"හත්වෙනි මනාලි" ටෙලිනාට්‍යයේ නාද්‍යා සහ සැබෑ ජීවිතයේ ආදරය ගැන අනුරාධා එදිරිසිංහ කියූ කතාව

gossiplanka image 1
  


ටී.වී. දෙරණ නාළිකාවේ විකාශය වන 'හත්වෙනි මනාලි' ටෙලිනාට්‍යයේ නාද්‍යාගේ චරිතය හරහා මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට එන රංගන ශිල්පිනී අනුරාධා එදිරිසිංහ, සිය රංගන කටයුතු සහ පෞද්ගලික ජීවිතයේ තොරතුරු පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. පහත දැක්වෙන්නේ ඇය සමඟ සිදුකළ එම සංවාදයයි.


අනුරාධා රංගන ක්ෂේත්‍රයට පිවිස මේ වන විට කොපමණ කාලයක් ගතවී තිබේද?

මා රංගන ක්ෂේත්‍රයට පිවිස මේ වන විට වසර 12ක් පමණ වෙනවා. රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලින් මා රංගන ජීවිතය ආරම්භ කළේ 2014 වසරේදියි. ඉන්පසුවයි මා ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වෙමින් වෘත්තීය රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට එක්වුණේ.


මේ දිනවල ඔබේ කලා කටයුතු මොනවාද?

මේ දිනවල මා රංගන කටයුතු සමඟින් තරමක් කාර්යබහුල වී සිටිනවා. 'අලුත් සර්', 'හත්වෙනි මනාලි', 'අසන්ධිමිත්තා', 'වැලි කඩදාසි', 'රිදී' සහ 'කොටුව පිටකොටුව' යන ටෙලිනාට්‍යවල රූගත කිරීම් සඳහා මා සම්බන්ධ වී සිටිනවා.


'හත්වෙනි මනාලි' ටෙලිනාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබෙන බව අසන්නට ලැබුණා.

ඔව්. ටී.වී. දෙරණ නාළිකාවෙනුයි මට 'හත්වෙනි මනාලි' ටෙලිනාට්‍යයට සම්බන්ධ වන්නැයි ආරාධනා ලැබුණේ. මීට පෙර ඔවුන්ගේම නිර්මාණයක් වූ 'රාවණ' ටෙලිනාට්‍යයට ද මා සම්බන්ධ වුණා. එය අවසන් වී වසර හතක් පමණ ගතවී ඇතත් අදටත් ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිචාර හිමිවෙනවා. ඉතින් ටී.වී. දෙරණ අලුත්ම නිර්මාණයක් සහ තිළිණ බොරලැස්ස මහතා අධ්‍යක්ෂණය කරන 'හත්වෙනි මනාලි' සඳහාත් මා එකතු වුණා. මේ දිනවල ඊට ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා.


'හත්වෙනි මනාලි' ටෙලිනාට්‍යය තුළ ඔබේ චරිතය දුෂ්ට වී තිබෙන්නේ ඇයි?

ආදරය අහිමි වීම දරාගැනීමට නොහැකි වූ විට ඇතැම් මිනිසුන් දුෂ්ට වෙනවා. නමුත් ඒ දුෂ්ටකම ඇතුළේ තිබෙන්නේද ආදරයම පමණයි.


හදවතින්ම ආදරය කළ පුද්ගලයෙකුට වෛර කිරීමට හැකිද?

අවංකවම ආදරය කළ කෙනෙකුට කිසිදාක වෛර කළ නොහැකි බවයි මා විශ්වාස කරන්නේ. 'හත්වෙනි මනාලි' ටෙලිනාට්‍යයේ නාද්‍යා ද පිටතින් වෛරය පෙන්නුවත් ඇගේ සිත ඇතුළේ සැබෑ වෛරයක් නොමැති බව මා සිතනවා.


ආදරය හා වෛරය යනු එකම කාසියේ දෙපැත්තක් බවට කතාවක් තිබෙනවා නේද?

ඔව්, මාද එලෙස අසා තිබෙනවා. නමුත් ආදරයේදී ක්ෂණිකව ඇතිවන වෛරයක් කිසිදිනෙක සදාකාලික වෛරයක් විය නොහැකි බවයි මාගේ අදහස.


රවීන් සමඟ රණ්ඩු වෙමින් ආදරය කිරීමට ලැබුණු අත්දැකීම කෙබඳුද?


රවීන් අයියා සහ මා රණ්ඩු වෙමින් ආදරය කරන්නේ 'හත්වෙනි මනාලි' ටෙලිනාට්‍යය තුළ පමණයි. මීට පෙරත් කලා කටයුතුවලදී අප දෙදෙනා හමුවී තිබෙනවා. ඔහු ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්. එවැනි ආදරණීය රංගන ශිල්පියෙකු මාගේ පෙම්වතා ලෙස රඟපෑම පිළිබඳව මා සතුටු වෙනවා.


නාද්‍යාගේ චරිතය පිළිබඳව රසිකයන් දක්වන අදහස් මොනවාද?

නාද්‍යා දුෂ්ටකම් කරන නිසා ප්‍රේක්ෂකයන් මට බනිනවා. බොහෝ දෙනෙකු අසන්නේ දේව් සමඟ මෙතරම් තරහ පිරිමහන්නට තරම් ඇතිවී තිබෙන ප්‍රශ්නය කුමක්ද කියායි. ඉදිරියේදී නාද්‍යා, දේව්ට මෙතරම් වෛර කරන්නේ ඇයි දැයි කියා ටෙලිනාට්‍ය නරඹන රසිකයන්ට දැනගත හැකිවේවි.


ඇය දේව්ට වෛර කිරීමට හේතුව දැනගත් පසු ප්‍රේක්ෂකයන් නාද්‍යාගේ පැත්ත ගනීවිද?

ඇගේ කතාව දැනගත් පසුව ප්‍රේක්ෂකයන් නාද්‍යාගේ පැත්තේ සිට ගනීවිද නැද්ද යන්න මා දන්නේ නැහැ. නාද්‍යා සහ දේව්ගේ ආදරය විවිධ හැලහැප්පීම්වලට ලක්වී බිඳ වැටෙනවා. ඉතින් හදවතින්ම ආදරය කළ තරුණියක ලෙස නාද්‍යාගේ හැඟීම්වලට සාධාරණයක් ඉටු කිරීමටයි මා උත්සාහ කරන්නේ. ඔවුන්ගේ ආදර කතාවට සිදුවූයේ කුමක්දැයි දැනගත් පසුව, හරි කවුද වැරදි කවුද යන්න තීරණය කිරීම ප්‍රේක්ෂකයන් අතේ තිබෙනවා.


ආදරය කළ යුවළයන් වෙන්වී වෛරක්කාරයන් වූ අවස්ථා සමාජයේ ඕනෑ තරම් දකින්නට ලැබෙනවා. ඔබට හැඟෙන පරිදි ආදරයක් බිඳෙන්නට නොදී රැකගත යුත්තේ කෙසේද?

ආදරය කරන කෙනාව පාලනය කිරීමට උත්සාහ නොකර නිදහස ලබාදීම තුළින් බැඳීමක් බිඳෙන්නට නොදී පවත්වාගෙන යා හැකි බව මා විශ්වාස කරනවා. ආදරය කිරීමට යහපත් මානසික හැඟීමක් තිබිය යුතුයි. නිදහස අහුරමින් නීතිරීතිවලට යටත් කිරීමට උත්සාහ කිරීමෙන් මානසික නිදහස නැතිවී දෙදෙනා අතර ඇති බැඳීමට හානි විය හැකියි. ඒ නිසා ආදරයේදී නිදහස යන්න මා අංක එක ලෙස සලකනවා.


මේ දිනවල ඔබත් සුන්දර ආදරයක් විඳින බව අසන්නට ලැබුණා.

මේ දිනවල පමණක් නොවෙයි, මා සැමදාම මගේ මවගෙන්, පවුලේ අයගෙන් සහ රසික රසිකාවියන්ගෙන් ආදරය වින්දා. ඒ අතරතුර මටම වෙන්වූ විශේෂ කෙනෙකුගේ ආදරයකුත් මගේ ජීවිතයට ලැබී තිබෙනවා.


එම පෙම්වතාගෙන් ඔබට ලැබෙන්නේ කෙබඳු ආකාරයේ ආදරයක්ද?

ආදරය යනු එක්තරා ආකාරයක දරාගැනීමක්. ඉතින් මට සහයෝගය ලබාදෙන අතරතුර ඔහු මාව ඉතා ආදරයෙන් දරාගෙන සිටිනවා.


ජීවිතය පිළිබඳව ඔබ ඔහු සමඟ දකින සිහින මොනවාද?

මා කවදත් කැමති කිසිවෙකුගේ හිතක් වචනයකින් හෝ බැල්මකින් රිදවන්නේ නැතිව, පවුලේ අය ගැන සොයාබලමින් රංගන කටයුතු ද කරගෙන පාඩුවේ ජීවත් වන්නටයි. ප්‍රේම සම්බන්ධතාවයක් ඇතුළේදී වුණත් එහි කිසිදු වෙනසක් නැහැ.


සටහන - ලක්ෂාන් ජයසූරිය


ENGLISH SUMMARY:

Sri Lankan actress Anuradha Edirisinghe recently opened up about her ongoing television career and personal life in a new interview. She is currently receiving significant attention for portraying the villainous character 'Nadya' opposite actor Raween Kanishka ('Dev') in the popular TV Derana teledrama *Hathweni Manali*, directed by Thilina Boralessa. Speaking about her character, Edirisinghe explained that Nadya's actions stem from a shattered relationship rather than genuine hatred, urging viewers to understand the emotional depth behind the role.


Having spent 12 years in the acting industry since debuting in commercials in 2014, she is currently busy with multiple teledramas including *Aluth Sir*, *Asandhimiththa*, *Wali Kadadahi*, *Ridi*, and *Kotuwa Pitakotuwa*. She also fondly recalled her previous hit project *Ravana*.


Beyond her professional career, the actress confirmed that she is currently in a beautiful romantic relationship. Sharing her thoughts on love, Edirisinghe emphasized that emotional freedom and mutual support are the most important elements of a healthy bond, noting that trying to control a partner through strict rules only damages the connection.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post