ප්රශ්නය: යුරේනි කොහොමද?
පිළිතුර: මේ දවස්වල නම් හොඳින් ඉන්නවා. මේ අවුරුද්දම මම පොඩ්ඩක් විවේකීව තමයි ගත කළේ.
ප්රශ්නය: මේ දවස්වල අලුත් වැඩ භාරගත්තේ නැද්ද?
පිළිතුර: මම මේ දවස්වල ටෙලිනාට්‍ය සහ චිත්‍රපටවල වැඩ කරනවා අඩුයි. නමුත් මම බොහෝ දුරට කෝපරේට් ඉවෙන්ට්ස් ඇතුළේ කාර්යබහුල වෙලා ඉන්නවා. ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නම් මේ අවුරුද්දේ කිසිම දෙයක් භාරගත්තේ නැහැ.
ප්රශ්නය: “කූඹියෝ 2” සදහා සූදානම කොහොමද?
පිළිතුර: තාම කූඹියෝ දෙවැනි කොටස අපිට කිව්වේ කරන්න යනවා කියලා විතරයි. නිල වශයෙන් දැනුවත් කිරීමක් අපිට කරලා නැහැ. මම හිතනවා බොහෝ දුරට ලබන අවුරුද්දේ අපි කූඹියෝ දෙක රූගත කිරීම් පටන් ගනියි කියලා.
ප්රශ්නය: අපි ප්‍රේක්ෂකයෝ විදිහට හිතුවා “රීකන්ඩිෂන් කෙල්ල” චරිතයට සම්මානයක් ලැබෙයි කියලා. ඒ ගැන මොකක්ද ඔයාට හිතෙන්නේ?
පිළිතුර: ‘රීකන්ඩිෂන් කෙල්ල’ කියන්නේ මට ලැබුණු ලොකු අභියෝගාත්මක චරිතයක්. දිනූ කියන චරිතය විවිධ පරාසයන් ගොඩකට ගිය චරිතයක්. ඒක මටත් ලොකු අත්දැකීමක් වුණා. මම මගේ උපරිමය කළා ඒ චරිතය වෙනුවෙන්. අපි ගැමි චරිතයක් කළොත් ඒක ටෙලි නාට්‍යයේ මුල ඉඳල දිගටම ගැමි චරිතයේමයි ඉන්නේ. නමුත් රීකන්ඩිෂන් කෙල්ලගේ දිනූගේ චරිතය ගත්තොත්, සැරින් සැරේ චරිතය වෙනස් වෙනවා. මුල ඉඳලා එකම චරිතයක කොටස් 50 ක් කරනවට වඩා දිනූගේ චරිතය වගේ පරිණාමය වෙමින් යන චරිතයක් කෙනෙක්ට කරන්න හරි අමාරුයි. ඉතින් මම ඇත්තටම හිතුවා ඒකට සම්මානයක් ලැබෙයි කියලා. හැබැයි මම සතුටු වෙනවා ඒ චරිතයට සුමති සහ රයිගම් සම්මාන උළෙලේ නිර්දේශ ලැබුණු එක ගැන. ඒ නිසා මම ඒ ගැන සතුටුයි.
ප්රශ්නය: යුරේනිට මිනිස්සු හරි ආදරෙයිනේ. ඔබ හිනා වෙලා විහිළු කරලා ආදරෙන් ඉන්න චරිතයක් වුණාට ඇතුළතින් හරි සංවේදී කෙනෙක් කියලා අපිට හිතෙනවා. ඇත්තටම යුරේනි කියන්නෙ කවුද?
පිළිතුර: මම පොඩි දේටත් හරිම සංවේදී වෙන කෙනෙක්. යාළුවෙක් හොඳ නිවුස් එකක් කිව්වත් මට දුක හිතෙනවා, ඒ සතුට වැඩිමකමට. යාළුවෙක්ගේ මොකක් හරි දුකක් කිව්වත් මට ඇඬෙනවා. ඒ මට දුක වැඩිමකමට. මම ඒ වගේ චරිතයක්. හැබැයි යුරේනි කියන්නේ ජීවිතය හරිම තෘප්තිමත්ව සතුටින් ජීවත් වෙන කෙනෙක්. මොකද මම කවදාවත් මාව කාටවත් සන්සන්දනය කරන්න යන කෙනෙක් නෙවෙයි. මම ලද දෙයින් ගොඩාක් සතුටු වෙන කෙනෙක්. මම හරි විනෝදයෙන් ඉන්න කෙනෙක්. ඉතින් ඒක නිසා මගේ යාළුවොත් මගෙන් අහනවා කොහොමද ඔහොම ඉන්නේ කියලා. මම රූගත කිරීම් සෙට් එකකට ගියත්, ඉවෙන්ට් එකකට ගියත්, යාළුවන්ගේ පාටියකට ගියත් සතුට පතුරුවන කෙනෙක්.
ප්රශ්නය: යුරේනි කොහොමත් ෆැෂන් අයිකන් එකක්නේ. කොහොමද මේ ෆැෂන් කරන්නේ?
පිළිතුර: ෆැෂන් කරනවා කියන්නෙම ඇඳුමක් අඳින එකවත්, ඒ ඒ කාලෙට එන ස්ටයිල් එකක් ෆලෝ කරන එකවත් නෙමෙයි. ෆැෂන් කරන්න නම් හොඳ පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. තමන්ට ලොකු ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. නැත්නම් කොච්චර වියදම් අධික ඇඳුමක් ඇන්දත් වැඩක් නෑ. ඉතින් ෆැෂන් කියලා මම දකින්නේ විශ්වාසයෙන් යුතුව, මගේ පෞරුෂත්වය එළියට එන විදිහට අඳින්න පුළුවන් ඇඳුමයි. ඉතින් ඒක නිසා මම බොහෝ දුරට තෝරාගන්නේ ඒ වගේ මෝස්තර. මම ජාත්‍යන්තර ෆැෂන් එක්ක ගොඩක් අප්ඩේට් වෙච්ච කෙනෙක්. නමුත් මම ඒ හැමදේම අනුගමනය කරන්නෙත් නැහැ. මට ගැළපෙන දේ තමයි මම අඳින්නේ. ඒක නිසා අද වෙනකොට තරුණ ළමයි ගොඩක් වෙලාවට මාව ෆැෂන් අයිකන් එකක් විදිහට අනුගමනය කරනවා. ඒ ගැන මට හරි සතුටුයි. මම ක්ෂේත්රයට එනකොට 2007 දී ලංකාවේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකක් කියලා ලොකුවට තිබුණේ නැහැ. රෙඩ් කාපට් එකකට ඒ කාලේ සම්මාන උළෙලවලට හෝ ඉවෙන්ට් එකකට සාරියක් හෝ ගවුමක් අඳින්නේ. මම හිතන්නේ ඒ කාලේ ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකට මම ෆැෂන් ගොඩක් හඳුන්වා දුන්නා කියලා. ඉතින් ඒක නිසා අද නළු නිළියෝ හරි ලස්සනට ඇඳගෙන යනකොට, රෙඩ් කාපට් ෆැෂන් කරනකොට, ඉවෙන්ට්ස්වලට ලස්සනට අඳිනකොට මට ලොකු ආඩම්බරයක් දැනෙනවා. සමහරු බයයි අපේ සංස්කෘතියත් එක්ක ෆැෂන් කරනකොට මිනිස්සු මොනවා හිතයිද කියලා. නමුත් දැන් ඒ දේවල් වෙනස් වෙලා හැමෝම වගේ ෆැෂන් කරනවා.
ප්රශ්නය: තනියෙන් ජීවත් වෙන කෙනෙක් විදිහට මොකක්ද ගැහැනු ළමයෙකුට තියෙන්න ඕනේ?
පිළිතුර: අංක එක තමයි මූල්‍යමය ස්වාධීනත්වය. මොකද අද අපිට පොල් සම්බෝලයි බතුයි කාලා ඉන්න බැහැ. අපි හැමෝටම සුඛෝපභෝගී ජීවිත ගත කරන්න බැරි වෙයි. නමුත් අපිට යම්කිසි මට්ටමකට හෝ කාලා ඇඳලා ඉන්න ආස කරන ජීවිතයක් තියෙනවනේ. අද වෙනකොට තියෙන්නේ අට පහ ජොබ්ස් කරන කාලයක් නෙමෙයි. ගොඩක් පොඩි වයසේ ඉඳලා මුදල් උපයන්න අවස්ථාවන් තියෙනවා. අපිට ගොඩක් වෙලාවට අහන්න තියෙන දෙයක් තමයි, දැන් ඉන්න පරම්පරාව පොඩ්ඩක් කම්මැලි කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට පොඩ්ඩක් දරාගැනීම අඩුයි කියලා. ඉතින් ඒ දේවල් එක්ක තනියම ඉන්නවනම් ගල් මුල් මුලින් වදිනවා. නමුත් කාලයක් එක්ක කවදා හරි දවසක තමන් හරියට හිටියොත්, ඒ ගෞරවය සහ අවශ්‍ය කරන සාර්ථකත්වය, තමන්ට විශ්වයෙන් ලැබෙන්න තියෙන හැම ආශිර්වාදයක්ම ලැබෙනවා. ඒක නවත්වන්න බැහැ. මිනිස්සුන්ට පුළුවන් තරම් හොඳ කරන්න. නරක කරන මිනිසුන්ටත් හොඳ කරන්න. කාටවත් අංචි අඳින්න, මිනිස්සුන්ව කකුලෙන් ඇදලා දාන්න වගේ පව්කාර වැඩ කරන්න යන්න එපා. තව මනුස්සයෙක් දියුණු වෙනකොට, තව මනුස්සයෙක් ජයග්‍රහණය කරනකොට අත්පුඩි ගහලා, ඒ මනුස්සයා එක්කම සතුටු වෙන්න. ඔය දේවල් කළොත් ජීවිතයේ ඇත්තටම ගැහැනු ළමයි විදිහට, හැමෝටම සමාජයක් විදිහට දියුණු වෙන්න පුළුවන්.
ප්රශ්නය: යුරේනි ගොඩාක් අධ්‍යාත්මික පැත්ත ගැන හිතන කෙනෙක්නේ?
පිළිතුර: ඔව්. මම ගොඩක් අධ්‍යාත්මික පැත්තට බරයි. මම විශ්ව ශක්තිය ගැන දැන් අවුරුදු 14 ක් තිස්සේ පුහුණුවීම් කරනවා. මේ කාලය තුළ මම පොඩ්ඩ පොඩ්ඩ අධ්‍යාත්මිකවත් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. එතකොට අධ්‍යාත්මිකව දියුණු වෙනකොට මනුස්සයෙක්ගේ මනස, අනිත් දේවල් තිබුණා හෝ නැතා ජීවිතයේ ලැබෙන පොඩි දේටත් සතුටු වෙනවා. මම හිතන්නේ ඒ සතුට තමයි මට හැමෝටම පතුරුවන්න හම්බ වෙලා තියෙන්නේ.
ප්රශ්නය: ජීවිතය ගැන මොනවද ඉගෙනගෙන තියෙන්නේ මේ වෙනකොට සහ ඉස්සරහට මොනවගේ දේවල්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
පිළිතුර: ජීවිතය ගැන ඉගෙනගෙන තියෙන ලොකුම දේ තමයි තමන්ට තමන් තරම් කිසිම මනුස්සයෙක් ආදරය කරන්නේ නැහැ කියන එක. එහෙම ආදරයක් බලාපොරොත්තු වෙන්නත් එපා. ඒක මෝඩකමක්. ඉතින් ඒක නිසා මම අද තේරුම් අරගෙන තියෙන දෙයක් තමයි ආදරය කියන්නේ ගනුදෙනුවක් පමණයි කියන දේ. තමන් තමන්ට ආදරය කරන්න, තමන්ගේ නීරෝගීකම ගැන බලාගන්න, තමන්ගෙ මනසේ සතුට ගැන බලාගන්න. ඒ වගේම මම විවාහ වෙන එකක් නැහැ. ඒක මේ වෙනකොට තීරණය කරලා ඉවර දෙයක්. හැබැයි මිනිස්සු වෙනස් වෙනවා. කවදාහෝ දවසක හදිස්සියේවත් මට කෙනෙක් එක්ක ජීවිතය ගෙවන්න පුළුවන් කියලා හිතුණොත් විවාහ වෙයි ද දන්නේ නැහැ. මගේ අනිත් දේ තමයි මම නිළියක් කියනවටත් වඩා මම මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ මිනිස්සුන්ට හරි සේවයක් කරන්න. ඉතින් ඒ සේවය කරලා ඉවර වෙන දවසට ඉක්මනට යන්න ඕනේ කියලත් හිතලා ඉවරයි.
ප්රශ්නය: සමාජ මාධ්‍යවල තියෙන Negative Comments වලට ඔබත් හිත රිදවගන්න කෙනෙක්ද? ඒ දේවල් ඔබ දරාගන්නේ කොහොමද?
පිළිතුර: ඇත්තටම දැන් නම් මම නෙගටිව් කමෙන්ට්ස් කියවලා හිනා වෙනවා. ඉස්සර පුංචි මනසක් තියෙනකොට නම් ඇත්තටම හිත රිදුණා. මම ඇත්තටම සමාජය ගැන ලොකුවට දැනගෙන හිටියේ නැහැ. නමුත් පස්සේ අධ්‍යාත්මිකව මගේ මනස දියුණු වෙනකොට, හේතුඵල ධර්මය ගැන ඉගෙන ගන්නකොට, හැම දෙයක් ගැනම මම දකින විදිහ වෙනස් වුණා. මිනිස්සුන්ගෙන් ලැබෙන නෙගටිව් ප්‍රතිචාර දකින විදිහ වෙනස් වුණා. ඒක නිසා මම හැමදේම ඊටපස්සේ භාරගත්තෙත් හරි සුබවාදීවයි. ඇත්තටම මම ෆේස්බුක් එකේ කමෙන්ට්ස්වලට රිප්ලයි කරන්නේ නැති වුණාට මම ඒවා කියවනවා. සමහර ඒවාට මම ජොලියට රිප්ලයි කරනවා. දැන් මම අවුරුදු 20 ක් විතර ෆීල්ඩ් එකට ඇවිල්ලා. මේ 20 වෙනි අවුරුද්ද. මගේ ජීවිතේ මම බර්ත්ඩේ පාටියක්වත් කරන්නෙ නැති කෙනෙක්. ගොඩක් වෙලාවට නෙගටිව් කමෙන්ට්ස් ගත්තම ඒවා කියන මිනිස්සු අපිව පෞද්ගලිකව දන්නේ නැහැනේ. මම ගැන දන්නේ නැති, මගේ ලෝකේ ජීවත් වෙන්නේ නැතිව, පිටින් බලලා මොනවා හරි කියන මනුස්සයෙක්ට මම කැමති නැහැ. හැබැයි මාව වට්ටන්න පුළුවන් එකම තැන ආදරේ කියන කාරණාව. එතැනත් මම දැන් ශක්තිමත් කරගෙන ඉන්නේ. ඒ නිසා හැම පැත්තකින්ම දැන් මම මාව ආරක්ෂා කරගෙන ඉන්නේ.
ENGLISH SUMMARY:
Sri Lankan actress and fashion icon Yureni Noshika recently shared insights into her personal life, career, and spiritual journey in a candid interview marking her 20th year in the entertainment industry. Known for her memorable performances in popular television series such as "Koombiyo" and "Recondition Kella", she expressed hope that filming for "Koombiyo 2" might begin next year, although no official announcement has been made yet. Yureni, who received nominations at both the Sumathi Awards and Raigam Tele'es for her challenging role as Dinu in "Recondition Kella", emphasized that she is currently focusing more on corporate events rather than taking on new film or television projects this year. Speaking openly about her personal beliefs, Yureni revealed that she has been practicing universal energy meditation for 14 years, which has helped her maintain a positive mindset and gracefully handle negative social media comments. Stressing the importance of financial independence for young women, she also stated that she does not plan to get married, choosing instead to focus on self-love, mental peace, and serving society.