වේදිකාවෙන් පන්නරය ලැබූ අකලංක අදත් වේදිකාවට පෙම් බඳින්නේ නළුවෙක් ලෙස ඔහුව හැදූ වැඩූ තැනට ඇති ගෞරවය නිසාමයි.
‘කලූ’ නිසා නොලැබුණ දේ ‘ධනුක’ නිසා අකලංකට ලැබෙනව?
ඇත්තටම මම රඟපාන්නෙ සම්මානයක් බලාගෙන නෙමෙයි. නමුත් ඉතිං යම් කිසි විදිහකට කොතැනකදි හරි අගැයීමට ලක්වුණොත් ඒක හොඳයි. ඒක හරියට නත්තල් බෝනස් එකක් වගේ තමයි.
ධනුකගෙ කතාව අකලංකට දැණුනෙ කොහොමද?
මට මතකයි ඒ පිටපත අතට ලැබුණ මොහොත. හරිම සාමාන්‍ය පිටපතක්. නමුත් කතාවෙ වෙන්න තියෙන ලොකුම දේ පළමු එපිසෝඩ් එකේදිම වෙනව. ඒකටයි මම කැමති වුණේ.
රට යන්න ආසාවෙන් ඉන්න කොල්ලන්ගෙ සැබෑ කතාව තමයි ධනුකගෙ චරිතයෙන් නිරූපණය වුණේ?
මේ අපිට හොයාගන්න අමාරු චරිත නෙමෙයි. එදිනෙදා ජීවිතයේදි ඕන තරම් අපිට ඔනෑ තරම් මුණගැහෙනව. මගේ ජීවිතයේදිත් එක්තරා කාලෙකදි සෑහෙන ගේමක් දුන්නා ඇක්ටින් ඉගෙන ගන්න ඇමරිකාවට යන්න. නමුත් මට බැරි වුණා. මම හිතනව පොදුවේ හැමෝගෙම ජීවිතවල මේ වගේ හීනයක් ඇති.
ධනුකට උපරිම සාධාරණය කළා?
ධනුකට මගේ පැත්තෙන් සාධාරණයක් වෙනකොට අනෙක් පැත්තෙන් අධ්‍යක්‍ෂවරයාගෙන්, සහාය අධ්‍යක්‍ෂවරයාගෙන් සහ අනෙකුත් රංගන ශිල්පීන්ගෙන් ලැබුණ සහයෝගයත් එක්ක මම කියන්නෙ මේක සාමූහික ප්‍රයත්නයක ප්‍රථිපලයක් කියල. කොටින්ම කිව්වොත් මං වෙනුවෙන් හමපු හුළඟ පවා ඒකට සහයෝගයක් වුණා.
නමුත් මේ සාමූහික ප්‍රයත්නයේ ප්‍රථිපලය තට ගන්න අකලංක ආවෙ නැහැ?
ඇත්තටම සම්මාන ප්‍රදානෝතසවය දවසෙ කොළඹ, කමත නාට්‍ය උළෙලෙ, ‘අප අතර ඌ’ වේදිකා නාට්‍යයේ රාත්‍රි නවය දර්ශනය තිබුණා. ඉතිං මට සිදු වුණා ඒකට සහභාගි වෙලා සම්මාන උළෙලට එන්න.
මගදිම ආරංචිය ලැබෙන්න ඇති?
ඔව් ආරංචි වුණා. නාට්‍ය ඉවරවෙලා මම එළියට එනකොටම අපේ වේදිකා පරිපාලකවරිය කිව්වා ඔයා තමයි හොඳම නළුවා කියල. ලොකු සතුටක් දැණුනා ඒ වලාවෙ.
රට පවුලෙ පිරිසට සහ ප්‍රේක්‍ෂකයන්ට අකලංකට යමක් කියන්න ඇති?
මම ඇතුළු අපේ කණ්ඩායමේ කවුරුවත් මේ නාට්‍යය ජනප්‍රිය වෙයි කියල හිතල වැඩ කරන්න පටන්ගත්තෙ නැහැ. නමුත් මේ තරම් දුරට නිර්මාණය ඔසවා තැබුවෙ ආදරණීය ප්‍රේක්‍ෂකයො. ඒ ගෞරවය නිරායාසයෙන්ම ඔවුන්ට යනව. මේ ඔවුන් විසින්ම පලඳවපු ආභරණයක්.
ගියවර කලූගෙ චරිතය වෙනුවෙනුත් ඔබ හොඳම නළුවාට නිර්දේශ වෙනව?
ඔව්, යම් කිසි විදිහකට මගේ ඇක්ටින්වල මොකක්ම හරි දෙයක් තියෙන නිසා තමයි එහෙම වෙන්නෙ කියල මට තේරෙනව. නමුත් සම්මාන ලැබීම හෝ නිර්දේශ වීම මට අදාළ දෙයක් නෙමෙයි. ඒක තීරණය කරන්නෙ ජූරියක් මගින්.
සම්මානයෙන් පස්සෙ සමාජ මාධ්‍ය තුළ ඔබ ගැන අපූරු සටහන් ලියැවෙනව?
ඔව්, සමාජ මාධ්‍ය තුළ උඩට පහළට යද්දි මමත් ඒවා දකිනව. ඉතිං මං වෙනුවෙන් වචනයක් හරි ලියපු හැම දෙනාටම මේ වෙලාවෙ මට කියන්න තියෙන්නෙ අනේක වාරයක් ස්තූතියි, අනේක වාරයක් ආදරෙයි කියල.
අකලංක කියන්නෙ ලැබෙන පුංචි අවස්ථාවකින් වුණත් මැච් එක ගහන චරිතයක්?
මම විතරක් නෙමෙයි, අපි වේදිකාවෙ ගොඩක් කල් ඉඳන් වැඩ කරනව. තවමත් අවස්ථාවක් නොලැබුණ මගෙ යාළුවො ගොඩක් දෙනෙක් ඉන්නව. ඔවුන්ට අවස්ථාවක් ලැබුණොත් නවතින තැන හිතාගන්න අමාරුයි. මම අවුරුදු ගාණක් මහන්සි වුණේ රඟපාන්න විතරයි. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට මෙහෙම දේවල් ලැබෙන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් මම දන්නෙ රඟපාන්න විතරයි.
වේදිකාවේ වැඩකටයුතු කොහොමද?
‘කොළඹ හතේ තොරණ’ වේදිකා නාට්‍යයේ දර්ශන වාර කහිපයක් සංවිධානය වෙලා තියෙනව. මේ දවස්වල ඒ වැඩකටයුතුත් කෙරෙනව. බොහෝ දුරට මේ අවුරුද්දෙ රාජ්‍ය නාට්‍ය උළෙලට ඉදිරිපත් කරයි. ඒ වගේම අටවන බුවනෙක නාට්‍යයටත් සම්බන්ධවෙලා ඉන්නව. තව අලුත් නාට්‍යයකටත් ආරාධනා ලැබිල තියෙනව.
ඔබ වේදිකාව අතහරින්නෙ නැහැ?
වේදිකාව නිසා තමයි අපේ ඇඟේ පුහුණුව තවම තියෙන්නෙ. ඒ වගේම අපිට ඕනෑම දෙයක් අත්හදා බලන්න පුළුවන් තැන. වේදිකාව උඩදි මට පරිස්සම්
වෙන්න දෙයක් නැහැ. මට නැති වෙන්න දෙයක් නැහැ. ඇති තරම් බැණුම් අහල තියෙන්නෙත්, අසීමාන්තික ප්‍රතිචාර ලැබිල තියෙන්නෙත් වේදිකාව උඩදි. මේ වේදිකාව තමයි මාව නිර්මාණය කළේ. ඒක මට ආභරණයක්.
සිනමාව පැත්ත කොහොමද?
මම දැනට සිනමා නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙනව. ඉදිරියේදී ඒවා තිරගත වීමට නියමිතයි. මේ අතර මම කැමති විදිහේ සිනමාවකට සම්බන්ධ වෙන්න බොහොම බලාපොරොත්තුසහගතව ඉන්නව.
ටෙලි නාට්‍යය?
ටෙලි නාට්‍ය කිහිපයක්ම භාරගෙන තියෙනව. ඒ අතරින් ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්‍ෂණය කරන ‘බැද්දේගම’ නිර්මාණයේ රූගතකිරීම් මේ දවස්වල සිදුවෙනව.
රූගකිරීමේ අත්දැකීම් මොන වගේද?
මේ රූගතකිරීම් තිස්සමහාරාම ප්‍රදේශයේ බොහොම සාමකාමීව සිදු වෙනව. මෙහි විශේෂත්වය වෙන්නෙ සෞම්‍ය ලියනගේ, උමාලි තිලකරත්න, මල්කාන්ති ජයසිංහ, ආනන්ද කුමාරඋන්නැහේ, මාධනී මල්වත්ත, රෙබෙකා දිල්රුක්‍ෂි වගේ මට වැඩිය ජ්‍යෙෂ්ඨතම රංගන ශිලපීන් ශිල්පිනියන් තමයි මේ සඳහා සහභාගි වෙන්නෙ. විශේෂයෙන්ම සෞම්‍ය ලියනගේ වගේ චරිතයක් එක්ක එකට ඉඳගෙන බත් කෑවත් ඉගෙනගන්න දේවල් තියෙනව.
අද ඔබේ දෙමව්පියන්ගෙ ප්‍රතිචාරය මොන වගේද?
මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ෂතුටුයි අද මම ඉන්නතැන ගැන සහ කරන වැඩ ගැන. කතා කරද්දි පවා ඒක මට දැනෙනව. මේ ගමන පුරාවටම මගෙත් එකට එකටම හිටපු දෙන්න තමයි ඒ. ඒ දෙන්න තමයි මාව දන්නෙ.
රට යන්න ගහපු ගේම සැබෑ නොවීම ගැන අද තියෙන අදහස මොන වගේද?
ඇත්තටම සමහර තැන්වලදි ඒක සිදු නොවීම හොඳයි කියල හිතෙනව. මෙතෙක් සිදු වුණ දේවල් වගේම සිදු නොවුණ දේවල් එක්ක ගත්තාම එහෙම දෙයක් වුණානම් අද මේ දේවල් සිදු නොවෙන්න තිබුණා. සමහර විට ඒක හරිගියා නම් මීට වඩා වෙනස්ම දෙයක් වෙන්නත් තිබුණා. කොහොම වුණත් හැමදේම වෙන්නෙ හොඳටයි කියනවනෙ.
මහේෂ් එදිරිසිංහ