මට සම්මත මිලක් තියෙනවා - සමන් අල්මේදා

Friday, April 09, 2021 , 0 Comments

 



සමන් අල්මේදා රංගනයට ආවේ නළුවෙක් වෙන්න තිබුණු කැමැත්ත නිසාමයි. එකම එක චිත්‍රපටයක හෝ රඟපානවා යැයි සිතූ සමන් අල්මේදා පළමුව සිය රංගනය ඉදිරිපත් කළේ 1991 ජෝ අබේවික්‍රම ශූරීන් විසින් නිෂ්පාදනය කළ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු විසින් අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයක් වෙනුවෙන්ය.. චිත්‍රපට 35ක පමණ රඟපෑ සමන් ටෙලිනාට්‍ය 150ක් වෙනුවෙන්ද සිය හැකියාව තිළිණ දුන්නේය.  ඉතිං ඔහු ඔහුගේ කලා ජිවිතේ තොරතුරු ගැන වගේ පෞද්ගලික ජිවිතේ තොරතුරු ගැනත් මෙලෙස පුවත්පතකට කියා තිබුනා.


කොහොමද ඉතින් මේ දවස්වල ජීවිතේ…?

වරදක් නැහැ.., කාලය ඉතා සතුටින් ගෙවී යනවා.


 කලා තොරතුරු ගැන අලුත් ආරංචි කියනව නම්?

තවමත් නමක් සඳහන්ව නොමැති අලුත් ටෙලිනාට්‍යයක ෂූටිං සඳහා අනුරාධපුරය බලා යෑමට නියමිතව තිබෙනවා. ඒ අතර කළින් රඟපෑ ටෙලිනාට්‍ය 10ක් පමණ විකාශණය වීමට තිබෙනවා. ‘පාස්පොට්’ චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වේවිය යන බලාපොරොත්තුව තුළ කල් ගෙවනවා.


 චැනල් කිහිපයකම ඔබ රඟපෑ ටෙලිනාට්‍යය මේ දිනවල විකාශනය වෙනවා?

ඔව්… ‘දාම්’ සහ ‘රෑනගල’ වලව්ව තුළින් මම රූපවාහිනිය සහ ‘සිරස’ යන සේවාවන් හරහා ජනතාව අතරට එනවා.


 හිතුවට වඩා රංගනය ඔබේ ජීවිතය වුණා…?

ඔව්… හිතුවට වඩා සමන් අල්මේදා කියන නළුවා මගේ ජීවිතයේ කොටසක් වුණා.


වැඩිපුර ආරාධනා ආවේ ‘යර්ස් බොස්’ නිසා යැයි කිව්වොත් එය නිවැරැදිද?

සම්පූර්ණයෙන්ම එය නිවැරැදියි… සමන් අල්මේදාව ජනතාව අතර ජනප්‍රිය වුණේ ‘යර්ස් බොස්’ ටෙලිනාට්‍යය නිසයි. කොටස් 300ක්… විකාශනය වූ ජනප්‍රිය කොමඩියක් ලෙස එය වයස් බේදයකින් තොරව ප්‍රේක්‍ෂක සිත් ඇදබැඳ ගත්තා.


ඔබ කවටයකු ලෙස ලේබල් වූයේ එතැනින්?

ලේබල් වූයේ නැහැ. හාස්‍යය රංගනය හරියටම කළ නිසා මාව ‘කවටයට’ තෝරා ගනු ලැබුවා. කොමඩියක් හැදෙන්නේ කොතැනද.., එම නිර්මාණකරුවා මාව ඒ සඳහා තෝරා ගත්තා. හැබැයි, ඔබ කී ලේබල් කතාව සාධාරණ නැහැ.., මොකද මම සංවේදී චරිත රංගනයන් සඳහාද ඇරැයුම් ලැබූ නළුවෙක්. ‘පුංචි වලව්ව’ ටෙලිනාට්‍යයේ… විවාහයක් අහිමි දුවක ලෙස රඟපෑ දුලිකා මාරපනගේ වියපත් පෙම්වතා විදියට මා කළ රංගනය ගැන බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා. ඒ විතරක් නෙවෙයි, ‘ද නිවුස් පේපර්’ සහ ‘පාස්පෝට්’ යන ගුණාත්මක චිත්‍රපට වෙනුවෙන්ද මා රඟපෑ ‘පෝටර්ගේ’ සහ ‘තැරැව්කාරයාගේ’ චරිතය හාස්‍යයෙන් තොරයි.


 රංගනය ඔබ කරන්නේ වෘත්තීය වශයෙන් නෙවෙයි?

නැහැ… මම ස්ථිර වෘත්තිකයෙක් ලෙස ජයවර්ධණපුර රෝහලේ සේවයේ නියුතු අයෙක්. බොහෝ රසිකයන් මට හමුවන්නේද ඒ වැඩබිම තුළදියි.


 රැකියාවත්, රංගනයත් බැලන්ස් කරගන්න අපහසු නැද්ද?

ෂූටිං යන විට නිවාඩු දෙන්නේ වැටුප් රහිතවයි. හැබැයි එය මට එතරම් ගැටලුවක් නෙවෙයි. රංගනය තුළින් මා ලබන ආත්මික ආශ්වාදය අප්‍රමාණයි.


 ඔබේ වටිනාකමට සරිලන මිල ඔබ කවදාවත් අඩු කරන්නේ නැතිලු?

ඔව්… මට සම්මත මිලක් මම නියම කරගෙන තිබෙනවා. කොමඩියක රඟපෑවත් එය එහෙමයි.., මෑතකදී ලොතරැයියක් වෙනුවෙන් කරන ඇඩ්වටීස්මන්ට් පෙළක් සඳහා මට එන්න කිවුවා. මම ඒ වෙනුවෙන් රුපියල් පනස්දාහක් ඉල්ලුවා. එතකොට ඔවුන් කිව්වා.., රුපියල් පන්දහකට එය කරන්නට ප්‍රවීණයෙක් කැමැති වුණා කියලා.., එතැනදී මම ඔවුනට කිවුවා එහෙනම් ඔයාලා ඒ අයව ගන්නය කියලා.


ඊට පස්සේ ඇඩ් එක ඔබට අහිමි වුණාද?

ඇඩ් එක අහිමි වුණාට මගේ මිල මට අහිමි වුණේ නැහැ. හැබැයි ඔවුන් කී අර පළපුරුදු රංගවේදියා එයට පෙනී හිටියා. ඇත්තටම එය මට හරි කනගාටුවක් වුණා. ඔහුගේ නම පැවැසීම සදාචාරාත්මක නොවන නිසා අපි මේ කතාවට මෙතැනින් තිත තබමු.


 ඔබේ පුතුන් තිදෙනා රංගනයට කැමැත්තක් දක්වන්නේ නැතිද?

රංගනය සඳහා ඔවුන් තුළ යම් කැමැත්තක් තිබුණා. ඒත් මගේ බිරිය එයට මනාප වූයේ නැහැ. ඇගේ කැමැත්ත තිබුණේ දරුවන් ඉහළට ඉගෙන ගන්නවා දකින්නයි. ඒ නිසා එයට ඉඩ ලැබුණේ නැහැ.


 කතාබහ අවසාන කිරීමට පළමුව ඔබට යමක් කියන්නට තියෙනවද සමන්..?

මෙගා නාට්‍ය කලාවේ තිබෙන අගතිය ගැන හිතට දැනෙන කනගාටුව අප්‍රමාණයි. ටී.වී. චැනල් ඔවුනට වුවමනා ලෙස මෙගා නාට්‍ය කලාව හසුරුවනවා. දක්‍ෂ රංගවේදීන් ඔවුනට ගොදුරු වෙනවා. ඇත්තෙන්ම ප්‍රේක්‍ෂකය නාට්‍ය නැරැඹීමෙන් ඈත්ව යන කාලය වැඩි ඈතක නැති බව කිව යුතුයි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු