මම අලුත් ළමයින්ව ලොකුවට විවේචනය කරන්න යන්නේ නැහැ - රම්‍යා වනිගසේකර

Wednesday, August 25, 2021 , 0 Comments




දශක හතරකට අධික කාලයක් පුරා කලාව වෙනුවෙන්ම ජීවිතය කැප කළ ඇය ප්‍රවීණ රංගනවේදිනි රම්‍යා වනිගසේකරයි. වේදිකාවේ අති සුන්දරතම නිර්මාණවේදියකු වූ ආර්.ආර්. සමරකෝන් විද්වතාණන්ගේ ආදරණීය භාර්යාව වන ඇය, එදා සැමියාගෙන් කලාවට වූ සේවය අදටත් එලෙසින්ම නොපිරිහෙළා ඉටු කරන්නියක්. අගෝස්තු 01 වැනිදා සිට අගෝස්තු 14 වැනිදා දක්වා ආර්.ආර්. සමරකෝන් ගුණ අනුස්මරණ දෙසතියද යෙදී තිබීම හේතුවෙන් මෙවර  කතාබහට ඇයව ඒකතු වුවා. 


මේ දිනවල කාලය ගත වන්නේ කොයි විදිහටද?


“දිවිතුරා" ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලටත්, අලුත් නිර්මාණ කිහිපයක මුහුරත් උළෙලවල්වලටත් සහභාගි වුණා. “වස්සානයක අවසම” නම් අලුත් නාට්‍යයේ වැඩ අගෝස්තු මාසයේ මැද භාගයේදී ආරම්භ වේවී.


දිවිතුරා ටෙලි නාට්‍යයේ වින්ඩිගේ අම්මාගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවාලු නේද?


වින්ඩිගේ මව සහ පියාගේ චරිත ද්විත්වය නිසා එතෙක් නාට්‍ය ගලාගෙන ගිය දිශාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා සහ නාට්‍යයට ලොකු වෙනසක් එක් වුණා කියලා රසිකයෝ කතා කරලා සුබ පතනවා.


ආර්.ආර්. සමරකෝන් මහතාගේ කැලණි පාලම වේදිකා නාට්‍යය නැවතත් නුදුරේ රඟ දැක්වීමට සූදානම් වන බව දැනගන්නට ලැබුණා?


කොරෝනා උවදුර නිසා වේදිකා නාට්‍යය ශිල්පියාට විශාල පහරක් එල්ල වුණා. කෙසේ නමුත් ජූඩ් ශ්‍රීමාල් මහතා සංවිධානය කරන වේදිකා නාට්‍යය උළෙල වෙනුවෙන් අගෝස්තු 15 වැනිදා එනම් අද දිනයේදී ආර්.ආර්. සමරකෝන් මහතාගේ කැලණි පාලම වේදිකා ගත කරනවා. 


දශක 40කට වැඩි ඔබගේ කලා දිවිය තුළ ඔබට වේදිකාවත් සමඟ තිබෙන්නේ අපුරු සැබැඳියාවක් නේද?


වේදිකාවට මුලින්ම සම්බන්ධ වුණේ 1974 වසරේදී පසුබිම් ගායිකාවක් විදිහටයි. 1976දී වේදිකා රංගනයටත්, 1978දී ප්‍රධාන චරිතයන්ටත් සම්බන්ධ වුණා. 1978දී ප්‍රධාන චරිත ගොන්නක් මට ලැබුණු නිසා 1978 වසර මගේ කලා දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ වසරක්. ඉත්පසු අංගාරා ගඟ ගලා බසී නාට්‍යයේ පසුබිම් ගායනයටත්, රංගනයටත් සම්බන්ධ වුණා.


කලා දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මනරංජන වැඩ වර්ජන, වේදිකා නාට්‍යයත්, සිරිසඟබෝ නාට්‍යයනුත් විශේෂයි. 1978 වසරේදීම නිර්මාණය වූ ආර්.ආර්. සමරකෝන්  මහතාගේ කැලණි පාලම නාට්‍යයේ මැටිල්වාගේ චරිතයත් සුවිශේෂී චරිතයක්. එදා සිට අද දක්වා අවුරුදු 43ක කාලයක් පුරාවට කැලණි පාලම වේදිකා නාට්‍ය සමඟ කටයුතු කරනවා.


ඔබ වේදිකාව තුළ ගායිකාවක් වශයෙන් කටයුතු කළා. ඒ මතක අවදි කළොත්?


එදා, අද වගේ නෙවෙයි ගායන ශිල්පිනියක් වීමටත් පරීක්‍ෂණයකින් සමත් විය යුතුයි. ඉතින් මම නූර්ති ගීත ගායන ශිල්පිනියක් විදිහට ඒ ශ්‍රේණියනුත්, සරල ගී ගායිකාවක විදියට B ශ්‍රේණියෙනුත් සමත් වෙලා තමයි ඒ කටයුතුවල දිගටම නිරත වුණේ.


ඔබ දක්ෂ ගුවන්විදුලි නිවේදිකාවක්. එම ත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින නවකයන්ට මොනවගේ උපදෙසක් ද ලබා දෙන්න තිබෙන්නේ?


1979දී ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් විධියට ගුවන් විදුලියට එකතු වුණා. එදා, දැන් වගේ හිතුණු අයට ගුවන් විදුලි මයික්‍රෆෝනය ඉදිරියට යන්න බැහැ. එයට පරික්ෂණයකින් සමත් විය යුතුයි. 1980දි තක්ෂලාව සඟරාමය වැඩසටහන ඉදිරිපත් කළා. එම අත්දැකීම් සහ දැනුම් සම්භාරය මත ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමටත් අවස්ථාව ලැබුණා. එවක ගුවන්විදුලියේ ඉහළ අධිකාරිය වෙළෙඳ දැන්වීම් ඉදිරිපත් කරන අයට ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න බැහැ කියන නීතිය පැනවුවා. එවක අපි අලුත් අය නිසා වෙළෙඳ දැන්වීම් නි වේදනයට සම්බන්ධ වෙන්න අවස්ථාව තිබුණේ නැහැ.


අවසානයේදී ගුවන් විදුලි සජීව ප්‍රවෘත්ති නිවේදිකාවක දක්වා ක්‍රමානුකූලව පැමිණියා. අද 

බොහොමයක් තරුණ ළමයින්ට නිවේදන වෘත්තිය ඇතුළු සියලු ක්‍ෂේත්‍රයන්හිදී හඩනවා කියවීම සහ වචන උච්චාරණය අපහසුයි. මා ඒ දුර්වලතාව දකිනවා. ගොඩක් ළමයින්ට පිටපතක් අතට දුන්නාම ඇස් දෙකෙන් බලලා මනසට අරගෙන යමක් කටින් කියවන්න බැහැ. ගොඩක් අයට අපේ සිංහල භාෂාව හරියට උච්චාරණය කරන්න බැහැ. ඉංගීරසි  භාෂාව වරදවා ප්‍රචාරණය කරන විටදී “අපි සුද්දා මරනවා" කියමින් ලැජ්ජා වෙනවා. නමුත් මවු භාෂාව කිසිදු ලැජ්ජාවකින් තොරව වරද්දමින් කතා කරනවා. අධ්‍යාපන විෂයන් මාලාවට දරුවන්ගේ හඩනඟා කියවිම එකතු කොට දරුවන් කුඩා කාලයේදීම එය නිවැරදි කළ යුතුයි.



ඔබ හඬ කැවීම් ශිල්පිනියක් විදිහටත් වැඩ කළ අයෙක්. ඒ රස මතක කොයි වගේද?


1990 අගභාගයේදී වගේ තමයි හඬ කැවීම් කටයුතුවලට සම්බන්ධ වුණේ. රැකියාවේ කාර්ය බහුලතාව, වේදිකා නාට්‍යය කටයුතු නිසා එම ක්ෂේත්‍රයට කාල වේලාව වෙන් කිරීමට නොහැකි වුණා.


බොහෝ තැන්වලදී නවකයන්ව විවේචනයට ලක් වෙනවානේ. ඒ ගැන ඔබට තිබෙන්නේ කෙබඳු අදහසක්ද?

මම අලුත් ළමයින්ව ලොකුවට විවේචනය කරන්නේ නැහැ. මුල් යුගයේ අය පමණක් නොවෙයි කලාවේ අයිතිකාරයෝ. ප්‍රවීණයන්ටත් වඩා දක්‍ෂ ළමයි ඉන්නවා. අයිතිකාරයෝ කියන ලෙසින් මම අදහස් කළේ අපිට විතරක් නෙමෙයි රඟපාන්න පුළුවන්. පිටපත කියවා හොඳ අවබෝධයෙන් කටයුතු කරන අය වගේම කිසිම දැනුමක් නැතිව කලාවෙහි කටයුතු කරන අයත් ඉන්නවා.


එසේ නම් එහි වරද සිදු වී ඇත්තේ කොතැනද?


අලුත් ළමයින්ව චරිතවලට තෝරා ගන්නා අය, යාළු මිත්‍රකම්, වෙනත් සම්බන්ධකම් උඩ ඔවුන්ව චරිතවලට නොගත යුතුයි. රඟපාන්න පුළුවන්ද බැරිද කියන දේ තේරුම් ගැනීමට අදාළ පුද්ගලයන්ට දැනුම තිබිය යුතුයි. කැමරා කෝණවලට රඟපානවා කියන දේ ලොකු වගකීමක්. පුංචි තිරය කියන්නේ එක රැයකින් ජනප්‍රිය වෙන්න පුළුවන් තැනක් නේ. එනිසා නව පරපුර මීට වඩා විශාල වගකීමකින් යුතුව ත්‍රයේ නියැළෙනවා නම් හොඳයි.


ඔබගේ සැමියා ලාංකේය කලා කෙත පෝෂණය කිරීමට කැපවී කටයුතු කළ ප්‍රබල නිර්මාණකරුවෙක්. ඉතින් ඔහුවත් සිහිපත් නොකරම බැහැ?


ඔව්. පසුගිය අගෝස්තු 01 වැනිදා සිට අගෝස්තු 14 වැනිදා දක්වා ගෙවුණු දෙසතිය ආර්.ආර්. සමරකෝන් ගුණ අනුස්මරණ දෙසතිය ලෙස නම් කොට තිබුණා.  1978 වසරේ එතුමා ආරම්භ කළ කැලණි පාලම වේදිකා නාට්‍යය, එතුමා අද අපි අතර නැතත් නොකඩවා අවුරුදු 43ක් පුරාවට කරගෙන යනවා. ඔහු ඉතාම සංවේදී සුන්දර මනුෂ්‍යයෙක්. 1978දී කැලණි පාලම නාට්‍යය හරහා අපි මුණගැසී 1988දී විවාහ වුණා. ඉන්පසු බුද්ධිකා දියණිය ලැබුණා. එතුමාගේ සෑම නාට්‍යයකම ප්‍රබල චරිතයක් කරන්න මට හැකිවුණා.


1971දී ජීවිත අත්දැකීමක් මත රචනා වූ “ගෙ කුරුල්ලෝ " නවකතාව රාජ්‍ය සම්මානයටත් හොඳම නවකතාකරුවා, හොඳම සාහිත්‍යකරුවා වශයෙනුත් සම්මානයට පාත්‍ර වුණා. එතුමාගේම “අහසින් වැටුණු මිනිස්සු” නාට්‍යයත් වේදිකාවේ පෙරළියක් ඇති කළා. එවැනි සුන්දර නිර්මාණකරුවකුගේ බිරිය වීම නිහතමානී සතුටක් සහ ලොකු වගකීමක්.


දිනූෂා මනෝරි නිශ්ශංක