උයලා ඉවර වුණ ගමන්ම නාගන්නවා - සංජානා ගමාරච්චි

Tuesday, July 20, 2021 , 0 Comments





සංජානා ගමාරච්චි, වර්තමානයේ සිටින දක්ෂ, රූමත් රංගන ශිල්පිනියක්. ඒ වගේම නිරූපණ ශිල්පිනියක්. තවත් විටෙක නිවේදිකාවක්. මෙම සියලු වෘත්තීන්ගේ දක්ෂතා පෙන්වන ගමන්ම මේ දිනවල සංජානා ගැන වැඩිපුරම කතා කරන්නට පටන්ගෙන තිබෙන්නේ ඇය හරිම රසට හදන කෑමබීම ගැන. ඉතිං ඇය ඇගේ ඒ රහස් ගැන වගේම ඇයට හදන්න පුළුවන් කෑම බීම ගැන මෙලස පුවත්පතක් සමගින් පවසා තිබුනා.

මේ දවස්වල වැඩිපුරම කෙරෙන්නේ ඉවුම් පිහුම් කටයුතු ද? 


“ඔව්... ඔව්... වෙනදාට වඩා විවේකයක් ලැබිලා තියෙන නිසා එක එක කෑම වර්ග අඟදා බලන එක විනෝදයක් විදිහටත් කෙරෙනවා. ඊට අමතරව මම හිතනවා විවිධ වෙනස්කම්වලට කෑම බීම හදලා, අපේ ආදරණීයයන්ට රසට කන්න දෙන එක ලොකු පින්කමක් කියලා. කෑමක් රසට හැදුවාම හිතටත් මහා පුදුමාකාර සතුටක් ලැබෙනවා.” 


 ගෙදර හැමෝහ්ම වැඩිම ඉල්ලුමක් තියෙන්නේ ඔබ හදන කුමන කෑම බීමවලට ද?


 “තාත්තා නම් මම හදන හැම කෑමක්ම හරිම රසයි කියලා අගය කරනවා. ඊට අමතරව ගෙදර අය වක්ම, මගේ හිත මිතුරොත් මම හදන පාන් කොත්තුවට නම් ගොඩක් කැමැතියි. හැමෝම රස කර කර කනවා. පාත්වලින් මම තව රෝල්ස් වර්ගයි, පීසා වර්ගයිත් හදනවා. බොහොම පහසුවෙන් හදන්න පුළුවන් වෙනම කෑම වේවා."


පාන් කොත්තුව හදන්නේ කොහොම ද කියලා දැනගන්න ආසයි? “මම කියන්නම්. හරිම ලේසියි. පාන් පොඩියට කපා ගන්නවා. ඊට පස්සේ ලූනු, අමුමිරිස්, රම්පේ, කරපිංචා, ඉඟුරු, සුදුලූනු ඔක්කොම පිළිවෙළට කපලා තියාගන්නවා. සාමාන්‍ය කොත්තුවකට වත්ම කැරට්, ලීක්සි කපාගන්නවා. ඊට පස්සේ තාච්චියකට තෙලුයි බටරුයි අවශ්‍ය ප්‍රමාණයට දාලා, තෙම්පරාදුවට කපාගන්න  දේවල් දානවා. ඊට පස්සේ කෑලි මිරිස්, දිය ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාලා, කපාගත්ත එළවළු ටිකත් දානවා.  එළවළු ටික හොඳට තෙම්පරාදු වෙනකොට පොඩි කෑලිවලට කපාගත්ත පාන් ටික දාලා හොඳට කළවම් කරලා, උඩින් අපායේ බිත්තරත් දාලා රත්වෙන්න තියාගන්නවා. අවශ්‍ය නම් මාළු, මස් අදියත් කැමැත්ත අනුව එක්කරන්න පුළුවන්. හදලා බලන්නකෝ... හරිම රසයි. 


 පුංචි කාලේ ඉඳලාම ඔබ උයන්න පිහන්න කැමැති ද? 


ඔව්. අම්මා එක්ක එකතු වෙලා ඉවුම් පිහුම් කටයුතු කරලා තියෙනවා. මගේ අම්මට වගේම ආච්චිටත් හරිම රසට උයන්න පුළුවන්.” 


 අත් ගුණයක් ගැන ඔබ විශ්වාස කරනවා ද? 


ඔව්. අත් ගුණයක් තියෙන කෙනෙක් ඕනෑම කෑමක් හැදුවාම රසයි කියලා මම හිතනවා.


කැමක් රස වෙන්න බලපාන්නේ මොනවා ද? 


ඇත්තටම ප්‍රධානම දේ තමයි කැමැත්තෙන්, ආසාවෙන් කෑමක් හදන්න යොමු වෙන එක. ඊට අමතරව යොදන තුනපහ ප්‍රමාණය, ලුණු, අමුමිරිස් ප්‍රමාණයත් බලපානවා.


 තරුණියක් විදිහට ඉවුම් පිහුම් ගැන හොඳින් දැනගෙන සිටීම ගැන මොකද  හිතෙන්නේ? 


 ඇත්තටම තරුණියකට වටිනාකමක් ලැබෙන දෙයක් විදිහටයි මම එය දකින්නේ. වර්තමානයේ බොහෝ තරුණියන් උත්සාහ ගන්නවා මම උයන්න දනෑ, මම තේ හදන්න දන්නා කිය කියා විශේෂීකරණය වෙන්න. ඇත්තටම තරුණියක් විදිහට මම නම් දකින්නේ එක හරිම මෝඩ ක්‍රියාවක්. අපි කුමන වයසක පසු වුණත් රසට කෑමක් බීමක් හදන්න පුළුවන් කියලා තමන්ටම සහතික වෙන්න පුළුවන් නම් ඇත්තටම එක ආත්ම අභිමානයක් කියලයි මට නම් හිතෙන්නේ.


කාලය කළමනාකරණය කරගන්න එක ගැන මොකද හිතෙන්නේ? 


අනෙකුත් රාජකාරි එක්ක මුළුතැන්ගෙයි කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම කාල කළමනාකරණයක් තිබිය යුතුයි. නැත්නම්, වැඩි වෙලාවක් කුස්සියේම ඉන්න වෙලා, ඉවුම් පිහුම් කටයුතු පවා නීරස වෙන්න පුළුවන්.


ටහිර පන්නයේ කැම විතර ද හදන්න දන්නේ? 


නැහැ. ගමේ කෑම වර්ගත් රසට උයන්න පුළුවන්. කිරි කොස් මාළුව,  මඤ්ඤොක්කා තෙම්පරාදුව හරිම රසට උයන්න පුළුවන්. තව මම හදන කිරිබතටයි, කට්ට සම්බෝල්ලෙටයි, හාල්මැස්සෝ බැදුමටයි හරිම කැමැතියි. කිරිබත් එක කට්ට සම්බෝලයි, හාල්මැස්සෝයි කන්න මමත් හරිම කැමැතියි.



උයනකොට කවුරු ළඟ ඉන්නවාට ද කැමැති?


“මම ආසයි නංගි මගේ ළඟ ඉන්නවාට. කොහොමටත් තනියම කුස්සියේ ඉන්න මම එච්චර ආසා නැහැ. ඉස්සර නම් මම උයනකම් අම්මා ළඟ හිටියා. කොහොමටත් තනිකමට වගේ කවුරු හරි කුස්සියේ ඉන්නවාට කැමැතියි. ඒත් උයන දේවල් නම් තනියම උයන්න තමයි කැමැති. 


සිංදු එහෙම අහන්න කැමැති ද උයන පිහන වෙලාවට? 


අපෝ ඔව්. සිංදුවක් දාගෙන තමයි කොහොමටත් මම කුස්සියේ වැඩ කරන්නේ.


 අරපිරිමැස්ම ගැන මොකද හිතෙන්නේ? 


