නායනතාරා දමිළ චරිත වලට සීමා වෙයිද?

gossiplanka image 1
  

දෙවැනි ඉනිමේ “දෙව්මි” කාටද අමනක. නමුත් ඇය අතරමගකදි එයින් ඉවත් වෙනව. ඇයි එහෙම වුණේ?. ඇය කොහේද ගියේ?. මොනවද කළේ?. මේ හැම ප්‍රශ්නයකටම උත්තර අරගෙන නයනතාරා වික්‍රමාරච්චි නැවතත් කරළියට ඇවිත්.

නයනතාරා ළඟදීම අලුත් සිනමා නිර්මාණයකින් දකින්න ලැබෙනවා?

ඔව්, කුමාර තිරිමාදුර අධ්‍යක්‍ෂණය කරන ‘බාබ්රාජ්’ සිනමා නිර්මාණයේ දිව්‍යාංජලී කියන ප්‍රධාන චරිතය (දමිළ යුවතියක්) නිරූපණය කිරීමේ අවස්ථාව මට ලැබිල තියෙනව.

ඇත්තටම මේක හොඳ අවස්ථාවක්. මොකද ප්‍රවීණ වගේම නවක නළු නිළියන් රැසක් සමග වැඩ කරන්න අවස්ථාව ලැබෙනව.

රූගත වෙන්නෙ කොහෙද?

කොළඹ සහ යාපනේ ප්‍රදේශවල තමයි රූගත කිරීම් සිදු වෙන්නෙ.


නයනතාරා මේ වනවිට සම්මාන කීයක හිමිකාරියක්ද?

මම මේ වෙනකොට සම්මාන විසි පහක් විතර ලබාගෙන තියෙනව.

රටේ නැති කාලෙත් සම්මාන ලැබුණා?

ඔව්, මම ඉන්දියාවට ගිය කාලය තුළ සම්මාන තුනක් හෝ හතරක් ලැබුණා. නමුත් මට ඒවාට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණෙ නැහැ. ඇත්තටම සම්මානයක් කියන්නෙ රංගන ශිල්පියකුට හෝ ශිල්පිණියකට හොඳ උත්තේජනයක්.

මුල්ම සම්මානය?

මට මුල්ම සම්මානය ලැබුණෙ රයිගම් ටෙලීස් වෙතින්. ඒ ජනප්‍රිය නිළිය කාණ්ඩයෙන්.


ඔබ මෙගා ප්‍රතික්‍ෂේප කරනවද?

උසස් පෙළ අවසන් වෙනවත් එක්කම මට ලොකු ආසාවක් ඇතිවෙනව ඉන්දියාවේ මුම්බායි නගරයේ තියෙන අනුපම් කේර් රංගායතනයේ ඉගෙනගන්න. නමුත් ලංකාවේ නිර්මාණ සමග ඇතිවුණ කාර්යබහුලත්වය නිසා ඒක මට මගහැරෙනව. දෙවැනි ඉනිමේ දෙව්මි චරිතය එක්තරා තැනකට ආවට පස්සෙ මම ඔවුන් සමගත් සුහදව කතාකරල මගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වෙනව. ඒ හැරෙන්න මෙගා එපාවීමකින් හරි මෙගාවලට සම්බන්ධ වෙන්නෙ නැහැ කියන අදහසකින් හරි නෙමෙයි මම ඒ තීරණය ගන්නෙ.

ලංකාවේ සිනමාව අලුත් ගමනක් යනව?

අපේ ලංකාවේ සිනමාව කියන්නෙ ස්වර්ණමය යුගයක් තිබුණ තැනක්. නැවතත් බැරි නැහැ අපිට ඒ තැනට යන්න. පසුගිය කාලෙ ඉතාමත් හොඳ නිර්මාණ බිහි වුණා. මම හිතනව එදා සිනමාව තිබුණ තැනට අද හිමින් හිමින් ළඟා වෙනව කියල.

මේ පුහුණුව කොච්චර කාලයක්ද?

මම අවුරුදු දෙකක් විතර මුම්බායිවල හිටියා.

නයනතාරා දමිළ චරිතවලටම සීමා වෙයිද?

‘බාද්රාජ්’ තුළින් එළිදකින්නෙ මම ලංකාව තුළදි දමිළ යුවතියකගෙ චරිතය නිරූපණය කරන තුන් වැනි අවස්ථාව. අපි බලමු ඉදිරියෙදි තව දමිළ චරිත කොච්චර එයිද කියල.

