රංගන ජීවිතයේ සෑම දවසක්ම අමතක නොවන මතකයක් - මොරුන් චාරුනි

Tuesday, March 16, 2021 , 0 Comments

 



ඇයගේ රංගන ප්‍රතිභාව එක් තැනකට අසුවී නැත. එකිනෙකට වෙනස් වූ රංගනයන් තුළින් ඇය චරිතාංග නිළියක බවට සනාථ කර හමාරය. ඇය විටෙක ගම්පෙරළියේ නන්දා විය. තවත් විටෙක සරා හි සරාගේ මව විය. එසේම සඳගලතැන්නේ නන්දිකා, සඳගිරි පව්වේ හීන් එතනා, අවිදු අඳුරේ නෝන මහත්තයා ආදී ලෙස චරිතවලට ඔක්සිජන් දී පණපෙවේ රංගන ශිල්පිනියක ලෙස ජේෂ්ඨත්වය අපූරුවට කියාදෙමිනි. අප එලෙස හඳුන්වාදෙන කතානායිකාව මොරුන් චාරුනියි. 



කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල කොරෝනා එක්ක ඔට්ටු අල්ලමිනුයි වැඩ කටයුතු කරන්නේ.... චන්න පෙරේරාගේ සඳ දිය අරණ චිත්‍රපටයේ වැඩකටයුතු කරනවා. එහිදී කාලෙකින් මාලනී ෆොන්සේකා මහත්මිය එක්ක ආයෙත් එකට වැඩ කරන්න ලැබෙනවා. සංචාරක ව්‍යාපාරය සම්බන්ධ වාර්තාමය චිත්‍රපටයකත් මේ දවස්වල රූගත කිරීම් කරනවා. දාම් ටෙලි නාට්‍යයේ වැඩකටයුතු වගේම සුදන්ත තිලකසිරින්ගේ නිර්මාණයකටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. මිට අමතරව ඉරුදෙණියායෙත් වැඩකටයුතු කරනවා. ගෙවතු වගාව, පොත්පත් කියවීම, ව්‍යායාම් කිරීම වගේ පෞද්ගලික වැඩ කටයුතුත් කරගෙන කාලය ගෙවනවා.


මොරුන් චාරුනි කියලා හැමෝම කිව්වට උප්පනෙ තියෙන්නේ වෙනස් නමක් වෙන්ද?

මගේ ඇත්තම නම මොරින් මොහාරා. තාත්තා තමයි මට ඒ නම යොදන්නේ. ඇය තාත්තා කැමැතිම හොලිවුඩ් නිළියක්. ඒ නිසා ඇයගේ නම මටත් යොදනවා.


“මොරුන් මෙහාරා' 'මෝරුන් චාරුනි' වුණේ කොහොමද?

"කරදිය වළල්ල' මගේ මුල්ම චිත්‍රපටය. ඒ චිත්‍රපටයේදී වගේම 'අසිපත මමයි' චිත්‍රපටයේ මාව හැඳින්වූවේ මොරුන් මෙහාරා නමින්. ඉන් පස්සේ මං රඟපෑවා චණ්ඩින්ගෙත් චණ්ඩියා චිත්‍රපටයේ. එහිදී ආනන්ද එස්. විජේසිරි මහතා කිව්වා මොරුන් මෙහාරා කිව්වට ලන්සිද, මැලේද, බර්ගද කියලා හිතාගන්න අමාරු නිසා නම වෙනස් කරලා මොරින් චාරුනි කියලා නම තියමු කියලා. එදා ඉඳන් මං මොරින් චාරුනි වුණා.


ඔබ කලාවට පිවිසෙන්නේ කොහොමද?


මම කලාවට පිවිසෙන්නේ අහඹු ලෙසින්. මගේ හොඳම යාළුවෙක් හිටියා දීප්ති කියලා. ඇය රංගනයට, ගායනයට, නර්තනයට දක්‍ෂ කෙනෙක්. ඇයට රංගනය ගැන ලොකු අවබෝධයක් තිබුණා. ඇය වගේම මගේ පොඩි මාමාටත් (කුමාරතුංග) කලාව ගැන ලොකු උනන්දුවක් තිබුණා. ඔවුන් ඉදිරිපත් වුණ සම්මුඛ පරීක්ෂණයකට මාවත් එක්කන් යනවා. එහිදී කරදිය වළල්ල චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මාව තේරී පත්වෙනවා. රංගනය හරිම සංකීර්ණයි. මට මේ ඉස්සරහට කරගෙන යන්න බැරිවෙයි කියලා දහස් වාරයක් හිතුණා. ආපසු ගිහින් ගුරු වෘත්තිය කරගෙන ඉන්නවද කියලත් හිතුණා. නමුත් කාලයත් එක්ක මං රංගනයට හුරු වුණා. ප්‍රවීණයන්ගේ ඔවදන්, අනුශාසනා එක්ක කලාවේ ගැඹුර අතපත ගන්න මට හැකියාව ලැබුණා.


ටෙලිවිෂනය, සිනමාව තුළ "මොරුන් චාරුනි" නම සුලබව ඇහෙනවා. හැබැයි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ හරිම දුලභව නේන්ද?

ඔව්. මං වේදිකාවට ටිකක් බයයි. වේදිකා නාට්‍ය තුළ හූව, විසිල් එක වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර එවලෙහිම ලැබෙනවා. මං වේදිකා නාට්‍ය 5කට ආසන්න සංඛ්‍යාවකට පමණයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ... රංගන ආරාධනා ලැබුණා. ඒත් නාට්‍ය රූගත කිරීම් නිසා බොහොමයක් අවස්ථා මඟහැරුණා. දැන් හිතෙනවා ඒ අවස්ථාවනුත් උදාකරගත්තා නම් මම මීටත් වඩා සාර්ථක තැනක ඉදිවී කියලා.


මෙතෙක් ආපු ගමන් මඟ ගැන තෘප්තිමත්ද?

ඔව්. කෝටිවාරයක් මං තෘප්තිමත්. මං ගැන වගේම මගේ රංගනය ගැනත්.


රඟපාපු චරිතවලින් ලොකුම අභියෝගයක් දැනුණේ මොන චරිතය නිරූපණය කරනකොටද?

ගපෙරළිය චිත්‍රපටයේ නන්දාගේ චරිතය තමයි මෙතෙක් මට දැනුණ ලොකුම අභියෝගය. මීට පෙර ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්‍ෂණය කළ ගම්පෙරළිය චිත්‍රපටයේ නන්දාගේ චරිතය නිරූපණය කළේ පුණ්‍ය කීදෙණිය කියන ජනප්‍රිය, ග්රෂ්ඨ රංගන ශිල්පිනිය. ඇය විශිෂ්ට රංගනයක් එකල සිදුකර තිබුණා. ඒ නිසා සම්මානයට පවා ඇය පාත්‍ර වුණා. ඒ චරිතය මට නිරූපණය කරන්න ලැබීමම ලොකු අභියෝගයක්. නමුත් මං ඒ අභියෝගය සාර්ථකව ජයගත්තා කියා හැඟුණා ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින්.


රංගන ජීවිතයේ අමතක නොවන සිදුවීම් තිබෙනවද?

මට රංගන ජීවිතයේ හැම දවසක්ම, හැම මොහොතක්ම අමතක නොවන මතකයක්. මොකද මං ඒ තරම්ම රංගනයට ආදරෙයි. ඒ වගේම ගෞරව කරනවා.


රූපගත කිරීම් කරන අතරතුර කරදරයට පත්වුණු අවස්ථා, අනතුරු වුණු වෙලාවල් ඇති. ඒ මතකයන් ආවර්ජනය කළොත්?

"රූමති" චිත්‍රපටය රූගත කිරීම් කරලා නිවෙස බලා එනකොට ලොකු රිය අනතුරකට මුහුණ දුන්නා. එහිදී මාලනී ෆොන්සේකා මහත්මිය දරුණුවට අනතුරට ලක්වුණා. එහි නිෂ්පාදකවරයාට ඒ අනතුරින් පාදය අහිමිවුණා. සුබ ප්‍රාර්ථනා ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් කරනකොට ඔරුව පෙරළිලා හැමෝටම ගිලුණා. නමුත් හැමෝගෙම වාසනාවට ජීවිත බේරගන්න පුළුවන් වුණා.


පවුලෙ විස්තර කොහොමද?

අම්මයි, තාත්තයි, මල්ලි (ජානක), ලොකු නංගි (මාලා), පොඩි නංගි (වීණා) මගේ පළමු පවුල. ඉන් පස්සේ මගේ පවුල ගොඩනැගෙන්නේ මගේ සැමියා ගිහාන්. මගේ නංගිගේ සැමියා අතුල, මගේ පොඩි නංගිගේ සැමියා සරත්, මගේ මල්ලිගේ බිරිය චම්ප, මගේ දුව ජනනි වගේම මගේ සහෝදර සහෝදරියන්ගේ දුවලා, පුතාලාවත් මං ආදරෙන් මතක් කරනවා. මේ සියලු දෙනාගෙන්ම ආදරය, ආශීර්වාදය නොමැති නම් මට මේ තරම් දිගු ගමනක් එන්න ලැබෙන්නේ නැහැ.