මඩුගල්ල වල්ව්වේදී පතිකුලය රූගැන්වේ

gossiplanka image 1
 


මේ දිනවල රටටම බලපාන වියළි කාලගුණය හේතුවෙන් බොහෝ ජලාශ, වැව්, අමුණු සිඳී ගොසිනි. ඔය අතරේ සුන්දර වික්ටෝරියා ජලාශය ද අඩක් සිඳී ගොස් තිබුණි. මේ සිඳී ගිය ජලාශයේ මිනිසුන් ගමන් කිරීමත් සමග සෑදුණු අඩිපාරවල් මෙන්ම කුඩා පාරවල් ද බොහෝය. ඈතින් දිස්වන්නේ එම එක් පාරකින් ගමන්ගන්නා මඟුල් රථ පෙරහරකි. ඉදිරිපසින් එන මෝටර් රථයේ උඩරට සිරිතට හැඳපැලඳගත් සුන්දර මනාල ජෝඩුවකි. එම මනාල යුවළ ගමන්ගත් මෝටර් රථය නවතා මනාලිය දොඩමළුවක යෙදුණේ ගැබිනි කාන්තාවක සමග ය.


ඔවුන් වටා කැමරාවන් රැසකි. ඒ වගේම අධික අව් රශ්මියට ඔරොත්තු දීමට හැකි බෝඞ් ද රැගෙන පිරිසක් මෝටර් රථය වටා සිටී. ඊටත් මඳ දුරකින් සිටි පිරිස අතුරින් අයකුගේ විධානයක් ලැබුණි. හේ එක් වරම කට් යනුවෙන් පැවැසීය. අප ඒ දුටුවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඓතිහාසික සෙංකඩගල පුරවරයේ සුන්දර ග්‍රාමයක පිහිටි වසර ගණනාවක් පැරණි මෙන්ම ප්‍රෞඪ ඉතිහාසයක් ඇති මඩුගල්ල වලව්වේ සිරිල් හාමුගේ සහ අභිමානයෙන් යුතු හාමුනෝනා වන චන්ද්‍රලතා හාමුනෝනාගේ කෙළිලොල් පුත් තිවංක සහ වෘත්තියෙන් නිරූපිකාවක වූ රාධිකාගේ විවාහ මංගලෝත්සවයේ දෙවැනි ගමන ය.


විශම භාග සිනමා නිර්මාණයත් සමග සිනමාවට පිවිසි සමන්ත විජේකෝන්ගේ නවතම සිනමා නිර්මාණය “පතිකුලය” යි. එහි රූගත කිරීම් මේ දිනවල මධ්‍යම පළාතේ මහනුවර අවට සුන්දර පරිසරයක දී සිදු කෙරේ. පසුගිය දිනෙක එම දර්ශන තලයට අපට ද ගමන්කිරීමට අවස්ථාවක් උදාවිය.


මෙහි වලව්වේ සිරිල් හාමු ලෙස ප්‍රවීණ රංගධර සනත් ගුණතිලකත්, චන්ද්‍රලතා හාමුනෝනා ලෙස ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි ඒකනායකත් ඔවුන්ගේ තිවංක පුතු ලෙස උද්දික ප්‍රේමරත්නත්, සඳාගේ චරිතය නෙහාරි පෙරේරාත්, රාධිකාගේ චරිතය රාධිකා ගුණවර්ධනත් නිරූපණය කරති.


පවතින අධික රශ්මිය සහිත කාලගුණයත් සමග වික්ටෝරියා ජලාශයේ කොනක සිට මේ රූගත කිරීම් සිදුකිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ යැයි එහි ගිය අපට දිස්විය. ඊළඟ දර්ශනයට නිෂ්පාදක කණ්ඩායම සැරසෙන අතරවාරයේ ලද පුංචි විරාමයේදී අධ්‍යක්‍ෂ සමන්ත විජේකෝන් තමන්ගේ දෙවැනි සිනමා නිර්මාණය වන ‘පතිකුලය’ හි රූගත කිරීම් අත්දැකීම් ගැන පැවැසුවේ මෙවැන්නකි.


පතිකුලය සිනමා නිර්මාණයට මං මේ දර්ශන තලය යොදා ගත්තේ, මේ කතාව ඇතුළාන්තයේ තියෙන යම් යම් සිදුවීම්වල සංකීර්ණ කතාවක් ගෙතෙන අවස්ථාවක් හින්දා. චරිතවලට සාධාරණයක් සිදු කිරීමට අවශ්‍ය හින්දා මේ දර්ශන තලය යොදා ගත්තා. මෙම දර්ශන තලයේ තිබෙන, මට අවශ්‍ය සංකේත ටික මෙම සිනමා නිර්මාණයේ තිර රචනාව මගේමයි. මේ දර්ශන තලයට දවස් ගණනාවක් ඇවිත් බලලා තමයි තීරණය කළේ.

අපි දැන් මෙහි රූගත කිරීම් සිදු කළේ දෙවැනි ගමනේ රථ පෙරහැරයි. මේ දර්ශනයට උද්දික, තිවංකගේ චරිතයෙනුත් රාධිකා, රාධිකාගේ චරිතයෙනුත් නෙහාරි, සළාගේ චරිතයෙනුත් සම්බන්ධ වෙනවා. ප්‍රේක්‍ෂකයන්ට හොඳ සිනමා නිර්මාණයක් තිළිණ කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොටත් අපි වික්ටෝරියා සහ මඩුගල්ල අවට දින අටක් රූගත කිරීම් සිදු කරලා තියෙනවා. තව දවස් අටක් විතර මෙහි රූගත කිරීම් සිදු කළාට පස්සේ කොළඹ ප්‍රදේශයේත් රූගත කිරීම් සිදු කිරීමට නියමිතයි. මඩුගල්ල වලව්වට යන මඟුල් පෙරහැරේ යන දර්ශනය තමයි අපි දැන් රූගත කිරීම් සිදු කළේ. සිනමා නිර්මාණයක් ඇතුළේ ප්‍රේක්‍ෂකයාට ලබාදෙන්න ඕනෑ රූප රාමු සමග සංකේත ටිකක් තියෙනවා. මම හිතන්නේ ඒ පණිවුඩය මම දීල තියෙනවා. මෙතැනින් පසුව දෙවැනි ගමනේ සිදුවීම් පෙළ තමයි තියෙන්නේ.


පතිකුලය සිනමා නිර්මාණයේ මැද කොටස තමයි මේ රූගත කිරීම් සිදු කරන්නේ. පතිකුලය හරහා ලංකාවේ සිනමාවට වෙනස්ම පණීවුඩයක් ලබාදෙන්නයි මම සූදානම් වෙන්නේ. මේ පවතින වියළි කාලගුණයත් එක්ක රූගත කිරීම් සිදු කිරීම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. නමුත් මට මේ සඳහා රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් වගේම නිෂ්පාදක කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.


මේ මගේ දෙවැනි සිනමා නිර්මාණය. පළමු සිනමා නිර්මාණය පශ්චිම යාමය. එහි බිමල් ජයකොඩි, දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබනවා. එම නිර්මාණය ඉදිරියේදී ප්‍රේක්‍ෂකයන් වෙත භාර කෙරෙන අවස්ථාවක තමයි මේ විදිහට දෙවැනි සිනමා නිර්මාණය රූගත කිරීම් ආරම්භ කළේ. කඩාවැටුණු සිනමාවක් පසුගිය කාලයේ තිබුණා. දැන් ප්‍රේක්‍ෂකයන්ට වටිනා ඉතාම හොඳ සිනමා නිර්මාණ බිහිවෙනවා. සිනමා නිර්මාණයන් තුළින් ප්‍රේක්‍ෂකයන් ඉල්ලන දේ අපිට දෙන්න පුළුවන්නම් සිනමා කර්මාන්තය කඩාවැටෙන්නේ නැහැ.


අප්‍රේල් මාසයේ රූගත කිරීම් අවසන් කරලා හැකි ඉක්මනින් ප්‍රේක්‍ෂකයන්ට තිළිණ කරන්නයි මගේ සූදානම’ යැයි සමන්ත සඳහන් කළේය.


පතිකුලය සිනමා නිර්මාණයේ කැමරා අධ්‍යක්‍ෂ කුලරුවන් ගමගේ දර්ශන තලයේදී සඳහන් කළේ මෙවැනි අදහසකි.


සහාය අධ්‍යක්‍ෂ තරිඳු මාර්ගයෙන් තමයි මම මේ වැඩේට සම්බන්ධ වුණේ. සමන්ත අධ්‍යක්‍ෂවරයා සමග කතාබහ කරලා වැඩේ භාරගත්තට පසුව වෙනස්ම රූප තල ටිකක් මවන්න තමයි මගේ අදහස. සාම්ප්‍රදායික රූපරාමුවලට වඩා වෙනස්ම රූපරාමු ටිකක් තමයි ප්‍රේක්‍ෂකයන්ට ලබාදෙන්න උත්සාහ කරන්නේ. නිර්මාණයක් විදිහට එළියට එනකොට ප්‍රේක්ෂකයො ඒක මොන විදිහට භාර ගනීවි ද කියලා බලන්න ඕනෑ. හොඳ සහ නරක කියන ප්‍රතිචාර දෙකම ඉතාම සතුටින් භාර ගන්න තමයි බලාගෙන ඉන්නේ.


මේ වෙලාවේ පවතින දේශගුණික, කාලගුණික තත්ත්වය එක්ක උදේම මාර තද අව්වක් තියෙනවා. දහවල් දොළහෙන් පස්සේ එකවරම වෙනස්වෙලා යනවා. දර්ශන තලයේ ආලෝකය පවත්වාගෙන යෑමේදී පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. වික්ටෝරියා ජලාශය අවට මෙතෙක් රූගත කිරීම් සඳහා භාවිතා නොකරපු ප්‍රදේශ තමයි අපි දැන් මේ භාවිතා කරන්නේ. පතිකුලය කියන්නේ සාමුහික වැඩක්. දැන් මම සූදානම් වෙන්නේ මඩුගල්ල වලව්වට යන්න. වික්ටෝරියා රූගත කිරීම් අදට අවසන්. කලා අධ්‍යක්‍ෂ සමග කතාබහ කරල අපි මෙතෙක් නොදුටු විදිහේ වලව්වක් තමයි ප්‍රේක්‍ෂකයාට තිළිණ කරන්න සූදානම් වෙන්නේ.

කැමරා අධ්‍යක්‍ෂවරයා අපිට එහෙම කියන අතරතුරේ නිෂ්පාදක කණ්ඩායම සූදානම් වෙනවා මඩුගල්ල වලව්ව දෙසට පියමං කරන්න.


එම නිෂ්පාදන කණ්ඩායම සමග අප ද වික්ටෝරියා ජලාශය මායිමේ සිට මඩුගල්ල වලව්ව දෙසට පියමං කිරීමට සූදානම් වූයේ තිවංක- රාධිකාගේ දෙවැනි ගමනේ රූගත කිරීම් අත්දැකීම් සියැසින්ම දැකගැනීමට ය.


අප එහි යන විටත් වලව්වේ ප්‍රධාන ගේට්ටුව අබියස දෙවැනි ගමනට ආ රථ පිළිවෙළින් නවතා තිබිණි. මඩුගල්ල වලව්ව ඇතුළේ එකම යුද්ධයකි.


