රූපවාහිනි නාළිකාවල ඉන්න ඕනා බය නැති තීරණ ගන්න පුළුවන් හිතුවක්කාරයෝ - ධර්මප්‍රිය ඩයස්

Tuesday, March 16, 2021 , 0 Comments





ධර්මප්‍රිය ඩයස් කියන විධියට ඔහු අහම්බයකින් නළුකමට විසිවුණු කෙනෙක්. අනපේක්ෂිත අහම්බයකින් රංගනයට පිවිසුණු පුද්ගලයෙක්. ඒ කොහොම වුණත් ඒ අනපේක්ෂිත ප්‍රවේශයෙන් වසර කිහිපයකට පස්සේ ඔහු මේ වන විට සිටින්නේ මෙරට චරිතාංග නළුවන්ගේ ලැයිස්තුවේ ඉහළ ස්තරයේ. ප්‍රේක්ෂක ප්‍රසාදය ඉහළින්ම ඉපැයූ රංගධරයන් අතර ඉහළම මට්ටමේ. තවත් අතකට ධර්මප්‍රිය කියන්නේ නළුකමෙන් විතරක් පොහොසත් පුද්ගල ප්‍රතිරූපයක් නෙමෙයි. ඔහු අදහස් හා මතවාදවලින්ද තමන්ට ආවේණික හැඩයක් ගොඩනඟා ගත්ත අතිවිශිෂ්ටයෙක්.  ඉතිං ඔහුගේ මේ දවස් වල අලුත් තොරතුරු ගැන පුවත්පතකට මෙලෙස කියා තිබුනා.



මේ දිනවල ඔබේ කලා වැඩකටයුතු සිද්ධ වෙන්නේ කොහොමද?


කොරෝනා අර්බුදය එක්ක මගේ වැඩකටයුතු තරමක් දුරට නැවතුණා. අනෙක් අයගේ වගේම තමයි හැබැයි එහෙමයි කියලා මම මගේ වැඩකටයුතු අතහැරලා දැම්මේ නැහැ.  වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ කඩාවැටීම උඩ නිර්මාණවලට දායක වෙන්න තිබුණ අවස්ථා ගිලිහුණත් මම අනෙක් මාධ්‍යයන් තුළ මගේ වැඩකටයුතු කරගෙන ආවා. මේ වෙලාවෙ තියෙන්නේ බලාපොරොත්තුවක්. ඉක්මනින් සියල්ල විසඳෙයි හෝ පවතින තත්වයට පූර්ණ වශයෙන් කලාකරුවන්ට අනුගත වෙන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවක්.


විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය නළුවෙක් විධියට ඔබට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම දැනෙන්නේ කොහොමද?

වේදිකා නාට්‍යකරුවන්ට නාට්‍ය ගහන්න බැරිකමක් නැහැ. ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරලා නාට්‍ය හදන්න පුළුවන්. නමුත් එහෙම කරලා ඔවුන්ට කිසිම ලාභයක් නැහැ. අතිනුත් කයිට් වෙනවා වගේ වැඩක් වෙන්නේ. පෙන්වන නාට්‍ය බලන්න මිනිස්සු එන්න ඕන. හෝල් එක පිරී ඉතිරී යන තත්ත්වයට මිනිස්සු එන්න ඕනෑ. අඩුම තරමෙ හෝල් එකේ දාන්න පුළුවන් ප්‍රමාණයෙන් භාගයක්වත් එන්නේ නැත්නම් කොහොමද මේ වැඩේ කරන්නේ. නමුත් රාජිත දිසානායක, අශෝක හඳගම වගේ අය යම් යම් නිර්මාණ කරන එක මේ වෙනකොටත් පටන් අරන් තියෙනවා. මේක අර්බුදය, අර්බුදය කියලා මුකුත්ම  වැඩක් නොකර ඉන්නවට වඩා ඒක හොඳයි.


කඩාවැටීමට ලක්වුණු වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රය යළි ප්‍රතිනිර්මාණය කරන්න ඔබ ගෙන ස්වයං යෝජනා තිබෙනවාද?

වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රය ගොඩගන්න නම් කිසියම් ප්‍රමිතියකට අනුව තියෙන රංග ශාලා හදන්න ඕනෑ. එක එක තැන්වල නැතිව නගරයෙන් නගරයට රංග ශාලා ඉදිවෙන්න ඕනෑ. දැන් තියෙන තත්වෙත් එක්ක පැල්මඩුල්ලේ ඉන්න කෙනා රත්නපුරයට යන ඕන නාට්‍යයක් බලන්න. අනෙක් වැදගත්ම කාරණාව රටේ මිනිසුන්ට වේදිකා නාට්‍යයක් බලන්න තරම් වත්කමක් නෑ. මුලින්ම ඒක හදලා ඉන්න ඕන. නාට්‍යයක් බලන තැනට රටේ මිනිසුන්ගේ ජීවන මට්ටම නිර්මාණය වෙන්න ඕන. දැන් ඉන්න මිනිස්සු වේදිකා නාට්‍ය බලන්න අකැමැති නැහැ. බලන්න කැමැති අය ඕන තරම් ඉන්නවා. නමුත් එහෙම බලන්න නම් ලෝන් එකක් ගහගෙන නැත්නම් තමගෙ එක ආහාර වේලක් මිස් කරගෙන ඒ වැඩේ කරන්න ඕන. ඔය අවුල් ටික විසඳුණොත් වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයෙන් හොඳ ආදායමක් උපයන්න පුළුවන්. මේකෙන්ම රටේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් කරන්න පුළුවන්. අදාළ බලධාරීන්ට මම කියන්නේ පුළුවන් නම් ඔය කරුණු ගැන අවධානය දෙන්න.


වර්තමානයේදී ටෙලිනාට්‍ය බොළඳ හරසුන් අවකාශයකට තල්ලු වී තිබෙනවා කියන එක බහුතරය නඟන චෝදනාවක්. "මල්" වර්ගයේ ටෙලි නිර්මාණ වැඩිපුර බිහිවීම ඔබ සාධාරණීයකරණය කරනවාද? නැත්නම් විවේචනය කරනවාද?

මම නම් කියන්නේ හරසුන් නිර්මාණ බලන පිරිසකුත් ඉන්න ඕනෑ. එතකොට තමයි  ක්ෂේත්‍රය තුළ විවිධත්වයක් ගොඩනැගෙන්නේ. ඒක තියෙන්න ඕන මහා බර පන්තියේ දේවල්වලින් වගේම අතිශය සරල දේවලිනුත් නිර්මාණකරුවා මිනිසුන්ට කතා කරන්න ඕනෑ. මම කියන්නේ ඔය මල් ටෙලි වගේ දේවල් තියෙන එක හොඳයි. දැන් බලන්න ඉස්සර තිබුණ "රතු රෝස" වගේ ටෙලිනාට්‍ය මල් ටෙලි වුණත් අපි කොච්චර ආසාවෙන් රසවින්දද? මම ආයෙත් කියනවා මල් ටෙලි ගහන එක අවුලක් නෙමෙයි හැබැයි නිර්මාණකරුවා දැනගන්න ඕනෑ මිනිසුන්ට බලන්න පුළුවන් රසයක් තියෙන මල් ටෙලි හදන්න. දැන් තියෙන මල් ටෙලිවලට 'ඊයා' කියලා කවුරුහරි බනිනව නම් ඒකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන චැනල් එක, අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකවරයා සහ ලියන මනුස්සයා. මල් ටෙලිය වුණත් රසවින්දනයක් ඇතිවෙන විධියට දෙන්න බැරිවුණාම තමයි එහෙම විවේචන ඇති වෙන්නේ. මල් ටෙලි අවුල් කියලා ඒකෙ රඟපාන රංගන ශිල්පීන්ට බැනලා නම් කොහෙත්ම වැඩක් නෑ. නමුත් අපේ මිනිස්සු කරනෙම ඒක.


 එකම කාලසීමාවක චරිත කිහිපයකට පණ පෙවීම කියන කාරණාව නිසා රංගන ශිල්පියකුගේ  ගුණාත්මකභාවයට යම් හානියක් සිද්ධ වෙනවා නේද? එකවර එක නිර්මාණයකට ඉලක්කගත නොවීමෙන් එකම නිර්මාණයක් සඳහාවත් තමන්ගේ උපරිමය ලබාදෙන්න බැරුව යනවා නේද?

මම කියන්නේ ඒක හරියට රඟපාන්න බැරි අයට තියෙන ප්‍රශ්නයක්. හොඳ රංගන හැකියාවක් තියෙන මනුස්සයකුට එකම කාලයේදී නිර්මාණ කිහිපයකට තමන් දායකත්වය සපයනවද කියන එක ගැටලුවක් නෙමෙයි. නිර්මාණ කීයකට ගියත් හොඳ චරිතාංග නළුවෙක්ට ඒ හැම නිර්මාණයකටම තමන්ගේ උපරිමය ලබාදෙන්න පුළුවන්. කවුරුහරි කියනව නම් එහෙම කළාම රඟපෑමේ කොලිටියට හානිවෙනව කියලා, ඒක එයාලගෙ බැරිකමට හදාගත්ත නිදහසට කාරණාවක්. ලංකාවේ ගොඩක් නළුවන්ට පරමාදර්ශ නෑ. මොකක් හරි රගපාලා නළුවා කියලා හිතාගත්ත අය තමයි ගොඩක් ඉන්නේ. එයාලා එකම කාලයක ගොඩක් රඟපානවා නෙමෙයි එක කාලයකට එකක් විතරක් රඟපෑවත් ඒකටවත් තමන්ගෙ පැත්තෙන් වෙන්න ඕනෑ සාධාරණය ඉෂ්ට කරන්නෙ නෑ.



වර්තමානයේ කලාකරුවෙක් විධියට තමන්ගේ පැවැත්ම රැකගන්න පෞද්ගලික දේශපාලන මතවාදය කියන එක කොයිතරම්දුරට බලපෑම් සහගත වෙනවද?

මම කියන්නේ හැම කලාකරුවකුටම දේශපාලනයක් තියෙන්න ඕනෑ. හැබැයි මොන  දේශපාලනය කළත් කලාකරුවා තේරුම් ගන්න ඕනෑ තමන්ගෙ පැවැත්ම තියෙන්නේ  තමන්ගේ quality එක උඩ මිසක් දේශපාලන මතවාදය උඩ නෙමෙයි කියලා. දේශපාලන පක්ෂයකට කඩේ ගිහිල්ලා තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්න තමයි දැන් ඉන්න බහුතරයක් කලාකාරයො උත්සාහ දරන්නේ. ඇත්තටම එයාලට කියන්නේ කලාකාරයෝ නෙමෙයි කුලීකාරයෝ. මොකක් හරි පක්ෂෙකට රෙදි නැතුව කඩේ යනවා. ඊට පස්සේ එයාලගෙ ආණ්ඩුව කියලා එකක් පත් කරගන්නවා. පත් කරගත්තට පස්සේ තමන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් ඉටු කරගන්නවා එච්චරයි එයලා දන්නේ. මම කියන්නේ කඩේ යනවනම් අඩුම තරමේ ෆීල්ඩ් එකට දෙයක් කරගන්න හරි නොපසුබට වෙන්න ඕනෑ. ඔය කුලිකරුවා කවුරුවත් මේ වෙනකන් සිනමාවට ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට වේදිකාවට මෙහෙමයි කියලා දෙයක් කරගෙන නෑ. ක්‍ෂේත්‍රයේ කිසිම අයිතිවාසිකමක් දිනාගෙන නෑ.


හොඳ ප්‍රමිතිගත නිර්මාණ වෙළෙඳ දැන්වීම් මූලික කරගෙන බොහෝ නාළිකාවලින් ප්‍රතික්ෂෙප වෙනවා නේද? මේ සම්බන්ධව වග කිවයුතු පාර්ශ්ව වෙන්නේ නාළිකා ප්‍රධානීන්ද?

කූඹියෝ, සහෝදරයා, තණමල්විල කොල්ලෙක්, මහපොළොව, නාඩගම්කාරයෝ වගේ නිර්මාණ හොඳ මට්ටමක තියෙන නිර්මාණ. තව ඒවා තියෙනවා. හැබැයි මේ වෙලාවේ මට මතක් වෙන්නේ ඔය ටික ඕවා චැනල්වල පෙන්වන්න අදාළ නිර්මාණකරුවා දැඩි සටනක් කළා. හේතුව මේ වගේ නිර්මාණයක් වැඩි පිරිසක් වැලඳගනියිද, මේ වගේ නිර්මාණ මිනිස්සු අතරට යයිද කියන ප්‍රශ්නයෙන් තමයි චැනල හැමෝම හැම  වෙලාවෙම ගැටෙන්නේ. 


කූඹියෝ ටෙලි නාට්‍යය කොයිතරමට නාළිකාවලින් ප්‍රතික්ෂේප වුණාද? මම කියන්නේ චැනල ඉහළ පුටුවල ඉඳලා නිර්මාණ තෝරන අයගේ තමයි ගැටලුව තියෙන්නේ. එයාලා බලන්නේ නිර්මාණයේ ගුණාත්මක භාවයවත් මිනිස්සු කීයක්  මේ බලයිද කියන එකවත් නෙමෙයි මිනිස්සු බැලුවත් නැතත් advertisements හබෙනව නම් එයාලා ඕන කුණු ජරාවක් පෙන්වනවා.  මම හිතනවා නාළිකාවල ඉන්න ඕන දැන්වීම් පස්සෙම දුවන, ඕන කුණු ජරාවක් භාරගන්න මිනිස්සු නෙමෙයි. හිතුවක්කාර තීරණ අරන් හොඳ නිර්මාණ බය නැතිව භාරගන්න හිතුවක්කාරයෝ.


බහුතරයක් ප්‍රවීණයන්ට නවක පරපුර සම්බන්ධව ප්‍රබල විවේචන තියෙනවා. ප්‍රවීණයෙක් ලෙස ඔබටත් කිසිදු ධනාත්මක ආකල්පයක් නවක පරපුර සම්බන්ධයෙන් නැද්ද?

අලුත් අය අවුල්, අලුත් අයට වැඩ බෑ අලුත් අය දක්ෂ නෑ. කිය කිය හැම වෙලාවෙම කියන එක අවුල් කියලයි මම කියන්නේ . මොකද මට ඕන තරම් නවකයො හම්බෙලා තියෙනවා දක්ෂ අය. සමහර අලුත් නළුවෝ දැක්කම මට හිතෙනවා. මූ නම් තව අවුරුදු 10කින් මාර තැනක ඉඳියි කියලා. අපේ පරම්පරාවෙ අයට අපිට කලින් පරම්පරාවෙ අය බැනොත් කොහොම වෙයිද? අපිට අවුල් යන්නෙ නැද්ද? අපේ පැත්තෙන් හිතලවත් නවකයන්ට බනින එක අපි නවත්තන්න ඕන. සමහරක් ප්‍රවීණයො කරන්නෙම එන එන අයට බැන බැන අලුත් අයගේ ගොඩනැඟීම වළක්වන එක දැනුවත්ව හෝ නොදැනුවත්ව කලාවේ ඊළඟ පුරුක් ටික විනාස කරන එක මට නවක පරපුර සම්බන්ධයෙන් ධනාත්මක ආකල්පයක් තිබෙනවා.


වර්තමානයේ නිර්මාණය වන ටෙලිනාට්‍යවල දිනකට කරන රූගත කිරීම් ප්‍රමාණය වැඩිකිරීමෙන් ඔබ වැනි චරිතාංග නළුවන්ට යම් අසාධාරණකමක් සිද්ධ වෙලා තියෙනවද?

ඉස්සර තිබ්බ ක්‍රමවේදය හරි පිළිවෙළයි ඉස්සර නිර්මාණකරුවො පිටපත ලියලා හරිම වැදගත් විධියට අපිට පිටපත භාරදෙනවා. පිටපත ලොකු එකක් වුණත් පොඩි එකක් වුණත් අපිව හමුවෙලා කතා බහ කරනවා. නමුත් දැන් ඕවා නෑ. දැන් ඉන්න නිර්මාණකරුවන්ට ඕන දඩ බඩ ගාලා එපිසෝඩ් ටික ගහගන්න දවසට කරන රූගත කිරීම් ප්‍රමාණය වැඩිකර ගන්න Quantity එක වැඩිවෙද්දී ඳභචතඪබර එක බහිනවා නේද කියලා ඔවුන් හිතන්නේ නැහැ. මුදල් පස්සෙම දුවලා අලෙවිය ගැන විතරක්ම හිතන නිර්මාණකරුවා නිසා තමයි මේක ගුණාත්මකභාවය කෙලෙසිලා තියෙන්නේ. අනෙක් එක මම ඔයාට යෝජනා කරන්නේ රංගන ශිල්පීන් වන අපෙන් විතරක් නෙමෙයි Costume designersලා, makeup artistලා, DOPලා කියන හැමෝමවත් ඔයාලා ප්‍රශ්න කරන්න එතකොට එයාලා කියයි මේකෙ ඇතුළේ එයාලට වෙන අසාධාරණකම් ගැනත්.


මෙරට මාධ්‍ය තුළ ඇති ගොඩනැඟී දේශපාලන ඒකාධිකාරය ස්වාධීන මතයක දරන ඔබ වගේ අයකුට දැනෙන්නේ කොහොමද?

ලංකාව වගේ රටක කොහෙද දේශපාලන ඒකාධිකාරයක්. ලංකාවෙ එහෙම තත්ත්වයක් නෑ. ඒ ප්‍රශ්නෙට මම හිනා වුණා කියලා ලියන්න.