තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ වෙනම හැගීමක් - ලහිරු මුදලිගේ

Thursday, August 19, 2021 , 0 Comments

 






සමාජ මාධ්‍ය ජාලා හා බැදුණු විවේචන බොහොමයි. ඕනෑම දෙයක් සමාජයට වැඩදායී ලෙස භාවිත කළ හැකි බව පෙන්වමින් ඔහු මේ වන විට ලංකාවේ විශාලම යූටියුබ් නාළිකා ජාලයේ ප්‍රධානියා කිව්වොත් මම නිවැරදියි. ජන මනස සුවපත් කරන්නට ඕනෑම මාධ්‍යයක් ඔස්සේ කතා කළ හැකි බව ඔහු මොනවට ඔප්පු කර ඇත. ළඟදි දවසක පිය පදවියට එළඹුණු ඔහු ළහිරු මුදලිගේ. හැමෝගෙම ජීවීතේ ඇත්ත කතා කරන ළහිරු එක්ක ළහිරුගේ ජීවීතේ ඇත්ත ගැන ෙමලස පුවත්පතකට විස්තර පවසා තිබුනා. 


 


ළහිරු ප්‍රථමයෙන්ම ඔබේ පිය පදවියට සරසවිය අපෙන් සුබ පැතුම්. අලුත් සාමාජිකයා ගැන වගේම කොහොමද ඒ හැඟීම කියලත් විස්තර කරමු?


බොහොම ස්තූතියි. මගේ බිරිඳ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්. මගේ පුතා ඉපදිලා දැන් සති තුනක් විතර වෙනවා. එයාගේ නම ඉමෙත් ළාහිරු මුදලිගේ. තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ වෙනව හැඟීමක්. හේම නලීන් කරුණාරත්න මගේ ගුරුවරයා. ඔහු මට එක වෙලාවක කියලා තියෙනවා තමන්ට දරුවෙක් නැත්නම් දරුවන්ගේ තියෙන හැඟීම කියන්න යන්න එපා කියලා. එයට අර්ථ දෙන්න යන්න එපා කියලා. දරුවෙක් ඉන්න කාලෙක කියන්න පුළුවන් කියලා. මම කවදාවත් ඒ හැඟීම විස්තර කළෙත් නෑ. නමුත් අදත් මට ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මොන වැඩ තිබුණත් පුළුවන් තරම් එයා එක්කම කාලය ගෙවන්න තමයි හිත.


 


ළහිරු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නාළිකාවක ඉහළම තනතුරක සිටි ඔබ එයින් ඉවත් වෙලා යූටියුබ් තෝරගත්තේ ඇයි?


2016 වසරේ ස්වර්ණවාහිනියෙන් පූර්ණ කාලීනව අයින්වෙලා අවුරුද්දක පමණ කාලයක් ෆ්‍රී ලාන්සර් කෙනෙක් විදිහට වැඩ කළා. ඒ වන විටත් ලංකාවේ සමාජ මාධ්‍ය ඉතා විශාල ලෙස ප්‍රචලිත වෙලා තිබුණා. ලෝකය දිහා බැලුවමත් නව මාධ්‍ය ඉතාම ඉදිරියෙන් තියෙනවා දැක්කම මට හිතුණා මමත් මේකට අත තිබ්බොත් වැඩ කරයි කියලා. ඒ ඔස්සේ තමයි මම යූටියුබ් එකට පූර්ණකාලිනව එන්න හිතුවේ. මේ තුළ මම හිතුවා එතෙක් නොතිබුණු යූටියුබ් ටීවී චැනල් එකක් හදන්න පුළුවන් කියලා. ඒ සඳහා අවුරුදු දෙකක පමණ කාලයක් උත්සාහ කළා අත්හදාබැලීම් කළා. මහන්සි වුණා. මේ වන විට එහි ප්‍රතිඵල හොඳටම තියෙනවා. දැන් 'හරි ටීවී' බ්‍රෑන්ඩ් එකක් වෙලා. මම මේක තෝරගන්න හේතුව නව මාධ්‍ය ලෝකයේ ට්‍රෙන්ඩ් එක නිසා වගේම ඒ තුළ මට යමක් කළ හැකි යැයි මා තුළ තිබුණ විශ්වාසය වගේම තමන්ට නිදහසේ තමන්ගේම රාමුවක වැඩ කරන්න පුළුවන් වීමයි.


 


හිතුවට වැඩේ කෙරෙන්නේ නෑනේ. කොතැනද මේ පටන් ගැන්ම?


2016 අවුරුද්දේ මම යූටියුබ් චැනල් එක පටන් ගන්න කාලය වනවිට මං මියුසික් වීඩියෝ කර කර හිටියේ. මම මේ වනවිට මියුසික් වීඩීයෝ 600ක් පමණ කරලා තියෙනවා. ඒ මගේ හරි ක්‍රියේෂන් ආයතනයෙන්. මේ මියුසික් වීඩීයෝ රැල්ල යූටියුබ් හි යන්න ගත්තා. මිනිස්සු එය ආදරෙන් වැලඳ ගත්තා. මුලින්ම ලක්ෂ දෙකක් බලපු මියුසික් වීඩීයෝව තමයි රොෂාන් ප්‍රනාන්දුගෙ නිසා හඬලා සිංදුව. එහි වීඩීයෝව මමයි අධ්‍යක්ෂණය කළේ. ඒ 2012 අවුරුද්දේ. මියුසික් වීඩීයෝ ට්‍රෙන්ඩ් එක යූටියුබ්හි හැදිලා තිබුණ නිසා ඔය කාලේම අපිත් ආරම්භ කළා හරි ක්‍රියේෂන් කියන යූටියුබ් නාළිකාව. මේ කන්ටෙන්ට් එක ක්‍රමක්‍රමයෙන් ලක්ෂ දහය විස්ස දක්වාම බලන්න ගත්තා. එතකොට මම තේරුම් ගත්තා යූටියුබ් වටා එක් වී ඇති ඕඩියන්ස් එක දැන් වැඩි වෙලා ඉන්නවා කියලා. 2015-16 වනවිට ලංකාවේ දේශපාලනය වෙනස්වීමත් එක්ක ලංකාවේ සමාජ මාධ්‍ය වෙනස්ම තැනකට තල්ලු වුණා. සමාජ මාධ්‍ය වටා එක් වී සිටි ප්‍රේක්ෂක සංඛ්‍යාවත් මට බලපෑමක් වුණා මේ වැඩේ ආරම්භයට. මේ වෙද්දි යූටියුබ් හි වැඩ සටහන් තිබුණේ නෑ. එහිදි මට ලොකු අභියෝගයක් වුණා විනාඩි 45ක පැයක ටෝක් ෂෝ එකක් මිනිස්සු බලයිද කියලා. මේ අභියෝගය ජයගන්න ලොකු බලපෑමක් වුණා ටෝක් විත් චතුර වැඩසටහන. කොහොම වුණත් අද වනවිට ඉතා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අප වටා ඉන්නවා.


 


හරි බ්‍රෑන්ඩ් එකේ මේ වෙද්දි චැනල් කීයක් තියෙනවාද?


ලංකාවේ යූටියුබ් එක ඇතුළේ තියෙන ලොකුම මීඩීයා නෙට්වර්ක් එක අපේ. දැනට චැනල් 8ක් විතර තියෙනවා. හරි ටීවී, වොයිස් ටීවී, හරි ටීවී වොයිස්, හරි ටීවී හෙල්ත්, ඊට අමතරව ශී කියලා අලුත්ම චැනල් එකක් එන්න තියෙනවා. එය වෙනස්ම වැඩක්. එහි සියලුම කටයුතු වෙන්නේ කාන්තා පාර්ශ්වයෙන්. ලංකාවේ මෙතෙක් නොවුණු වැඩක්. හරි ඩිජිටල්, මගේ පෞද්ගලික චැනල් එක ළහිරු මුදලිගේ, ඒ වගේම හරි නිව්ස් මේ ටික තමයි. මගේ යටතේ 25 ක විතර සේවක කණ්ඩායමක් ඉන්නවා. සුමති සම්මානය ලැබුණා බෙස්‍ට් හෙරිටේජ් චැනල් එකට. ළඟදිම හරි නිව්ස් කියන වෙබ්සයිට් එක එනවා. සිංහල, ඉංග්‍රිසි, දෙමළ මාධ්‍ය තුනෙන්ම. හෙළිදරව්ව කියලා වැඩසටහන් මාලාවක් කරගෙන යනවා. එය ගුඩ් ජර්නලිස්ම් මුල් කරගෙනයි කරන්නේ. අපි මුදල් උපයන වැඩසටහන් කරනවා වගේම මෙහෙදී රටේ තියෙන ප්‍රශ්න කතා කරනවා. නාරද තනූජා, යුරේනි නොෂිකා, ලෝචනා ඉමාෂි, නිරංජනි ශන්මුගරාජා වගේ අය මේ වැඩසටහන් මෙහෙයවනවා. කොෆි විත් ළහිරු ආයෙත් ගේන්න සූදානම්. නිකම්ම නෙවෙයි සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියම චරිතයක් එක්ක.


 


ඔබේ වැඩසටහනට සහභාගිවන අයව ඔබ අඬවනවා කියලා සමාජ මාධ්‍ය තුළම ලොකු කතාබහක් ඇති වුණා. ඇයි එහෙම වෙන්නේ?


කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එක හිට් කරවන්නද මේ අඬවන්නේ කියලා. කෙනෙක්ව එහෙම අඬවන්න පුළුවන්ද? කෙනෙක්ව එහෙම අඬවලා සංවේදී කරවන්න පුළුවන්ද? මගේ වැඩසටහනට එන්නේ ලංකාවේ දේශපාලනය තුළ කලාව තුළ ව්‍ය්‍යාපාරික ලෝකයේ ඉන්න ජනප්‍රිය චරිත. සමාජය තුළ තැනක් තියෙන සමාජයෙන් වටිනාකමක් ලැබුණ අයයි මගේ වැඩසටහනට එන්නේ. මට පුළුවන්ද මේ අයව අඬවන්න.


නමුත් මේ චෝදනාවට පිළිතුරක් ඇති ඔබ ළඟ?


කලින් මේ වගේ වේදිකාවක් හෝ තැනක් තිබුණේ නෑ මේ අයට කතා කරන්න. මගේ වැඩසටහනට එන අයත් ඒක කියනවා. බොහෝ වෙලාවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ වැඩසටහන්වලට වෙලාවක් තියෙනවා. ඒත් යූටියුබ් එක තුළ ඒක නෑ. එන කෙනාට පැයක් වුණත් කතා කළ හැකියි.


අනෙක් අතට මගේ වැඩ සටහනට එන කෙනාට මම කතා කරන්න ඉඩ දෙනවා. ලංකාවේ වැඩසටහන්වල නිවේදක ආකෘතිය බොහෝ වෙලාවට කරන්නේ මම පොර මානසිකත්වයෙන් එන කෙනා අපහසුතාවයට පත් කරන්න මැදින් පැන පැන කතා කරනවා. අවසානයට කියන්න ගිය දේ නෙවෙයි කියන්නේ. වැඩ සටහන ඉවර වුණාම සතුටු වෙනවා අපහසුතාවයට පත්කළා කියලා. මම ඒ වැඩසටහන් ආකෘතිය වෙනස් කළා. මම ඇතිවෙන්න කතා කරන්න දෙනවා. සමහරවිට ඒ වෙලාවේ ඇයගේ හෝ ඔහුගේ හොඳම අසන්නා මමයි.


තවත් දෙයක් බොහෝ වැඩසටහන්වල ආකෘතියේ තියෙන්නේ පෞද්ගලික කාරණා. කන බොන අඳීන පලඳීන වගේ දේවල්. ඒත් මම මේ වැඩසටහන හරහා සමාජීය ගැටලු ප්‍රශ්න කතා කරන්න ගත්තා. ලිංගික අධ්‍යාපනය, ළමා අපයෝජනය, පරිසර පද්ධතිය, ලිංග භේදය වගේ සමාජීය කාරණා කතා කරද්දි වැඩසටහනට එන කෙනා විවෘත වෙලා මේ ගැන කතා කරන්න ගන්නවා. එහිදී ඔවුන්ගේ අත්දැකීම් අත්විදීම් ගැන කතා කරන විට නිරායාසයෙන් ඔවුන් සංවේදී වෙනවා. එහෙම වෙන්න නම් කතාකරන්න ඉඩ දීම වගේම විශ්වාසයත් බලපානවා. කෙනෙකුට තමන්ගේ පෞද්ගලික කාරණාවක් කතා කරන්න නම් හොඳ විශ්වාසයක් ඇති විය යුතුයි. ඒ වගේම අහගෙන ඉන්න පිරිසක් සිටිය යුතුයි. එය කොයිතරම් බලපෑමක් වනවාද යන්න ගත්තොත් ඇතැම් මාතෘකා ප්‍රධාන ධාරාවේ නාළිකාවල ප්‍රවෘත්තින් බවට පත් වුණා.මම විශ්වාස කරනවා මගේ වැඩසටහන තුළ මේ සියල්ලම අන්තර්ගතයි කියලා.


