්නවා මම දැකපු අය අතර වගේම නොදැකපු අය අතර. ඒ වගේම දැකලා අමතක කරන්න බැරි අරුම ගැහැනුත් ඉන්නවා මේ ජීවිතයේ. මම ඒ ප්‍රිය කරන ගැහැනු යාය තුළ මුලින්ම ඉන්න මගේ බිරිය.


තිබුණු ප්‍රේම සම්බන්ධතා සහ විවාහ ගණනින් මිනිසුන්ට නිර්වචන දෙන සමාජයක නේද අපි ඉන්නේ ? 


ප්‍රේමය පෙරහරක් වගේ දැක්ක කෙනෙක්ට ගොඩක් තැන් අල්ලගන්න පුළුවන්. මුලින්ම දැනෙන ස්පර්ශය අවුරුදු 5කට 10කට පස්සේ නොදැනෙන්න පුළුවන්. නමුත් ඊට වඩා බරට දැනෙන්නෙ හදවත ස්පර්ශ කරන ප්‍රේමය. ආදරය මට අනුව බූවල්ලා වගේ සර්වාංගයම කාවැදිලා. ඔවුන් කාවද්දපු නාල ගැලවිලා නැහැ. ඒ ගැන මට සතුටුයි. ගණන නෙවෙයි සිදුවීම තුළ ඇති මානසික සුවය හා නිදහසයි වැදගත්.


මධුමාධව අරවින්ද කියන්නේ හොඳ සැමියෙක්ද නරක සැමියෙක්ද?


මම සියල්ල හැඩිකර ගන්නවා. හැඩිකරලා තිබ්බාම අස්කර ගන්න ලේසියි. නමුත් බොහෝ අය හැඩිවුණ බව කියන්න බයයි. බුදු පිළිම වඳින, බකන කොට කූඹි ඉන්නවද කියලා හොයන බොහෝ සුදු පිළිම අතර කළු ලක්‍ෂණ තියෙනවා. ඒ වගේම හෝදන්න බැරි කුණු ගඳ මං ගාව නැහැ. මට අමුතුවෙන් දිනාගන්න දෙයක් නැහැ. කළු හංගලා සුදු  එළියට පෙන්නන්නඕන නැහැ. මොකද එහෙම පෙන්නන ගොඩක් අයගෙ සුදු  හේදිලා යනවා අපි දකිනවා වැස්සක් වහින කොට.


මධු හොඳ තාත්තා කෙනෙක්ද?


මෙහෙම කියන්නම් මම. බඩ ඇතුළේ හුස්ම ගත්ත දුවෙගෙ හොඳම තාත්තා මං. නිදි නැතිව බඩ ඇතුළේ ඉන්න දුව හෙලවෙනකල් බලා හිටිය තාත්තා කෙනෙක් මං. පිටරට ප්‍රසංගවලට ගිහින් එයාට ඔළුව තියෙන කොට්ටය පවා අරන් ඇවිල්ලා කාටවත් අල්ලන්නවත් නොදුන්න තාත්තා මම. පවුල් ජීවිතය දෙදරනකල් හිටපු හොඳම තාත්තා මම. පවුල කැඩුණම චරිතය නැතිවෙන එක කාන්තාවන්ට දරන්න බැහැ. හැම ඩිවෝස් එකකදීම වෙන්වුණාම වැරැදි වේදිකාවට නඟින්න වෙන්නෙ පිරිමියාට. එහෙම බලද්දී ලෝකෙ ඉන්න නරකම තාත්තා මම.


මධු එක්ක කතා බහට නැවතුමක් තියලා ඔහුගේ ආදරණීය බිරිය නිලුකා එක්කත් මඳක් කතා කළා.


නිලූගෙ හිත මධු ළඟ නතර වුණේ ඇයි?


ඇත්තටම මගේ හිත මධු ළඟ නතර වුණේ මට අවුරුදු 15දී. එතකොට මධු Star කෙනෙක්. මං මධුට හීන ලෝක්කෙදිත් ආදරය කළා. ඒත් මට මදුව හම්බ වෙලා කතා කරන්නවත් වෙලාවක් ලැබුණේ නැහැ. මම අවුරුදු දහසයෙන් ලංකාවෙන් ගියා. ඒත් මධු ගැන ආදරය හිත්තේ මුල්ලක තිබුණා. 


හීනයෙන් කළ ආදරය සැබෑවක් වුණහම මොන වගේ හැඟීමක්ද දැනුණේ?


අපි දෙන්නා හම්බවෙලා අවුරුදු දෙකකට පස්සේ තමයි මධු මට Propose කළේ. එතකොටත් ඔය දවස වෙනකල් ඉඟියක්වත් තිබිලා නෑ. මං එයා හින්දා වෙනස් කෙනෙක්  වුණා. බඳිනවා කියලා නොහිතපු කවදාවත් ලංකාවට එන්නෙ නෑ කියලා හිතපු මාව වෙනස් කළේ මධුගෙ ආදරය.


ඒ තරමටම වෙනස් වෙන්න මධුගෙ තිබුණ විශේෂත්වය මොකක්ද?


මධු ළඟ තියෙන්නෙ අසීමිත ආදරයක්. ඒ ආදරය ඇතුළේ Carering තියෙනවා. ඒ වගේම මධු කවදාවත් බොරු කියලා නෑ. ඒක තමයි අපි මේ තරම් දුර අරන් ආව තැන. අනික අපි හම්බ වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලම අද වෙනකල් තිබුණ විශ්වාසය සිතුවිල්ලකින්වත් වෙනසක් වෙලා තියෙනවා දැනිලා නැහැ.



ඔබ FB පිටුවේ සටහනක් ලියලා තිබුණා මධුට හැමදාටම ඉන්න දරුවා ස්වේතා විතරමයි කියලා. ඒ ඇයි? 



ආදරය කියන්නෙම පරිත්‍යාගයක්. අපි දෙන්නා අපේ ජීවිත ගැන රටවල් දෙකක ඉන්න කාලෙ ඉඳලම ඇති වෙන්න කතා කළා. එක ගෙදරක ඉන්න කෙනෙක්ට වඩා අපි දෙන්නා රටවල් දෙකක ඉඳලා අපි ගැන කතා කළා. අපි කතා කරපු රැයවල් දිගු වුණා. ඒ කතා ඇතුළේ මධු ස්වේතාට තියෙන ආදරය මං දැනගත්තා. මධු කැමැති වුණේ නෑ තව දරුවෙක්ට ආදරය දෙන්න. මම මධූගෙ වයිෆ් විදියට එතැනදී මට ආත්මාර්ථකාමී වෙන්න බැහැ. මම එයාගෙ හැම කෙනෙක්ටම ආදරය දෙනවා.


දවසක මධු මට කලින් ජීවිතේ සමුගතොත් මධුගෙන් ත්වේට යමක් හිමිවෙන්න තියෙනවා නම් ඒ යුතුකම් මම කරනවා. ස්වේතා මට දුවෙක්. මාව මොන විදියට දැක්කත්  පෙරලා කිසිවක් බලාපොරොත්තු නොවී ඇයට මම අදරය කරනවා. ඒ වගේම යම් දවසක ඇය මගෙන් තාත්තාව ඉල්ලුවොත් අහිතක් නැතිව මම මධුව ඇයට දෙනවා. මධු කැමැතිද නැද්ද කියන දේ අනුව මම එහෙම කරනවා. මොකද තාත්තා කියන්නේ දරුවට තියෙන ලොකුම වස්තුව. ඒ තැන වෙන කාටවත් Replace කරන්න බැහැ.