මට සම්මාන අදාළම නැහැ - කළණ ගුණසේකර

Monday, April 12, 2021 , 0 Comments






වෙනස්ම රංග පැතිකඩකින් චරිත ජීවමාන කරමින් ඔබට සමීප වන ඔහු මෙවර පැවැති ‘සුමති’ සම්මාන රාත්‍රියේදී හොඳම සහාය නළුවා ලෙසට පාත්‍රවුණා. ඔහු කළණ ගුණසේකර.ඉතිං ඔහුගේ අලුත් තොරතුරු ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා.


කළණ ඔබට මෙවරත් ‘සුමති’ සම්මාන රාත්‍රියේ හිමිවුණු හොඳම සහාය නළුවාට සම්මානය ගැන මොකද හිතෙන්නේ?

එය සතුටක්. එමඟින් අපෙ රංගන දිවියට යම් ජවයක් ලැබෙනවා. හැබැයි එහෙම සම්මාන ගත්තා කියලා මම ලොකුවට හිතන කෙනෙක් නෙවේ. සම්මානය ඔළුවේ තියාගෙන මම වැඩ කරන්නේ නැහැ. ඒවා ගත්තා බිමින් තිබ්බා. ඒ මගේ හැටි. මෙවර සම්මානය මට ලැබුණේ ‘අඩෝ’ ටෙලිනාට්‍යයේ ‘සඳුන්’ චරිතය වෙනුවෙන්.


මේ වන විට හොඳම සහාය නළුවාට සම්මාන කීයක් විතර අරගෙන තියෙනවද?

සම්මාන පහක් විතර තමයි.


ඔබට නිර්මාණයක චරිතයක් ලැබෙන විට ඔබ හිතනවාද ඔබට සම්මානයක් ලැබෙයි කියලා?

මට සම්මාන අදාළම නැහැ. මම සම්මාන පිපාසයකින් පෙළෙන කෙනෙක් නෙවේ. මට වැදගත් කරන නිර්මාණයේ චරිතය මට වගේම මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට වෙනසක් වෙන විදිහේ චරිතයක් කරන්න.


 අනෙකුත් රංගන ශිල්පීන්ට වඩා ඔබට සුවිශේෂී චරිත හිමිවෙනවා. මෙයට විශේෂ හේතුවක් තියෙනවද?

අධ්‍යක්‍ෂවරුන් මාව විශ්වාස කරලා තමයි ඒ චරිත සඳහා තෝරා ගන්නේ. මට තවමත් හිතාගන්න බැරි ඒ අධ්‍යක්‍ෂවරුන් කොහොමද මාව විශ්වාසයට නැඟුවේ කියලා. අලුත් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන් සමග මම ගොඩාක් වැඩ කරලා තියෙනවා. මමත් රඟපෑමේදී චරිතය ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. මට සතුටක් නැතිනම්, මට ඒ චරිතය ජීවත් කරවීමට අපහසුවක් දැනෙනවා.


 චරිතයට අවතීර්ණ වීමේදී ඔබේ පෙර සූදානම කොයි වගේද?

මගේ ජීවිතය විඳපු අත්දැකීම්, ඒ වගේම සමාජයේ ගැවසෙන චරිතවල ගති ලක්‍ෂණ මෙනෙහි කරනවා මට ලැබෙන චරිතය අනුව. පිටපතේ චරිතයට මම ඒ දේවල් ආදේශ කරගෙන ජීවත් කරවනවා. සමහර චරිත කරන්න ගියාම ඉතින් නොගැළපුණොත් බැනුම් අහන අවස්ථාවත් තියෙනවා.


 ඔබේ වැඩිපුර දායකත්වය තිබෙන්නේ සිනමාවට නේද?

මම ගොඩාක්ම කැමැති චිත්‍රපට රංගනයට. ඒ අතර, ටෙලිනාට්‍යවල සුවිශේෂී චරිතයක් ලැබුණොත් මම රඟපානවා. මොකද සිනමාවේ රඟපෑම හිතන තරම් ලෙහෙසි නැහැ. නමුත් කරන චරිතය අඩු කාලයක් තුළ උපරිම මට්ටමෙන් කරන්න පුළුවන්. නමුත් ටෙලිනාට්‍යවල රඟපෑම එයට වඩා හාත්පසින් වෙනසක් දකිනවා. වැයවන කාලය වැඩියි.


ඔබේ සමකාලීන මිතුරන් රංග පාසල් බිහිකරලා. එවැනි අදහසක් ඔබට නැතිද?

රංගනය කියන දේ ඉගෙනගෙන ඉවර කරන්න බැහැ. එවැනි දෙයක් කරන්න තරම් මම සුදුසු මදි කියලා මම හිතනවා. නමුත් මට පුළුවන් දෙයකින් ඔවුන්ගේ වැඩවලට සහායක් දෙනවා.


 ඔබ රඟපෑමට වගේම ලේඛන කලාවටත් ලොකු නැඹුරුවක් දක්වනවා. කොහොමද ඔබගේ ඒ වැඩකටයුතු?

‘මූසිලයා’ කියලා කවි පොතක් නිර්මාණය කළා. ඒ වගේම ‘ප්‍රේමණීය සාරාගිනි’ නම් නවකතාවක් මම රචනා කළා. මම ඒ තුළින් ආත්ම තෘප්තියක් ලබනවා. ඒ නිර්මාණවලට කියවපු පාඨක පිරිසකගෙන් හොඳ ප්‍රතිචාර තිබෙනවා.


වසන්ත විතාරණගේ