 


ඔබේ වැඩසටහන් තුළ ප්‍රමිතිය රැකගන්න මොනවද භාවිත කරන ප්‍රයෝග?


පළමුවෙනි කාරණය එන කෙනාව මගේ ඉස්සරහා වට්ටන්න අපහසුතාවයට පත්කරන්න මගේ බලාපොරොත්තුවක් නෑ. මම දන්නවා මම නිවේදකයා කියලා. මම හැම වෙලාවෙම එන කෙනාගෙන් අහනවා කතා කරන්න කැමති හා අකමැති දේ. කතා කරන අන්තර්ගතය ඔහුට හෝ ඇයට කතා කරන්න දීම. මට අවශ්‍ය නෑ එන කෙනාට වඩා මම දන්නවා කියලා පෙන්නන්න. මොකද ඒ කාරණාව කතා කරන්න එයා ඒකට උචිත නිසානේ මම එයාට ආරාධනා කරන්නේ.


කෙනෙකුට හිතෙන්න පුළුවන් උත්තර දෙනවා හරිද වැරදිද කියලා ඇයි මං අහන්නේ නැත්තේ කියලා. හරි හෝ වැරදි ඒක ප්‍රේක්ෂකයාට නිගමනය කළ හැකියි. මම මුල් තැන දෙන්නේ පෞද්ගලික කාරණාවලට නෙවෙයි ඒ කෙනාගේ වෘත්තීයභාවයට. හැමවෙලේම යාවත්කාලීන සමාජීය ප්‍රශ්න ගැටලු කතා කරන්නයි මම උත්සාහ කරන්නේ. එවිට ප්‍රේක්ෂකයා යාවත්කාලීන වෙනවා. අනෙක් අතට මම මේ තුළ විශ්වසනීයභාවයක් නිර්මාණය කරලා තියෙනවා. එන අය දන්නවා වැඩසටහනට ඇවිත් යමක් කිව්වොත් එය සමාජගත වෙනවා ලොකු පණිවිඩයක් විදිහට කියලා.


 


ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක වැඩ කිරීම සමාජ මාධ්‍ය තුළ දෙයක් කරන්න කොයිතරම් වැදගත්ද?


මම අවුරුදු දාහසයක් ටෙලිවිෂනයේ හිටියා. අපි කතා කරන වචනවල සීමාවන් තියෙනවා. උඹ බං කියන්න බෑ. එය ඒ විදිහටම මම යූටියුබ් එකට ගෙනාවා. ප්‍රධාන මාධ්‍ය තුළ යම්කිසි සීමාවන් ටිකක් තියෙනවා. අපේ වැඩසටහන කියලා අපිට ඕන දෙයක් කියන්න අයිතියක් නෑ. නමුත් දැන් යූටියුබ් එක තුළ ඉන්න අය හිතන් ඉන්නවා මගේ චැනල් එකේ මම කියන්නේ මට ඕන දේ කියලා. එයට නීතියෙන් ප්‍රශ්නක් නෑ. ඒත් එන ආරධිතයා අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. අපිට තියෙන සීමාවන් අපි දන්නවා. අනෙක් අතට අද මම කරන කියන දේ විශ්වාස කරන්නේ එදා මම කළ කී දේ එක්ක. මුල් කාලෙදි හරි ටීවී ළහිරු කියලා නෙවෙයි හිට් වුණේ. ස්වර්ණවාහිනියේ ළහිරු කියලා. ස්වර්ණවාහිනියේ ළහිරු කරන ප්‍රෝග්‍රෑම් එකක් විදිහට තමයි ගියේ. අපි මේක තුළ තියෙන හැඩය දන්නවා. අං කොන් ටික දන්නවා. ඒත් එහෙම වැඩ නොකර යූටියුබ් කරන අයට මම බනින්නේ නෑ. මොකද ඒ අයට කියලා දීලා නෑ උගන්නලා නෑ. ඒ අයට කවුරුත් කියලා දෙන්න නැත්නම් උගන්නලා නැත්නම් ගුරුවරයෙක් නැත්නම් අපට කියන්න බෑ ඒ අය වැරදියි කියලා.


 


කෙනෙකුට හිතෙන්න පුළුවන් යූටියුබ් කරලා ඔය කියන තරම් හම්බකරන්න පුළුවන්ද කියලා. ඇත්තටම සමාජ මාධ්‍ය තුළින් මුදල් උපයලා තරුණයෙකුට ගොඩ යන්න පුළුවන්ද?


අනිවාර්යයෙන්ම. සෝෂල් මීඩීයාවලින් හම්බ කරන්න පුළුවන්. ලංකාවේ ඇතුළෙත් එහෙම උපයන අය ගොඩක් ඉන්නවා. මේවායින් තනි තනි අයට බිහිවෙන්න පුළුවන්. තමන් කරන දේ මොකද්ද කියලා හඳුනා ගන්න එකයි වැදගත්ම දේ. රැට්ටා,බ්ලොක් අන්ඩ් ඩිනෝ, වස්ති, චනුක්ස් බ්‍රෝ, ජනයි ප්‍රියයි, ලකයි සිකයි වගේ අය ගත්තම ඒ අයට අද එයාලගෙම ආයතන තියෙනවා. සමාජ මාධ්‍යයට එනකොට මුලින්ම මුදල බලාගෙන මුකුත් කරන්න බෑ. අද ළමයි දෙයක් කරන්නෙම මුදල බලාගෙන. මම විශ්වාස කරන්නේ අපි දෙයකට ආසයි නම් ඒක අපේ කැමැත්තෙන් නම් කරන්නේ ඉස්සෙල්ලම ලැබෙන මුදල බලාගෙන කරන්න නරකයි. මුලින්ම වැඩේ කරන්න. දෙවනුව ඉගෙනගන්න. තමන්ට යමක් කළ හැකි නම් ඉල්ලුමක් තියෙනවා. බොහෝ දෙනෙක් හිරවෙන්නේ තමන්ගේ වටිනාකම හදාගෙන නැති නිසා. මුලින්ම කෝටී ගණන් උපයන්න පුළුවන් නම් ලොකු ව්‍යාපාරිකයෝ ඔක්කොම මේක කරයි. ඒත් මුදල් ඉපැයීම කළ හැකියි එයට කාලයක් යනවා. මෙතැනදි තාක්ෂණය ඉගෙන ගන්නත් වෙනවා. තවත් හොඳයි ඉංග්‍රීසි දන්නවානම්. මොකද මේ ඔක්කොම ඉංග්‍රීසියෙන් තියෙන නිසා. අවුරුදු දහය දාහතරේ ළමයි ඉන්නවා හොඳට හම්බකරන.


 


අදටත් අපි කාටත් මතකයි ජීවීතේ ලස්සනයි ටෙලිනාට්‍යයේ බෙන්ජමින්ගේ චරිතය. දැන් රඟපාන්න කැමැත්තක් නැද්ද?


මට ඇත්තටම ‍රඟපාන්න බෑ. ඒත් ඒ අධ්‍යක්ෂවරයා මාව හසුරවා ගත්තා හොඳීන්. ඒ චරිතය මගේ ජීවීතේ එක සන්ධිස්ථානයක්. ඒ චරිතය ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගියා. මට බොහෝ දේ ලැබුණා. හද රැඳී පැය ලංකාවේ සමීක්ෂණ වාර්තා වෙනස් කරපු එකක්. දවල් එක දෙක පීක් බෙල්ට් එකක් වුණා. හද රැඳී පැය දවල් යද්දි රෑ හත හමාරට ජීවීතේ ලස්සනයි ගියා. මම චිත්‍රපට තුනක රඟපෑවා. අන්තිමටම අපි අපි වගේ නාට්‍යයේ හිටියා. දැන් තිබෙන කාර්යබහුලත්වය එක්ක මගේ වැඩ කළමනාකරණය කරගැනීමේ ගැටලුවක් තියෙනවා. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ කණාමැදිරියෝ නිෂ්පාදනය කළා. මේ දිනවල තවත් නාට්‍යයක් නිෂ්පාදනය කරන්න සැලසුම් කරගෙන යනවා. මට ලොකු ආසාවක් තිබුණා චිත්‍රපටයක් කරන්න. කොයි මොහොතක හෝ අවස්ථාවක් ආපු ගමන් මම ඒක කරන්න බලාපොරොත්තු වෙනවා.