වලව්වේ පිටුපසම කාමරයේ ඇඳුම් නිර්මාණ ශිල්පි ලසන්ත උඩුකුඹුර, චන්ද්‍රලතා හාමුනෝනාව සහ සිරිල් හාමුව, දෙවැනි ගමනේ ජෝඩුව පිළිගැනීමට සූදානම් කරයි. ඔය අතරේ වේෂ නිරූපණ ශිල්පි ඉන්දික උදාර, ජයමංගල ගාථා කියන පුංචි දුවලා තුන්දෙනකු වෙස්ගන්වයි. නිෂ්පාදක කණ්ඩායම වලව්ව

ඉදිරිපස කැමරා ආම්පන්න සවි කරති. තිවංකගේ දෙවැනි ගමනට අතිරේක ශිල්පීන් ද ඔය අතරේ සූදානම් වෙයි. කුලරුවන් ගමගේ වලව්වේ ඔබමොබ ඇවිදිමින් වෙනස්ම කැමරා කෝණයන් නිරීක්‍ෂණය කරයි. ආච්චිගේ චරිතයක් නිරූපණය කරන නෙතලි නානායක්කාර ද ඔය අතරේ තිවංකගේ- රාධිකාගේ දෙවැනි ගමනේ සාදය සඳහා වලව්වේ සාලය ඉදිරිපස අසුනක වාඩිවී සිටී.


සමන්ත කියන්නේ සිනමාවට නවකයෙක්. ඔහුගේ පළමු චිත්‍රපටය පශ්චිම යාමය සඳහා මම රංගනයෙන් දායක වෙනවා. එතැනදී තමයි මම සමන්තව අඳුරගත්තේ. දෙවැනි වැඩේ එයා ලියාගෙන ඊට වඩා දැවැන්ත නළු නිළි පිරිසක් එකතු කරගෙන තමයි පතිකුලය චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළේ. මම කොහොමත් දැනගෙන සිටියා සමන්ත කරන්න හිටපු වැඩේ ගැන. මගේ චරිතය ගැනත් දැනගෙන සිටියා. ධනපති පංතියයි, නිර්ධන පන්තියයි අතර තියෙන සටනක අරගලයක් අන්තිමේ දිනන්නේ කවුද කියලයි එතැන තියෙන්නේ. මම මේ වලව්වේ කුමාරිහාමි නැතිනම් චන්ද්‍රලතා මැණිකේ චරිතය. මගේ පුතාගේ චරිතය කරන්නේ උද්දික ප්‍රේමරත්න.


වෙනස්ම දර්ශන තලයක වෙනස් විදිහේ වැඩක්. චන්ද්‍රලතා කියන්නේ හරි මාන්නක්කාර චරිතයක් යැයි ලද විරාමයකදී ඇවිත් අප සමග මෙලෙස කතාබහක නියැළුණේ දිල්හානි ඒකනායක යි.

ඔය ආකාරයට පතිකුලය රූගත කිරීම් සිදු කෙරීගෙන යන අතරතුරේ තිවංක සහ රාධිකාගේ දෙවැනි ගමනේ රාත්‍රි සම්භාෂණය අබියසදී අපිත් ඉන් එළියට බැස්සේ රාත්‍රි බෝවීමට පෙර නැවත අපේ නිවෙස් බලා පැමිණීමට ය.


පතිකුලය සඳහා රංගනයෙන් සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, නෙතලි නානායක්කාර, උද්දික ප්‍රේමරත්න, නෙහාරි පෙරේරා, උදයන්ති කුලතුංග, මිචෙල් දිල්හාරා, මිලින්ද මඩුගල්ල, මිලින්ද පෙරේරා, රාධිකා ගුණවර්ධන, පාලිත සිල්වා රංගනයෙන් එකතු වන අතරේ මහේෂ් උයන්වත්ත සහාය අධ්‍යක්‍ෂණයෙන් ද, සරච්චන්ද්‍ර ජයවීර කලා අධ්‍යක්‍ෂණයෙන් ද, සිතුම් සමරජීව සංස්කරණයෙන් ද පේෂල රවිඳු සංගීතයෙන් ද වර්ණ සංයෝජනයෙන් ගිහාන් සංජය ද සම්බන්ධ වන පතිකුලය සිනමා නිර්මාණය ග්‍රීන් ඉකෝ ප්ලාන්ටේෂන් සාඩම්බර නිෂ්පාදනයකි.


දිනේෂ් විතාන

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post