වැඩි කැමැත්ත පුංචි තිරයට ද? රිදී තිරයට ද?

ඉස්සර ඉඳලම රිදී තිරයට මගේ වැඩි කැමැත්තක් තියෙනව. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ටෙලි නාට්‍ය කරන්නෙ නැහැ කියල. මේ අවුරුද්දෙ දැනට චිත්‍රපට තුනක් භාරගෙන තියෙනව වගේම තවත් දෙකකට ආරාධනා ලැබිල තියෙනව.

ජනප්‍රියත්වය රැකගැනීම අභියෝගයක් වුණාද?

මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි, අපිට අයිති දෙයක් නම් ඒක අපිට කොහොමත් ලැබෙනව කියන දේ. මගේ ජීවිතේ ප්ලෑන් එකක් තියෙනව මේ කාලෙට මේ දේවල් කරනව කියල. නමුත් මෙහෙම වෙන්නම ඕන කියල ලොකුවට ඇටෑච් වෙන්නෙ නැහැ. ප්ලෑන් එකෙන් පිට දෙයක් වුණොත් ඒක එහෙම වුණ එක හොඳයිනෙ කියල හිතෙන වෙලාවල් තියෙනව.

මේ ක්‍ෂේත්‍රයෙන් ඔබට ලැබුණ දේ මොන වගේද?

ඇත්තටම මම විශ්වාස කරනව මම ගොඩක් වාසනාවන්තයි කියල. මොකද මේ ක්‍ෂේත්‍රයෙන් මට හැමදේම ලැබුණා. යමක් නොලැබුණා කියල දුක් වෙන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම, මට ඉතාමත් හොඳ නිර්මාණ වගේම ඉතාමත් හොඳ පිරිසක් ලැබුණා.

ජීවිතේ බැලන්ස් කරගන්නෙ කොහොමද?

ජීවිතේ කියන්නෙම බැලන්සින් කියන එක. මුලින්ම අපි අපේ වෘත්තිය හඳුනාගන්න ඕන. ඒක තුළ හැසිරන්න ඕන කොහොමද කියන දේ තේරුම් ගන්න ඕන. විශේෂයෙන්ම ගැහැනු ළමයෙක් නම් කොහොමද තමන්ව ආත්මවිශ්වාසයෙන් ජීවිතේ ඉදිරියට අරගෙන යන්න ඕන කියන දේ හඳුනාගත්තාම ඔළුව කෙලින් තියාගෙන තමන් කැමති විදිහට තමන්ගෙ ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්.

නයනතාරාගේ ජීවිතයට ආදරය, විවාහය කියන දේ තව දුරයිද?

මං හිතන්නෙ ජීවිතේ ඒ ඒ කාලපරිච්ඡේදයන් තුළ සිදුවෙන්න ඕන දේවල් සිද්ධවෙයි කියල. නමුත් මම තවම හදිසි නැහැ. මම කැමතියි මගේ කාලය රංගන ක්‍ෂේත්‍රය වෙනුවෙන් යොදවන්න. ඉදිරියේදි හොඳ දේවල්, හොඳ කාලෙට, හොඳ විදිහට සිද්ධවෙයි.

විවාහයත් එක්ක බොහෝ ශිල්පිණියන්ගේ රංගන ගමන අවසන් වෙනව. නයනතාරාගේ අදහස මොන වගේද?

ඔව්, ඒක ඒ අයගෙ පෞද්ගලික තීරණ. ඒකට මම ගරු කරනව. මේක මගේ ජීවිතයට අදාළ කරගත්තොත්, නයනතාරා වික්‍රමාරච්චි කියන කෙනාව මම විදිහටම පිළිගන්න කෙනෙක් හැරුණු කොට මාව වෙනස් කරන්න හදන කෙනෙකුට මගේ ජීවිතය තුළ ඉඩක් තියෙයි කියල මම විශ්වාස කරන්නෙ නැහැ. ඒ නිසා මම විවාහයකින් පස්සෙ මේ ක්‍ෂේත්‍රය අතහරින්න්නෙ නැහැ. පුංචි කාලෙ ඉඳන් තිබුණ රංගන ශිල්පිණියක් වෙනව කියන හීනය විතරයි. මැරෙන තුරුත් ඒක එහෙමම වෙයි. ඒක වළක්වන්න කිසිම කෙනෙකුට මම ඉඩ දෙන්නෙ නැහැ වගේම මගේ වෘත්තියයි මම අතරට කෙනෙක් එනවට මම කැමති නැහැ.

මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post