සට­න්ක­රුවෝ හිටි­යට සටන් නළුවෝ අඩුයි - වසන්ත කුමාරවිල

Tuesday, March 16, 2021 , 0 Comments



අද අපේ කථානායකයා සිනමාවේ හා පුංචි තිරයේ සටන් අධ්‍යක්ෂකවරයෙක්,​ සටන් නළුවෙක්, ප්‍රතිවීරයෙක් ලෙස චරිතාංග රංගන ශිල්පියෙක් ලෙසද චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස ද නිර්මාණ ගණනාවකට දායකත්වය ලබා දුන් කලාකරුවෙකි. වසර ගණනාවකට පෙර විකාශය වූ ‘නිලංජනා‘ ටෙලි නාට්‍යයේ වසන්තගේ චරිතය හරහා අදටත් බොහෝ ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙන්නට වාසනාවත්ත වූ ඔහු , නමින් වසන්ත කුමාරවිල යි.ඉතිං ඔහුගේ අලුත් වැඩකටයුතු ගැන පුවත්පතකට මෙලෙස විස්තර තියා තිබුනා. 


 


වත්මන් සිනමාව තුළ සටන් නළුවන්ට තිබෙන තැන මොකක්ද ?


දැන් සටන්කරුවො නම් ඕන තරම්. හැබැයි සටන් නළුවො අඩුයි. සටන ඇතුළේ තාත්වික වෙන්නෙ කොහොමද යන්න හදාරන්න ඕන. මම මුලින්ම සටන්කරුවෙක් ලෙස රඟපෑවේ හේමසිරි සෙල්ලප්පෙරුමගේ ‘කියල වැඩක් නෑ‘ චිත්‍රපටයේ. ඉන් පසුව පොත් පත් කියවල චිත්‍රපට බලල හැදෑරීම් කළා. වේදිකාවට සම්බන්ධ වෙන්න ලැබීමත් සුවිශේෂී අත්දැකීමක්. සටන්කරුවකු නළුවෙක් ලෙස සටන අතරේ රඟපාන්න වුවමනා බව මම හඳුනාගන්නේ මේ කාලයේදියි.


 


මේ අවධියේ දි ජාත්‍යන්තර චිත්‍රපටවලත් සටන් ජවනිකා නිරූපණය කරන්න ඔබට අවස්ථාව ලැබුණා ?


'' ජැක්පොට් පාර්ට් 3 '' කියන හොලිවුඩ් චිත්‍රපටයේ සටන් නළුවෙක් ලෙස මම මුලින්ම රඟපෑවා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් නිසා තමයි මේ චිත්‍රපටය ලංකාවේ රූගත කළේ. ඉන් අනතුරුව ඇමරිකාව, ඉතාලිය, ඉන්දියාව වැනි රටවල චිත්‍රපට ගණනාවක සටන් නළුවෙක් ලෙස සම්බන්ධ වුණු ඒ අත්දැකීම් මගේ කලා දිවිය ආලෝකවත් කළා.


 

සටන් අධ්‍යක්ෂවරයෙක් වීමේ මාර්ගය සැකසෙන්නේ ඒ ලැබූ පන්නරයෙන් ද?


සටන් අධ්‍යක්ෂකවරයෙක් වීමේ බලාපොරොත්තුව ඉටු වුණේ සුදේෂ් වසන්ත පීරිස් ගෙ ‘පිස්සු ට්‍රිබල් ‘ චිත්‍රපටයෙන්. මුලින්ම සම්මානයක් ලැබෙන්නෙ ජැක්සන් ඇන්තනීගෙ ‘ඇඩ්‍රස් නෑ‘ චිත්‍රපටය වෙනුවෙනුයි. සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගෙ ‘නිවුස් පේපර්‘ චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණයත් සුවිශේෂීයි. මෑත කාලීනව රොෂාන් රවීන්ද්‍ර , හේමාල් රණසිංහ , අෂාන් ඩයස් ඇතුළු රංගන ශිල්පීන් රැසකගේ රිද්මය හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් සටන් අධ්‍යක්ෂණය කරන්න මට පුළුවන් වුණා. සටන් අධ්‍යක්ෂණය කියන්නෙ ඒ ඒ නිර්මාණයේ පිටපතට ගැළපෙන විදියට සූක්ෂමව කරන්න ඕන දෙයක්.


 


සටන් අධ්‍යක්ෂණයෙන් චිත්‍රපට නිෂ්පාදනයට පෙලඹුණේ ඇයි ?


මගේ දක්ෂතා හොඳින් පෙන්වන්න නම් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඕන කියල හිතුවා. 2003 ‘අන්ඩර්වර්ල්ඩ්‘ චිත්‍රපටය අර්ජුන කමලනාත් සමඟ නිෂ්පාදනය කළා. ඔය අවධිය වනවිට සටන් අධ්‍යක්ෂවරු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරු බොහෝ දෙනෙක් සමඟ මං වැඩ කරල තිබුණා. මගේම චිත්‍රපට නිෂ්පාදනයක් විදියට එළිදැක්ක ‘රන් සයුර ‘ මගෙ හීනයක් ඉටුවීමක්.




මේ දිනවල රංගන දායකත්වය ලබාදෙන ටෙලි නිර්මාණ මොනවද?


ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කළ ‘සකූගේ ලෝකය‘ ටෙලි නාට්‍යය සහ තවත් ටෙලි නාට්‍යය දෙකක රඟපානවා. තව නිර්මාණ කිහිපයකට ඉදිරියේදි දායක වෙන්න සූදානමින් ඉන්නවා. ‘නිලංජනා‘ ටෙලි නාට්‍යයෙන් පස්සෙ මගෙ හැකියාව වෙනස් විදියකට ඉස්මතු කළ ටෙලි නාට්‍යයක් ලෙස ‘රන්තිලිවැව‘ හඳුන්වන්න පුළුවන්. ‘නවරත්න‘ ගේ චරිතය මම රඟපෑවේ බොහොම කැමැත්තෙන්. මාව මේ සඳහා තෝරා ගත් අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයාට ස්තුතිවන්ත වෙන්න ඕන ඒකාකාරී බවින් මිදිල මගෙ රංගන හැකියාව පෙන්වන්න අවස්ථාවක් ලබා දුන්නාට.


 


ඒ කියන්නෙ ඔබට ආරාධනා ලැබෙන්නෙම සටන්කාමී චරිතවලට පමණයිද?


එහෙම තත්ත්වයක් තිබෙනවා. විකට චරිත කළොත් විකටයෙක්. සටන් ජවනිකා කළොත් ඒ විදිහට ලේබල් වෙනවා. මටත් මුල් කාලේ ඔය තත්ත්වය තිබුණා. මම නිෂ්පාදනය කරමින් රඟපෑ චිත්‍රපටවල විවිධ චරිත නිරූපණය එක්ක එය බොහෝ දුරට වෙනස් වුණා.


 


ඉදිරියේදි තිරගත වෙන්න නියමිත චිත්‍රපට පිළිබඳ මතක් කරමු ?


මහාචාර්ය සුනිල් ආරියරත්නගෙ ‘කදිර දිව්‍යරාජ ‘ චිත්‍රපටය මේ වෙනකොට රූගත කරල අවසන්. මේ වසරෙ අවසානයේ දි එය තිරගත වේවි. සුරංග ද අල්විස්ගෙ‘ ගේම් ‘ චිත්‍රපටයත් මේ වසරේ තිරගත වීමට නියමිතයි. එහි මම නිරූපණය කරන්නෙ ප්‍රතිවීර චරිතය. එය බයිස්කෝප් ගනයේ චිත්‍රපටයක්. පාස්කු ප්‍රහාරය හා සමීප සිදුවීමක් එක්කයි චිත්‍රපටයේ පිටපත ලියවිලා තියෙන්නෙ.


 

අනාගත බලාපොරොත්තු මොනවද?


සටන් අධ්‍යක්ෂවරයෙක් සහ සටන් නළුවෙක් ලෙස ලබා ගත් අත්දැකීම් නවකයන්ට දීමේ අරමුණින් මම ඇරැඹු සිනමා සටන් පාසලේ තුන්වන අදියරයට මේ දිනවල සූදානම් වෙනවා.


 


සිනමාවේ අනාගතය ගැන තියෙන්නෙ මොනවගේ අදහසක් ද?


සිනමාව පැත්තෙන් අලුත් පරපුරක් බිහි වීම සුබ පෙරනිමිත්තක්. ඔවුන් අත් හදා බලමින් තාක්ෂණය සමඟ වෙනස් නිර්මාණ කරනවා. සිනමා කර්මාන්තය පවතින්න නම් ප්‍රේක්ෂකයන්ට විඳින්න පුළුවන් නිර්මාණ බිහිවෙන්න ඕන. වර්තමානයේ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ හිඟයක් තියෙනවා. ඔවුන්ව රැකගන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි.