අජේ දේව්ගන් හමුදා නිලධාරියෙක් වෙයි

Tuesday, August 31, 2021 , 0 Comments





ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්‍ෂකයන් අතරද බෙහෙවින් ජනප්‍රිය බොලිඩුඩ් නළු අජේ දේව්ගන් රඟපාන අලුත්ම චිත්‍රපටය පසුගිය 13 දා ප්‍රදර්ශනය ආරම්භ කළා. එහි නම BHUI: The Pride of India යන්නයි. මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ 1971 වසරේ ඉන්දු-පාකිස්තාන යුද්ධය අතරතුර සිදු වූ සත්‍ය සිද්ධියක් පසුබිම් කරගෙනයි. මෙහි අජේ රඟපාන්නේ විජේ කාර්නික් නැමැති ඉන්දියානු ගුවන් හමුදා නිලධාරියකුගේ චරිතයක්.


ගුජරාත් ප්‍රාන්තයේ බූජ් නැමැති ප්‍රදේශයේ පිහිටි හමුදා ගුවන් තොටුපළක් භාරව සිටින්නේ ඔහුයි. පාකිස්තානු ප්‍රහාරයකින් මෙම ගුවන් තොටුපළේ ධාවන පථය සම්පූර්ණයෙන් විනාශයට පත්වනවා. ඉන්දියාව යුද්ධයෙන් ජය ගැනීමට නම් මෙම ගුවන් තොටුපළේ සේවය ඔවුන්ට ඉතා වැදගත් වෙනවා. The Pride of India චිත්‍රපටයට පසුබිම් වන්නේ විජේ කාර්නික් මෙම ගුවන් තොටුපළ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගන්නා උත්සාහයයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔහුට මේ සඳහා උදවු වන්නේ එම ගම්මානයේ කාන්තාවන් තුන්සිය දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් වීමයි. ඔවුන් මෙම කටයුත්ත ඉටු කරන්නේ දැවැන්ත ජීවිත අවදානමක් දරාගෙනයි.


හමුදා නිලධාරින් සහ ගැමි කාන්තාවන් එක්ව කළ මෙම අපූරු මෙහෙයුම සැලකෙන්නේ ඒ කාලයේ හමුදාවේ මෙන්ම රටවැසියන්ගේද චිත්ත ධෛර්යය ඉහළ දැමූ සිදුවීමක් ලෙසටයි. අවසානයේ යුද්ධය ජය ගැනීමේදී මෙම මෙහෙයුමද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව පැවසෙනවා. චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ අභිෂේක් දුදයියා පවසා තිබුණේ තම මිත්තණියද මෙම කාන්තාවන් තුන්සිය දෙනා අතරට ඇතුළත් වූ බවයි. අජේ ට අමතරව මෙහි සංජේ දත්, සොනාක්ෂි සිංහා වැනි නළු නිළියන් චරිත නිරූපණය කරනවා.



මෙම චිත්‍රපටය මුලින්ම තිරගත කිරීමට නියමිතව තිබුණේ මෙයට වසරකට පෙර එනම්, 2020 අගෝස්තු 14 වැනිදායි. එහෙත් කොරෝනා වසංගතය නිසා එහි රූපගත කිරීම් කටයුතුවලට බාධා එල්ල වුණා. මේ නිසා අවසානයේ එය ප්‍රදර්ශනය කිරීම මේ වසර දක්වා කල්දැමීමට සිදු වුණා. නමුත් මෙවරත් එය ප්‍රදර්ශනය වන්නේ සිනමාශාලාවල නොවෙයි. පසුගියදා එය මුදා හැරුණේ disney+Hotstar නම් අන්තර්ජාලය ඔස්සේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන සේවාවක් හරහායි.


අජේ දේව්ගන් සිය බිරිය කාජල් සහ දරුවන් සමඟ චිත්‍රපටය නැරඹීමට ගොස් තිබූ අතර ඔවුන් එය නරඹා තිබුණේ සිනමා ශාලාවක බව පැවසෙනවා. චිත්‍රපටය නැරඹීමෙන් පසු කාජල් ඒ ගැන මහත් ප්‍රශංසා මුඛයෙන් කතා කර තිබෙනු දැකිය හැකි වුණා. රණවිරුවන් කරන දැවැන්ත කැප කිරීම් පිළිබඳව ප්‍රබල හැඟීමක් මේ තුළින් ප්‍රේක්‍ෂකයන් තුළ ඇති කරන බවයි ඇය පවසා තිබුණේ. “අප ඉතා ආරක්‍ෂිතව සාමාන්‍ය ජීවිත ගත කරද්දී එවැනි ජීවිතයක් ගත කරන්න අපට ඉඩ සාදා දී ඇත්තේ කවුද යන්න අපට අමතක වෙනවා. මේ චිත්‍රපටයෙන් අපට ඔවුන් ගැන මතක් කර දෙනවා” යැයි ඇය පවසා තිබුණා.



තමුන් ඉතා අනාරක්‍ෂිත ජීවිත ගත කරමින් අපට ආරක්‍ෂිතව ජීවත් වීමට ඉඩ සලසා දෙන මේ සැබෑ විරුවන්ට හිස නමා ආචාර කරනවා” යයි ද ඇය තම ට්විටර් ගිණුමෙහි සටහන් කර තිබුණා. එමෙන්ම දීර්ඝ කාලයකට පසු සිනමා ශාලාවකදී චිත්‍රපටයක් නැරඹීමට ලැබුණු අවස්ථාවෙන් කාජල් මහත් අමන්දානන්දයට පත්ව සිටි බවකුත් පෙනුණා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟන තම සැමියා ගැන ආඩම්බරයක් දැනුණු බවත් ඇය පවසා තිබෙනවා.


මේ අතර අජේ දේව්ගන්ද සිය අලුත් චිත්‍රපටය ගැන අදහස් දක්වා තිබුණා. තමා මෙම චිත්‍රපටයේ රඟපෑමට තීරණය කළේ මන්ද යන්න ගැන පවසමින් ඔහු සඳහන් කර තිබුණේ රණවිරුවන්ගේ වීරකම් පිළිබඳව හැඟීමක්, දැනුම්වත් බවක් ජනතාව තුළ ඇති කිරීමට මෙවැනි චිත්‍රපටවලට හැකි වන නිසා තමාද මෙහි කොටස්කාරයකු වීමට සිතූ බවයි. “එවැනි කතා තුළින් අපේ ජීවිතවලට විශාල අභාසයක් සපයනවා” යැයි ඔහු පවසා තිබුණා. හමුදා නිල ඇඳුමක් හැඳ රඟපෑමේදී දැනුණු හැඟීම් ගැන අජේ විස්තර කර තිබුණේ මෙලෙසයි.


“එම ඇඳුම ඇඟලා ගත් විට නිතැතින්ම සිතට ශක්තියක්, ගෞරවයක් දැනෙන්න පටන් ගන්නවා. අපේ සිතිවිලි රටාව පමණක් නොව ශරීර ඉරියව් පවා ඒ ඇඳුමට ගැළපෙන විදියට වෙනස් වෙනවා. ශරීරය තුළ යම් බලයක් ගොඩ නැඟෙනවා වගේ හැඟීමක් දැනෙන්න පටන් ගන්නවා” යයි ඔහු සඳහන් කර තිබුණා.