මාව ටෙලිනාට්‍යයේ පෙන්නුවේ නැත්නම් වැඩක් නෑ කියලා කට්ටිය කියනවා - චන්ද්‍රිකා සිරිවර්ධන

Wednesday, August 25, 2021 , 0 Comments




ඇය අප රටේ සිටින ප්‍රවීණ, සම්මානීය දක්ෂෂ ගායන ශිල්පිනියක්. ඇය මේ දිනවල විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ කැපී පෙනෙන චරිතයකට පණ පොවන නිසාවෙන්ම කා අතරත් ඉතාම ජනප්‍රියයි. දිවිතුරා ටෙලි නාට්‍යයෙහි අපි කවුරුත් ආදරය කරන “වජිරා මිස්” ඇයයි. ඇය චන්ද්‍රිකා සිරිවර්ධනයි. ඇයගේ නවතම තතු ගැන ෙමලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා. 


කොහොමද ඉතින් ජීවිතය?


දැන් තිබෙන කොරෝනා තත්වයත් සමඟ ඒ අදාළ නීතිරීතිවලට අනුගතව ගෙවලට වෙලා ඉන්නවා. ඔන්ලයින් පන්ති පැවැත්වෙනවා.


දිවිතුරා එකත් සමඟ ඔබ කාර්යබහුල වෙලාද?


ඔව් ටිකක් කාර්යබහුලයි. සාමාන්‍යයෙන් ඉතින් මාසෙට දින දෙකක් තුනක් හතරක් වගේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා.


කාලෙට පස්සේ   රංගනයට දායක වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම මම ටෙලි නාට්‍යයවල ඉඳලම නැහැනේ. මින් පෙර චිත්‍රපට නම් 4ක විතර චරිත කරලා තිබෙනවා. ඉතින් ඊට පස්සේ මට හිතුණා ඒක මගේ පාත් එක නෙවෙයි කියලා. ඒ නිසා ගායන කටයුතුවලම දිගටම නිරත වුණා. නමුත් දැන් නම් ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා දිවිතුරා සමඟ සම්බන්ධ වුණා. ඇත්තටම ඉතින් දිවිතුරා සමඟ සම්බන්ධවීමෙන් හොඳ වින්දනයක් ලබනවා.


දිවිතුරා ටෙලි නාට්‍යයේ “වජිරා මිස්” චරිතය ගැනත් කතා නොකරම බැහැ නේද?

ඔව්. ඉතින් එම චරිතයත් ගායිකාවකගේ චරිතයක් නේ. ඉතින් ඒ නිසා මට වජිරා කියන චරිතය කරන්න ලේන්සි වුණා. හාස්‍යය මුසු වූ දෙබස් වගේම ඉඳහිට පොඩි පොඩි හින්ට් එහෙමත් වින්ඩිට පාස් කරන අවස්ථා තිබෙනවා.


වජිරා මිස්ගේ චරිතයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවාලු නේද?


ඔව්. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දිවිතුරා ටෙලි නාට්‍යයේ මාව පෙන්වන්නේ නැතිනම් වැඩක් නැහැ කියලාත් සමහර අය මට කියලා තිබෙනවා.


කලා ක්ෂේත්‍රයේ වැඩකටයුතු ගැන කතා කළොත්?


කොරෝනා ගැටලුව පැමිණීමත් සමඟ කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු හට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වුණා.



එය ඔබට බලපෑවේ නැද්ද?


ඇත්තට මට එහෙම බලපෑමක් නැත්තේ මම සංගීත ප්‍රසංගවලට යන්නේ නැති නිසා. එයින්ම යැපෙන කලාකරුවනුත් ඉන්නවානේ. ඉතින් ඒක හරිම කනගාටුදායක කරුණක්.


ඔබ රියැලිටි වැඩසටහනක විනිශ්චයකාරවරියව කටයුතු කළ කෙනෙක් විධියට රියැලිටිවලින් බිහිවන නවකයන් ගැන කුමක්ද කියන්න තිබෙන්නේ?


අලුත් පරපුරේ බොහෝ දෙනෙක් තරගය දිනුවට පස්සේ පරණ මිනිසුන්ගේ හදවත් බැඳගත පරණ ගීතවල මුල් ස්භාවය අමතක කොට සංගීත කාණ්ඩ ඝෝෂාකාරී සංගීතය වැඩියෙන් මුසුකොට ගායනා කරන බවකුත් පේනවා. නමුත් ඉතින් එහෙම නැතිව, සංඛ දිනෙත්, ප්‍රදීප් රංගන, සුරේන්ද්‍ර පෙරේරා වගේ අය නම් තමන්ගේ හොඳ නිර්මාණ තුළින් තම ගායන කුසලතා වැඩිදියුණු කොට ගෙන පවත්වාගෙන යනවා. එදා අපේ කාලේ නම් අපේ කුසලතා වර්ගීකරණයක් කරන්න ඔඩිෂන් තිබුණා. දැන් එහෙම එකක් නැති නිසා මේ රියැලිටි ෂෝස් හරහා දරුවන්ට අවස්ථාව ලැබිලා තිබෙනවා. තමන්ගේ කුසලතාවන් මඟින් ඉදිරියට යන්න. රවීන් කණිෂ්ක වගේ කෙනෙක් ගත්තාම ඊට හොඳම උදාහරණයක්.


වර්තමානය වන විට පැරණි ගීතවලට නව අරුතක් දීමට නවකයන් බොහෝ දෙනෙක් පෙලැඹී සිටිනවා. ඔවුන්ගේ උත්සාහයන් සාර්ථකයි කියා ඔබ සිතනවාද?


එහෙම අවස්ථා අප දැක තිබෙනවා. ගීතයට හානි නොවන ආකාරයට සංගීත කාණ්ඩ හෝ වෙන වෙන දේවල් කළාට කමක් නැහැ. ගීතයට හානියක් වෙන විධියට එවැනි වෙනස්කම් කරනවා නම් ඒක වැරදියි.


ඔබ රටක් ආදරය කරන කලා පවුලක් පැවත එන කෙනෙක්. ඒ ගැන මොනවගේ සතුටක් තියෙන්නේ?

ඇත්තටම හරිම සතුටුයි. මගේ ස්වාමි පුරුෂයා ගීත රචනා කළා. ඒවගෙන්ම චිත්‍රපට තිරකතා ලිව්වා. චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. මගේ පුතා බටහිර සංගීතයට බොහොම හපන්කම් දක්නවා. ඔහුගේ දුවයි පුතයි - දුෂාරයි දෙවිනුයි දැන් ක්ෂේත්‍රයට එමින් සිටිනවා. මගේ දුව භරත නාට්‍යයම් කලා ශිල්පිනියක්. ඒ වගේම ඇය හොඳ ගීත රචිකාවියක්. සී.එයි.එස්. ජාත්‍යන්තර පාඨශාලාවේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් කරනවා. ඇයගේ පුතා චිත්රාත් සංගීත කටයුතුවලට හොද නිපුණතාවක් දක්වනවා. ඉතින් සංගීය හා බැඳුණු පවුලක් තමයි මට තියෙන්නේ. ඒ ගැන හරි සතෝෂයි.


එදා අය කලාව වෙනුවෙන් කළ කැපකිරීම් අද සිටින නව පරපුර අතින් ඉටු වනවා කියා ඔබ සිතනවාද?


අපොයි අද ඉන්න අය තුළින් කැපවීමක් කියන දෙයක් නම් මම දකින්නේ නැහැ. ශාස්ත්‍රීය සංගීතයේ තිබෙන වටිනාකම අවබෝධ කරගෙන නැහැ. ඒ තුළින් හුඟක් සතතාභ්‍යාසයන් තුළින් තමන්ගේ කුසලතාවයන් ඔප මට්ටම් කරගන්න එක ගැන හිතලත් නැහැ. ඉතින් ඒක කනගාටුවට කරුණක්.


කලා ක්ෂේත්‍රයට පැමිණෙන නවක තරුවල පැවැත්ම ක්‍රමයෙන් හීන වෙනවා. ඔබ දකින විධියට එයට හේතුව කුමක්ද?


එයට හේතුව විධියට මම දකින පළමුවැනිම කාරණාව තමයි, ඔවුන් තුළ ඇති කම්මැළිකම. මුලින්ම කම්මැළිකම දුරලා කැපවෙන්න ඕනි. සංගීතයේ නියම හරය, ගැඹුර තිබෙන්නේ ශාස්ත්‍රීය සංගීතය තුළයි. එනිසා ඒ ගැන විමසීමක් කරලා ගායනය හෝ වාදනය හදාරන්න ඕන. එතකොට කිසිම තැනකදි හිර නොවී, තාක්ෂණික මෙවලම් මත යැපෙන්නේ නැතිව තමන්ට ඉතාම හොඳින් ඒ කටයුතු කරගන්න පුළුවන්.

අපි නම් සරල ගී කියනකොට එක පාරට ලයිට් තමයි කරන්නේ . “ල්වේලාව දහවල් 12යි. අද සරල ගී ඉදිරිපත් කරන්නේ චන්ද්‍රිකා සිරිවර්ධන කියලා නම කියනකොටම අපි එකපාරටම ලයිට් කිසිම වැරැද්දක් නැතිව ගීතය කියා ගෙන යනවා.” ඒ හැකියාව ඇති වෙන්නේ අර මම කිව්ව අභ්‍යාසය සහ හැදෑරීම කියන දේ තුළින්. හොඳට ගීත කියන අයට කුමක් හෝ මම කිව්ව අභ්‍යාසය සහ හැදෑරීම කියන දේ තුළින්. හොඳට ගීත කියන අයට කුමක් හෝ අසනීප තත්වයක් හෝ වෙන යම් හෝ බැරි තැනක් ආ විට එවැනි තාක්ෂණික මෙවලම් උපයෝගි කරගත්තාට කමක් නැහැ. නමුත් දැන් තරුණ පෙළ ඒ මෙවලම් මතම යැපෙනවානේ. එසේ නොවී තමාට තමා ගැනම විශ්වාසය ඇතිව කටයුතු කරගන්න හැකි නම් එය තමයි සිදු විය යුත්තේ.



අද වනතුරු කලාවෙන් විශ්‍රාම ගිය කලාකරුවන්ව රැක ගැනීමක් රජය මඟින් සිදුවෙන්නේ නැහැනේ. ඒ ගැන ඔබට මොනවගේ හැඟීමක්ද තියෙන්නේ?


ඇත්තටම ඔව්. ඒ අය වෙනුවෙන් මාසික වැටුපක් ගෙවනවා නම් ඒක ඒ අයට කරන

ලොකු සහනයක් සහ ප්‍රයෝජනයක්. ගායක ගායිකා සංගමයෙන් නම් වයස 60න් ඉහළ අයට මාසෙට රුපියල් 5,000 බැගින්වත් ලබා දෙනවා. ඒක ලොකු දෙයක්. ඉතින් ඒ වගේ දෙයක් හැමෝටම රජය විසින් වෙනවා නම් ඒක ලොකු දෙයක්.


එදා විදියටම තාමත් ඔබ  ජනප්‍රිය ගායන ශිල්පිනියක්. මොකක්ද එහි රහස?


ඒක ඇත්ත. දැන් මගේ සංගීත ජීවිතයට වසර 60ක් පමණ වෙනවා. සී.ඩී. පටයක්වත් නිකුත් කරන්නේ නැතිව එදා වගේම තාමත් මෙවැනි ජනප්‍රියත්වයක ඉන්නවා කියන එක ගැන මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා.


අලුත් නිර්මාණ එහෙම කළේ නැද්ද?


අලුත් නිර්මාණ කිහිපයක් කරලා තිබුණත් තවම එළිදක්වන්න සුදුසු වාතාවරණයක් උදා වුණේ නැහැ. මේ යන විධියට මොකක්ද කරන්න පුළුවන් කියලා බලනවා ඉතින්.


අවුරුදු 60කට වැඩි වූ ඔබගේ කලා දිවිය ගැන සිතා බලන විටදී දැනෙන සතුට මේ අවස්ථාවේදී වචනයට පෙරළුවොත්?


මේ ගමනේදී මම සරසවි සම්මානය 3ක් වතාවකුත්, ජීවිතයට එක් වරක් ලැබෙන සිග්නීස් සම්මානයත්, කලාභූෂණ සම්මානය ආදී වශයෙන් සම්මාන රාශියක් ලැබී තිබෙනවා. ඒ වගේම මම ටෙලි නාට්‍යය, ගුවන්විදුලිය, රූපවාහිනිය, චිත්‍රපට රැසක ගීත ගායනා කරලා තිබෙනවා. ඇත්තටම ඉතින් මගේ ගමන්මඟ ගැන ආපසු හැරී බලනවිටදී, මට දැනෙන්නේ නිහතමානී සතුටක්.


දිනූෂා මනෝරි නිශ්ශංක