දෙවියන් වහන්සේගේ ආශීර්වාදය අරන් මම මිනී පෙට්ටියේ නිදාගත්තා - අමන්දා ජයරත්න

Monday, July 19, 2021 , 0 Comments

 




ධරණි කියන නම කියූ පමණින්ම අපගේ මතකයට එන්නේ ඇයගේ රුවයි. කෙළිලොල් බවත් සමඟ සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය නව පරපුරේ රංගන ශිල්පිනියක වන අමන්දා ජයරත්නයි. මේ දිනවල ඇයගේ නවතම තොරතුරු ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා.


මේ දවස්වල වැඩ මොනවද?


 මේ දවස්වල අලුත්ම වැඩකට සූදානම් වෙනවා. එහි ප්‍රධාන චරිතයට පණ පොවන්න මට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් එහි තිරපිටපත අධ්‍යනය කරමින් සිටිනවා. නුදුරේදීම එම තොරතුරු ඔයාලට කියන්නම්. ඊට අමතරව තවත් වැඩ කිහිපයක් ලැබිලා තියෙනවා. කොරෝනා තත්වය නිසා ඒ කටයුතු තරමක් ප්‍රමාදයි.


ඔබව සිදූ ටෙලි නාට්‍යයෙනුත් අපිට දැකගන්නට ලැබුණා. ඒ ගැන කීවොත්?


ඔව්. සිදු ටෙලි නාට්‍යයේ මගේ චරිතය “ රුක්ෂි". ඒ සඳහා මට ගොඩක් හොද්දද ප්‍රතිචාර ලැබෙනවා. 



අමන්දාගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම ගැන මතක් කළොත්?


මගේ පළමු ටෙලි නාට්‍යය නිල පබළු. එහි අධ්‍යක්ෂතුමා වන ලලිත් වසන්ත සර් තමයි මට ඒ සඳහා ආරාධනා කළේ.


අමන්දා නිරූපණ කටයුතුවලටත් සම්බන්ධ වුණා නේද?


ඔව්. මම මුලින්ම බ්‍රයිඩල් ෂූට්වලට සම්බන්ධ වුණා. රංගන කටයුතුවලට ආරාධනා ලැබීමත් සමග මුල් තැන දුන්නේ රංගනයට.


ක්වීන් ටෙලි නාට්‍යයේ ධරණිගේ චරිත ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන සටහනක් තබන්නට සමත් වුණානේ. අපි ඒ ගැනත් කියමු?


ඔව්. ක්වීන් ටෙලි නාට්‍යයේ ධරණින්ගේ චරිතයට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඇයගේ තිබුණු ඒ දඟකාරකමට, හුරතල්කමට ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරය කළා.


ක්වීන් ටෙලි නාට්‍යයේදී අමන්දාට අමතක නොවන විශේෂ සිදුවීමකටත් මුහුණ දෙන්න වුණා නේද?


ඔව්. මට ක්වීන් නාට්‍යයේ මගේ අන්තිම දර්ශනය සඳහා මිනී පෙට්ටියක නිදා ගන්න සිදු වුණා. ජීවත් වෙලා ඉන්න කෙනෙක් සහ පොඩි වයසක කෙනෙක් වෙලත් ඒ වගේ දර්ශනයක් කරන එකම පුදුමයි කියලා ගොඩක් දෙනෙක් කියලා තිබුණා. ගොඩක් අය ඒ වගේ දෙයක් කරන්න බය වෙනවා නේ. නමුත් මම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගෙන තමයි මගේ සෑම වැඩක්ම ආරම්භ කරන්නේ. ඒ නිසාමදෝ මන්දා ප්‍රේක්ෂකයනුත් මට තව තවත් ආදරය කරන්න ගත්තා.


මිනී පෙට්ටියක නිදා ගන්න ඇත්තටම බය හිතුණේ නැද්ද?