මගේ අම්මා ජීවතුන් අතර ඉන්නකම මටයි, නංගිටයි ඒ දේවල් නිවැරැදිව කරන්න පුරුදු කළා. ලෝභකම කියන්නේ එකක්, අරපිරිමැස්ම කියන්නේ තවත් එකක්. ඇත්තටම අරපිරිමැස්ම අපි කුමන වයසෙ හිටියත් හරිම වැදගත්. විශේෂයෙන්ම කාන්තාවකට.


 තුනපහ එහෙම නිවසේම හදාගන්නවා ද? 


අම්මා ඉන්නකොට නම් ගම්මිරිස් ටික, අබ ටික පවා සෝදලා වේළලා ගන්නේ. ඒත් දැන් නම් අවශ්‍ය තුනපහ, මිරිස් කුඩු ආදිය මිලදී ගන්නවා.


 උයන පිහන එක වදයක් කියලා හිතෙන්නේ නැද්ද? 


නැහැ. කරන්නම ඕන්නේ වැඩක් කියලා හිතලා වැඩ කරන්නේ නැතුව, මම මේ දේ කළොත් මගේත්ම අය සතුටු වෙයි, හොඳ පෝෂණයක් ලැබෙයි, නීරෝගි වෙන්න ඉවහල් වෙයි කියලා හිතලා වැඩ කරන එක තමයි ගොඩක්ම හොඳ. මගේ අම්මා සේවය කළේ ගුවන් හමුදාවේ. ඇය වෘත්තියෙන් රාජකාරි කොතරම් බහුල වුණත් මටත්, නංගිටත් අවශ්‍ය කෑම ටික, කිරි ටික පවා ඇය අතින් සකස් කරලා තමයි නිවසෙන් පිට වුණේ. මුදල් ගෙවා වැඩට කෙනෙක් අපිව බලන්න තිබ්බත් කවදාවත් අපේ පෝෂණය ගැන අත්හැරීමක් කළේ නෑ. හැමදේම සැලසුමකට අනුව කළා. විශේෂයෙන්ම අපි සතුටින් කෑම ගන්න එක බලලා ඇය අප්‍රමාණව සතුටු වුණා.



ඉවුම් පිහුම් කරනකොට ඔබ විශේෂයෙන්ම අනුගමනය කරන දේවල් මොනවා ද? 

පිළිවෙළ, පිරිසිදුකම අංක එකට සලකනවා. ඊට අමතරව උයන්න යන දේ කලින් සැලසුම් කරලා, ඊට අවශ්‍ය හැමදේම ළඟට අරන් තමයි උයන්නේ හෝ අදාළ කෑම වර්ගය හදන්නේ.  මම හැම තිස්සේම කෘත්‍රිම රසකාරක වර්ග, වර්ණකාරක නොයොදා ස්වාභාවික දේවලින්ම කෑම හදන්න උත්සාහ කරනවා. මොකද රසට කෑම දෙනවා කියලා වහ දීලා අපේම ආදරණීයයන්ගේ සෞඛ්‍යයට බලපෑමක් කරන්න අවශ්‍ය නොවන නිසා. ඊට අමතරව මුළුතැන්ගෙයි ඉන්න වෙලාවට හොඳට ජනෙල්, දොරවල් ඇරලා වාතාශ්‍රය කුස්සියට එන විදිහට තමයි ඉන්නේ. උයන වෙලාවට රස්නයත් එක්ක දහඩිය දාන නිසා වෙහෙස බවක් දැනෙන නිසා නැවුම් කිරි වීදුරුවක්, නැවුම් පලතුරු වීදුරුවක් වගේ බොන්නත් පුරුදු වෙලා ඉන්නවා. උයලා ඉවර වුණ ගමන්ම පළමු කාර්යය වනේ කුස්සිය අස්කරලා නාගන්න එක. ඊට පස්සේ තමයි හදපු කෑම බීමවල රස විඳින්නේ විවේකීව.