ජන­ප්‍රි­ය­ත්ව­යට වඩා වැද­ගත් පැවැ­ත්මයි - චතුර රාජපක්ෂ

Monday, August 30, 2021 , 0 Comments

 


ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘සකුණ පියාපත් ’ ටෙලි නාට්‍ය යෙන් අප හමුවන දඩබ්බර තරුණයා ඔබට මතකද? ‘සකුණ පියාපත් ’ ටෙලි සිත්තමින් වගේම රනිල් කුලසිංහගේ ‘පානාමංකඩ’ සහ නිවන්ත ප්‍රසාරගේ ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලි නිර්මාණ තුළිනුත් ඔහු දැකගත හැකියි. රංගනයෙන් දිගු ගමනක් යා හැකි බවට කුසලතාව පෙන්නුම් කරන ඔහු නමින් චතුර රාජපක්ෂ... කාලයක් පුරා ඉවසීමෙන් ක්ෂේත්‍රය තුළ රැඳුණු යොවුන් රංගන ශිල්පියකු වන චතුර රාජපක්ෂ කතාබහට එක්වූයේ මෙලෙසයි.


 


‘සකුණ පියාපත් ’ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මේ දවස් වල හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. මේ නිර්මාණයට මාව තෝරා ගන්නේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු. එතුමාත්, තිර රචක අරුණ ප්‍රේමරත්න ඇතුළු නිෂ්පාදන කණ්ඩායම කෘතඥ පූර්වකව මතක් කරනවා. ටෙලි නාට්‍යයේ මගේ මව ලෙස රඟපාන වසන්ති චතුරානි ප්‍රවීණ ශිල්පිනිය ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රාශියක් මේ නිර්මාණයට එකතු වෙනවා. මගේ නැඟණිය විදිහට මිෂෙල් දිල්හාරා රංගනයෙන් එකතු වෙනවා. අපි තුන්දෙනා පවුලක් විදිහට ගැළපෙන බව බොහෝදෙනෙක් කියනවා.


එහි ඔබ ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි සමඟ නිතරම ගැටෙනවා. ඒ ගැන කතා කරනවා නම්?


මුලින්ම අපි පිටපතත් එක්ක ඒ ගැන හොඳ අවබෝධයක් ඇතිකර ගත්තා. ඒ නිසා අපිට ගොඩක් පහසු වුණා. අපි දෙන්නම එකිනෙකාට නොරුස්සන දඩබ්බර චරිත දෙකක්. ඒත් ඒ රංගනයේදී පමණයි.


රූපගත කිරීම් ඉවර වුණාම අපි එක කාමරේ ඉන්න හොඳ යාළුවෝ. ජෙහාන් අයියා මගේ හොඳ යාළුවෙක්.


රඟපෑම් අතරතුර අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?


‘සකුණ පියාපත් ’ රූගත කිරීම් කළේ ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයේ. ගමේ සිට නගරයට එන මට තරුණයෝ පිරිසක් බිම පෙරළගෙන ගහන අවස්ථාවක් තිබුණා. එදා නම් මට ඇත්තටම ගුටි කන්න වුණා. පෙර පුහුණුවීම්වලදී කතා කර ගත්තු විදිහට නෙවෙයි රූගත කිරීමේදී මට හොඳ කම්මුල් පාරක් වැදුණා.


කලා ක්ෂේත්‍රයට ආ ගමන ගැන සිහි කරනවා නම්?


නිරූපණ ශිල්පියකු ලෙසයි මුලින්ම ක්ෂේත්‍රයට ආවේ. 2009දී පෞද්ගලික රූපවාහිනී ආයතනයකට නිවේදකයකු විදිහට සම්බන්ධ වුණා. මගේ මුල්ම ටෙලි නාට්‍ය රංගනය ලයාල් එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘සෙල්පි’ ටෙලි නාට්‍යයයි.


රංගනය පිළිබඳව හැදෑරීමක් කරන්නට ඔබට අවස්ථා ලැබුණද?


අනෝජා වීරසිංහ මහත්මියගේ අභින පාඨමාලාවටත් ඊටපසුව මහේන්ද්‍ර පෙරේරා මහතාගේ රංග කලා පාඨමාලාවටත් සම්බන්ධ වුණා. රංගනය පුළුල් විෂයක් බව අවබෝධ කරගත්තේ ඒ හැදෑරීම් එක්ක.


ඒ හැදෑරීම්වලින් පසුව සමකාලීන මිතුරන් සමඟ වේදිකා නිර්මාණ අත්හදා බැලීම් කළා. මහේන්ද්‍ර පෙරේරා මහතා මේ විෂයට ආදරය කරන්න කැපවෙන්න, විෂය හොයාගෙන යන්න කියාදුන් ගුරුහරුකම් මට හැමදාමත් ශක්තියක්. ලංකාවේ වෘත්තීය නළුවකු වීම අභියෝගයක්. ක්ෂේත්‍රයට ඇවිත් පවතින එක තමයි වැදගත්ම දේ.


කොහොමද පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය?


මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අයියයි. මම උසස්පෙළ කළේ වාණිජ විෂය ධාරාවෙන් කොළඹ රාජසිංහ මහා විද්‍යාලයෙන්. රැකියාවන් කීපයකට සම්බන්ධ වුණත් මට අවශ්‍ය වුණේ රංගන ක්ෂේත්‍රයට එන්නයි.


මුල් කාලේ වෙනත් වෘත්තියක් තෝරා ගන්න කියලා ගෙදරින් බල කළ අවස්ථා තිබුණත් කලාව ගැන මගේ හිතේ අධිෂ්ඨානයක් තිබුණා. දැන් නම් මගේ ගමන ගැන ඔවුන් සතටු වන බව දන්නවා.


ඔබ රඟපාන්නේ ජනප්‍රියත්වය අපේක්ෂාවෙන්ද?


රංගන ශිල්පියෙක් විදිහට නිර්මාණවලින් ජනප්‍රිය වෙන්න පුළුවන් වුණත් ජනප්‍රියත්වය බලාගෙන නිර්මාණයකට එකතු වෙන්න අවශ්‍ය නැහැ කියලයි මම හිතන්නේ. ප්‍රේක්ෂකයන් අපව වැලඳ ගන්නා ආකාරය අනුවයි ජනප්‍රියත්වය තීරණය වෙන්නේ. ජනප්‍රියත්වය තාවකාලිකයි. වඩා වැදගත් පැවැත්මයි.


රංගන ක්ෂේත්‍රයට එක්වන නවකයන්ට යමක් කියනවා නම්?


කරන දේ අවංකවම කරනවා නම් පැවැත්මක් හදාගන්න ලේසියි. කලාවට එන්න ලේසියි. ඒත් පැවැත්මක් හදාගන්න නම් විෂය හදාරන්නම ඕන. නිකම් අතපතගාමින් පැවැත්මක් හදාගන්න බැහැ. රංගනය වෙනුවෙන් කැපවීමක් කරන ඕන කෙනෙකුට සාර්ථක වෙන්න පුළුවන්.


රංගනයට අමතරව ඔබේ විනෝදාංශ


මොනවාද?


ගෙදර ඉන්නවා නම් අනිවාර්යෙන්ම මම විත්‍රපට බලනවා. ඒ වගේම විවේකයක් තියෙන වෙලාවට ගිටාර් එක ප්ලේ කරනවා. යාළුවෝ එක්ක සතුටින් ඉන්නත් මම කැමතියි. ව්‍යායාම් කිරීම නම් මම අනිවාර්යයෙන්ම කරන දෙයක්.


සැබෑ ජීවිතයේදිත් ඔබ පෙම්වතෙක්ද?


මට තවම පෙම්වතියක් නැහැ. මම කලාව වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. මගේ අරමුණ වෙනුවෙන් යන්න ඒ කැපවීම අත්‍යවශ්‍යයි කියලා මම හිතනවා. මට ආදරේ කරන කෙනෙක් අනාගතයේදී මුණගැහේවි. දැනට මගේ බලාපොරොත්තුව හොඳ රංගන ශිල්පියෙක් විදිහට ඉදිරියට යෑමයි.