නැහැ. පොණ්ඩක්වත් බය හිතුණේ නැහැ. අපේ අධ්‍යක්ෂතුමා ඇතුළු මුළු කණ්ඩායමම හිතුවේ මම බය වෙයි කියලයි. හෝමාගම මල් ශාලාවකදී තමයි දර්ශනය රූගත කළේ. එදා එතැන හෝල් එකෙත් දෙපැත්ම ඇත්තම මිනී දෙකක් තිබුණා. ඒ වගේම ඒ ශාලාවේම එදා ආච්චි කෙනෙක්ගේ බොඩි එකකුත් එම්බාම් කරමින් තිබුණා. ඒත් ඉතින් චුට්ටක්වත් මගේ හිත ගැස්සුණේ නැහැ. හිත ශක්තිමත් කරගත්තොත් අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. අත්වලට එහෙම ග්ලවුස් එහෙම දාලා ඇත්තම මිනියක් වගේම මාව සරසලත් තිබුණා. එදා කට්ටිය මාව මිනී පෙට්ටිය උඩින් තිබ්බාම එතැන හිටිය කට්ටියටත් ගොඩක් දුක හිතිලා. නමුත් ඉතින් එය මගේ රංගන ජීවිතයට ගොඩක් ලොකු අත්දැකීමක් වුණා. ඉන් අනතුරුවත් එම දර්ශනය දකින බොහෝ අධ්‍යක්ෂවරු ඇහුවෙත් ඔයා කොහොමද නංගි ඒ දර්ශනය කළේ කියලා.



ප්‍රවීණයන් සමග වැඩ කරන්න ලැබීම ගැන අමන්දාට මොකද හිතෙන්නේ?


රංගනය සම්බන්ධ ගොඩක් දේවල් මට කියලා දුන්නා. විශේෂයෙන්ම අපේ ප්‍රවීණ රංගන ශිල්පීන්ට ගොඩක් ගරු කරනවා. මොකද අපි එයාලගේ රංගනය දිහා බලලා තමයි මේ  ක්ෂේත්‍රයේදී දේවල් ඉගෙන ගත්තේ. රංගනයේදීත් ගොඩක් හොඳ සහයෝගයක් ලබා දෙනවා. ක්ෂේත්‍රය ඇතුළේදී කොහොමද හැසිරෙන්න ඕන කියලත් උපදෙස් දෙනවා. රොජර් සෙනෙවිරත්න මාමා සුදු මාමා කියන චරිතයට පෙනී සිටියා. තාම ඒ ඩ්‍රාමා එක ආවේ නැහැ. එයාත් මට ගොඩක් උපදෙස් දුන්නා. 


ඇන්ටිත් පැත්ත, චරිතවත්ව ක්ෂේත්‍රයේ  කොහොමද ඉන්නේ කියන දේත් කියලා දුන්නා. මගේ ලොකු නැන්දට හිටිය මැණිකේ අත්තනායක මහත්මිය, ශ්‍රියන්ත මෙන්ඩිස් සර්, මගේ තාත්තාට හිටියා සරත් චන්ද්‍රසිරි මහතා, ගයාත්‍රී ඩයස් අක්කා වගේ ගොඩක් ප්‍රවීණයන් එම නිර්මාණ තුළදී මට මුණ ගැසුණා. ඒ හැමෝම මට ගොඩක් ආදරෙයි. දෙවියන් වහන්සේට මම ස්තූතිවන්ත වෙනවා එවැනි අය සමග වැඩ කරන්න ලැබීම ගැන.


ඉදිරියේදී සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්න විශේෂ චරිතයක් තිබෙනවාද?


එහෙම විශේෂ චරිතයක් නැහැ. මට ලැබෙන චරිතය හොඳින් කරන්න කැමැතියි. හැබැයි  මුලින්ම එම චරිතය මොන වගේද, එය මට කළ හැකිද කියලා බලනවා. වෙනස් වෙනස් චරිත කරන්න මම ගොඩක් කැමැතියි. ඒ වගේම පසුගිය දිනවලදි මම ගැමි තරුණියකගේ චරිතයක් කළා. එහි රූගත කිරීම් කළේ කතරගමදි. එයත් මට වෙනස්ම අත්දැකීමක් වුණා.


අමන්දාට චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?


චිත්‍රපටවලට ඇත්තටම ආරාධනා ආවා. නමුත් මට ලැබුණු එම චරිතය ටික දුරක් කියවාගෙන යන විටදි මට කරන්න බැරි දර්ශන හමුවුණා. එය ගණිකාවකගේ චරිතයක් දක්වා විහිදී යන එකක්. එතකොට මට 18ක් විතර වෙනවා. ඉතින් මගේ පළමු වැනි චිත්‍රපට රංගනය විදිහට එවැනි චරිතයක් කරන්න එතරම් කැමැති වුණේ නැහැ. 


ඒ කියන්නේ අමන්දා යම්කිසි සීමාවක් තුළ සිට වැඩ කරන කෙනෙක්ද?

 ඔව්. ඇත්තටම.


සීමාවක් තුළ වැඩ කිරීම තුළ රංගනයෙන් ඉදිරියට යෑමට එය බාධාවක් නෙවෙයිද?


මෙහෙමයි. අපේ සීමාව අපි දාගත යුතුයි. මං එයින් අදහස් කළේ අපේ රංගනය තුළ සීමාවන් පනවා ගත යුතුයි කියන එක නෙවෙයි. අපි හැමෝටම සීමාවක් තියෙනවා. ඒ සීමාවන් පනින්නේ නැතිව ලස්සනට වැඩ ටික කරගෙන සිටිය යුතුයි.


බොහෝ විට තරුණ රංගන ශිල්පිනියන්ට කැපිලි - කෙටිලි හා අයුතු යෝජනා ආදිය වැඩිපුර ලැබෙනවානේ. ඔබට එවැනි අවස්ථාවන්වලට මුහුණ දෙන්නට වෙලා නැද්ද?


කැපිලි කෙටිලි නම් ඇවිත් තිබෙනවා. මම නම් ඒ දේවල් සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් මාව කැපුවොත් අනික් අයව කප කප එකම තැනක ඉන්නේ ඒ පුද්ගලයා. මම ඒවායින් තවත් ශක්තිමත් වෙලා ඉදිරියට යනවා. මේ පසුගිය ලොක් ඩවුන් කාලය තුළත් එවැනි කෝල්ස් ගොඩක් ආවා. ඒ හැර වෙන කිසිම අනවශ්‍ය බලපෑමක් නම් අද වනතුරු මට ඇවිත් නැහැ. එහෙම දේවල් මේ ක්ෂේත්‍රයේ නැහැ. දෙන වැඩේ හරියට කරලා අපි හරියට ඉන්නවා නම් එවැනි දේවල් ඇති වන්නේ නැහැ.


රංගනය තුළ සාර්ථකත්වයට පත් වීමට නම් හැදෑරීමක් සමග ඉදිරියට යා යුතුයි නේන්ද?


ඔව්. අනිවාර්යයෙන්ම රංගනය හැදෑරිය යුතුමයි. මොකද මේ රංගනය දවසින් දවස අලුත් වෙනවා. අලුත් තාක්ෂණික උපක්‍රම එකතු වෙනවා. ඒ නිසා මම ගොඩක් මහන්සි වෙලා රංගනය පිළිබඳව හදාරනවා. ප්‍රවීණයන් දිහා බලලා දේවල් ඉගෙන ගන්නවා. මම දකින විදිහට ප්‍රවීණයන් කියන්නේ විශ්වවිද්‍යාලයක් වගේ. ප්‍රවීණයන් සමඟ වැඩ කළා කියන්නේ විශ්වවිද්‍යාලයකට ගියා හා සමානයි.


පවුලේ විස්තර ගැනත් මතක් කරමු?


මගේ ගම සීදුව. පවුලේ ඉන්නේ අම්මයි මමයි විතරයි. තාත්තා ඉන්නේ රට. මගේ පාසල ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසල.


අනාගත බලාපොරොත්තු කොයි වගේද?


මගේ අනාගත බලාපොරොත්තුව මේ ක්ෂේත්‍රයේ කවදා හෝ හොඳම නිළිය සම්මානය ගන්න එක. ඒ සඳහා මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා.