මගේ වැඩ කරගන්න නිදහස මගේ බිරිඳ මට ලබා දීලා තිබෙනවා - දිල්මින් පෙරේරා

Thursday, August 19, 2021 , 0 Comments





කලාව වෘත්තීය කරගත් බොහෝ දෙනෙකුගේ දරුවන් ද ඒ මඟ යන්නේ උපතින්ම ලැබෙන ප්‍රතිභාව සමඟය. කලක් රිදී තිරය හැඩ කළ රංගන ශිල්පිනී දිල්හානී අශෝකමාලාගේ හා ගායක ප්‍රියංකර පෙරේරාගේ ආදරණීය පුත් දිල්මින් පෙරේරාගේ කුලුඳුල් මියුසික් වීඩීයෝව පසුගිය දවසක සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ඔබට ගෙන ආවා. සිය පියාගේ මඟ යමින් තම වෘත්තිය ද සංගීතය කර ගත් දිල්මින් ඔහුගේ අලුත්ම නිර්මාණයේ අත්දැකීම ගැන මේ විදියට පුවත්පක් සමඟින් පවසා තිබුනා.


 

දිල්මින් ඔබේ මව සහ පියා කලා ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න දෙදෙනෙක්. ඔබේ නිර්මාණයක් කිරීමට මෙපමණ කාලයක් ගත්තේ ඇයි?


 

මම ගීත නිර්මාණ මීට කලින් කරලා තියෙනවා. ඒ වුණත් මියුසික් වීඩීයෝ එකක් කළේ නෑ. මේ මියුසික් වීඩීයෝ එක කළේ දැනට අවුරුදු දෙකකට පමණ පෙර. කොරෝනා ඇතුළුව ආපූ බාධක නිසා රිලීස් කරන්න දවසින් දවස ප්‍රමාද වුණා.


 

මියුසික් වීඩීයෝ එක ගැන කතා කරමු?


 ඔව්. මියුසික් වීඩීයෝ එකේ නම "දුර ඇදුණා" ගීතය ලිව්වේ උමා අසේනි. සංගීතය හා තනුව මගේ. ගායනා කරන්නෙත් මමයි. සනුක වික්‍රමසිංහ, විනෝත් මෙල්පිටිය දෙන්නම මට ලොකු සහයෝගයක් ලබා දුන්නා.


වීඩීයෝව පැත්තෙන් කතා කළොත් මම සහ මගේ බිරිය අංජුලා රංගනයෙන් දායක වනවා. වීඩීයෝ එකේ අදහස හා අධ්‍යක්ෂණය කළේ ප්‍රසාද් අලුත්වත්ත. ඒ වගේම එහි නිෂ්පාදන කණ්ඩායමේ රස්තා හා පසන් රත්නායක මතක් කරනවා. ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. රූගත කිරීම් කොළඹ වගේම බන්ඩාරවෙලත් කළා.


 

කොහොමද ලැබෙන ප්‍රතිචාර?


 ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ගීතය බලලා තිබුණා. සතුටුයි ඒ ගැන.


 

පවතින වසංගත තත්ත්වය එක්ක නිර්මාණයක් කිරීම ම අභියෝගයක්. දිල්මින්ට මොනවද මේ නිර්මාණය කරද්දි ආ අභියෝග?


ඔව්. කෝවිඩ් නිසා ඉතා දිගු කාලයක් බලා ඉන්න වුණා මෙහි වැඩ කටයුතු නිම කර ගැනීමට හා නිර්මාණය එළි දැක්වීමට. කලින් රූගත කිරීමට යොදාගෙන තිබුණු ලොකේෂන්වලින් ඒවා අපිට දෙන්න අකමැති වුණා. වාහනේ නතර වුණා බොහෝ වෙලාවට. කැමරාව හිරවෙනවා. ඔය ඔක්කොම අභියෝග මැද තමයි වසර දෙකකට පසුව මෙය රිලීස් කළේ.


 


මේ වනවිට ඔබ කළ නිර්මාණවලින් ජනප්‍රිය වුණ නිර්මාණ වගේම ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ මොනවද?


 

මගේ 'ආවර්ජනා' ගීතය බොහෝ සේ ජනප්‍රිය වුණා. ඒ වගේම මම සුපුන් පෙරේරාට ගීතයක් කළා 'ඔබමයි ආලෝකේ' කියලා. වායෝ බෑන්ඩ් එක වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරමින් ඉන්නවා. නදීමාල් පෙරේරා වෙනුවෙනුත් ගීතයක් කරමින් ඉන්නවා.


ඔබ, නදිමාල්, සනුක එකතුව ගැන මොනවද හිතෙන්නේ?


 මගේ මේ ගීතයටත් ඒ දෙදෙනා විශාල දායකත්වයක් ලබා දුන්නා. මුල් කාලයේ ඉඳලම අපි හොඳ යාළුවෝ. පසුව තමයි සංගීතය කරන්න ගන්නේ. ඒ දෙදෙනාම මට ලොකු හයියක්. නදිමාල්ගේ බෑන්ඩ් එකේ මම ගායනා කරනවා. මට පුළුවන් විදිහට මමත් එයාලට උදවු කරනවා. පෞද්ගලික කාරණයකදි වුණත් වෘත්තීය කාරණයකදී වුවත් ඒ අය මා එක්ක ඉන්නවා.


 

දිල්මින්ට නිර්මාණ කරන්න පවුලෙන් ලැබෙන සහයෝගයත් මතක් කරමු?


 ලොකුම සහයෝගය මට මගේ වැඩ කරගන්න නිදහස හා කැමති දේ කරන්න අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අයගේ තේරුම්ගැනීම ඉතා ඉහළයි. එ වගේම මගේ බිරිය අංජලි මේ නිර්මාණයේ නිෂ්පාදන කළමණාකරු වගේම මගේ කළමණාකාරිණිය.


 

දිල්මින්ට ආදරේ කරන අයට ඉදිරියේදී තවත් නිර්මාණ රසවිදින්න පුළුවන් වෙයි?


 

ඔව් අනිවාර්යයෙන්ම. මගේ ගීත එකතුවක් ලබන වසරේ ගෙන එන්නට සූදානම්. ඒ වගේම මේ ගීතයේ තව කොටස් දෙකක් පමණ එන්නට නියමිතයි. බොහෝ දෙනෙක් ගීතය බලලා කිව්වා එක පාර තේරුම් ගන්න අමාරුයි කියලා. ඒ අයට මම ආදරයෙන් කියනවා දෙවෙනි කොටස නරඹන්න. එය ඉක්මනටම ගෙන එනවා කියලා.