හෙට අනිද්දා මම සික්ස් පැක්ස් හදාගෙන දුෂ්ටයෙක් වෙනවා - කණිෂ්ක ප්‍රසාද්

Wednesday, August 18, 2021 , 0 Comments




ඇතැම් චරිත සැබෑ නම අමතක කරවන තරමටම සිත් සොරාගෙන ඇත. චබියාද එකී කුලකයට නිතරගයෙන් එක්වන්නේ එකී චරිතය තුළ ඔහු ජීවත්වන නිසයි. අද හදගැස්ම සරසන්නේ කණිෂ්ක ප්‍රසාද්.



ෙකාහමද ජිවිතය? 


දෙවැනි ඉනිම හා නීල පබළු නාට්‍යවල රූගතකිරීම් එක්ක සමබරව කාලය ගෙවෙනවා.



ඔබ ක්‍ෂේත්‍රයට ගායකයෙක් ලෙස පිවිසුණත් ඔබව වැඩිපුර දකින්නේ රංගන ශිල්පියෙක් විදියට .ගායනය ඔබට අත්හැරුණාද? 



කොහෙත්ම නැහැ. මේ දවස්වල මගේ අලුත්ම ගීතයක් නිර්මාණය වෙනවා. ඉදිරියේදී එය දැකගන්න පුළුවන්.


ඔබ ගායනයට හා රංගනයට පිවිසෙන්නේ එකම නාළිකාවකින්. එකම නාළිකාවක පමණක් ජනප්‍රියත්වය කොටුවීම අවාසිසහගත නැද්ද?


මං බිහිවුණේ දෙරණ නාළිකාවෙන්. ඔවුන් බිහිකළ තරු වෙනත් තැනක වැජඹෙනවට ඔවුන් කැමැතියි. බොහෝ දෙනෙක් වැරදි ප්‍රචාරණයක් ගෙනියනවා එකී නාළිකාවෙන් පිටත වෙනත් නිර්මාණවලට දායකවීමට අපට අවකාශයක් නැහැ කියලා. මේ වනවිටත් මං සිරස නාළිකාවේ නීල පබළු නාට්‍යයට සම්බන්ධ වී සිටිනවා. ඒ නිසා එය කටකතාවක් කියලා මං ඔප්පු කර හමාරයි. බොහෝ දෙනෙක් අපව කොටුකරන්න උත්සාහ කළාට අප කොටුවෙලා නැහැ.


ක්‍ෂේත්‍රයට ආධුනිකයෙක් විදිහට ප්‍රවීණයන්ගෙන් ලැබුණු දායකත්වය කෙබඳුද?


මං රංගනයට යොමුවෙන්නේ රඟපෑම පිළිබඳව හැදෑරීමකින් තොරවයි. නමුත් ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීණයන් වන ධර්මප්‍රිය ඩයස්, හිමාලි සයුරංගි, දේවසුරේන්ද්‍ර වගේම මගේ ආදරණීය මිතුරා දෙනුවන් සේග්නාධි යන ආදරණීයයන්ගෙන් ලැබුණු සහයෝගය නිසයි කණිෂ්ක ප්‍රසාද් කියන රංගන ශිල්පියාව ඔපමට්ටම් වෙන්නේ. රඟපෑම පිළිබඳව මුලකුරු කියාදීමේ ගෞරවය හිමිවන්නේ දෙනුවන් සේනාධි සහෝදරයාට. ඒ වගේ නීල පබළු නාට්‍යයේ සිටින ප්‍රවීණයන්ද මගේ රංගන ජීවිතයට සුවිශාල අත්වැලක් සපයනවා.



රංගනය හැදෑරීමට බලාපොරොත්තු වෙනවද?


රංගනය හැදෑරීමේ ලොකු ආසාවක් තියෙනවා. නමුත් කාලවේලාව වෙන්කරගැනීමේ අපහසු තත්වයක් පවතින නිසා එකී කාර්යයට තරමක් කාලය ගතවෙනවා. රංගනය තුළින් ලබන අත්දැකීම් හා ප්‍රවීණයන්ගේ දැනමුතුකම් තුළින් ලබන දැනුම තුළ රංගනය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ලබාගන්න බලාපොරොත්තු වෙනවා.


ප්‍රහසන රංගන ශිල්පියා යන රාමුවෙන් පිටත චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට යෑමට බලාපොරොත්තුවක් තියෙනවද?


මට අලුත් නිර්මාණයකට ආරාධනා ලැබුණා. එකී පිටපතට අනුව මට හිමිවෙන්නේ දුෂ්ටයාගේ චරිතය. මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට එය පත්වේවි කියා විශ්වාස කරනවා.


නවකයන් ප්‍රහසන රංගනය තෝරා නොගන්නේ එකී අංශයට නිසි ඇගයුමක් හිමි නොවන නිසාද?


ඔව්. එය ප්‍රධාන හේතුවක්. ප්‍රහසන රංගනයේ දැවැන්තයන්ට පවා ඇගයුමට ලක්වී තිබෙන්නේ ඉතාමත් අවමව. ඔවුන්ට එවන් ඉරණමක් අත්වුණා නම් නවකයන්ට අත්වන ඉරණම පැහැදිලියි. ඒ නිසා ප්‍රහසන රංගන ශිල්පි කියන කාණ්ඩයෙන් මිදිලා චරිතාංග රංගන ශිල්පියෙක් විදිහට ඉදිරියට යෑමයි මගේ බලාපොරොත්තුව.


චබියා කෙට්ටු වුණාත් ජනප්‍රියත්වයට එය බාධාවක් වෙයිද?


චබියා කියන නම නිර්මාණය වෙන්නෙත් මගේ ශරීර ස්වභාවය මත. ඒ චරිතය තුළ මට කෙට්ටු වෙන්න අවකාශයක් නැහැ. නමුත් ඉදිරියේදී හිමිවන දුෂ්ටයාගේ චරිතයේදී ඇගේ බර සම්පූර්ණයෙන්ම අඩුකරලා සික්ස් පැක්ස්  හදාගන්න සිදුවෙනවා. ඒ නිසා ඉදිරියේදී චබියා කෙට්ටු වෙයි,


කණිෂ්ක ප්‍රසාද් මේ වනවිට පෙම්වතෙක්ද?


ඔව්. පෙම්වතෙක්.


ඇය ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ද?


නැහැ. ඇය ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි.


චිත්‍රපටවලට සම්බන්ධ වීමට ආරාධනා ලැබුණේ නැද්ද?


චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. කොටිඩ් තත්වය නිසා එහි රූගතකිරීම් තරමක් කල්ගියා.


අනාගත බලාපොරොත්තු මොනවද?


මේ ක්‍ෂේත්‍රයේ දිගටම නියැළී සිටීමට බලාපොරොත්තු වෙනවා. නළුවෙක් විදිහට ප්‍රේක්ෂකයන්ට වඩ වඩාත් ළංවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සම්මාන උළෙලකදි හොඳම නළුවා හෝ ජනප්‍රියම නළුවා හෝ නැඟී එන හොඳම නළුවා හෝ නැඟී  එන හොඳම සහාය නළුවා යන කුමන හෝ සම්මානයක් යම් දිනක දිනා ගන්නට බලාපොරොත්තු වෙනවා. එසේ යම් සම්මානයක් දිනන දිනෙක මං වෙනුවෙන් කැපවූ සියල්ලටම ලොකු ස්තූති කතාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා.