මේ දිනවල විකාශනය වන ‘පිරිමි ළමයි’ ටෙලි නාට්‍යයේ අශේන් දුනුවිලගේ චරිතයට පණ පොවන ඔහු, නමින් තාරක ගුණසේකර ය. මෙවර කතාබහ ඔහු සමඟිනි.
ඔබ රංගනයෙන් දායක වන ‘පිරිමි ළමයි’ ටෙලි නාට්‍යය ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඉතා හොඳ ටෙලි නාට්‍යයක්. ඒ වගේම ජනප්‍රියම ටෙලි නාට්‍යයක්. අපි නොදකින නමුත් ලංකාව ඇතුළේ ගොඩක් ජීවිත කතාවල ඇත්ත පැතිකඩ පෙන්වන නාට්‍යයක්. කොතරම් නිලතල, බලතල තිබුණත් ඇතැම් ජීවිත කොයි තරම් හැලහැප්පීම් මැද්දෙද යන්නේ කියලා පෙන්වන නාට්‍යයක්.
මේ නිර්මාණයට එකතු වෙන්න ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?
සද්ධා මංගල සූරියබණ්ඩාර සර් සහ චේතනී විජයතුංග ටීචර් තමයි මට මේ චරිතයට ආරාධනා කළේ. මගේ ආදරණීය ගුරුවරුන් දෙදෙනා ආදරෙන් මතක් කරනවා.
ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය ඔබට දැනෙන්නේ කොහොමද?
අශේන් දුනුවිල කියන චරිතය මට ගොඩක් කිට්ටු චරිතයක්. ඉතා ඉක්මනින් තරහ යන, නමුත් ඉතා ඉක්මනින්ම නිවෙන බොහොම ආදරණීය චරිතයක්.
කොහොමද ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?
හරිම ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයෝ ඒ ඒ අයගේ කියවීම අනුව තමා මේ චරිතය අරන් තියෙන්නේ. සමහර ප්‍රේක්ෂකයෝ අහනවා චූටි මැණිකේව බඳින්නේ කවද්ද කියලා. සමහර ප්‍රේක්ෂකයෝ ළඟට ඇවිත් ෆොටෝ ගහනවා. සමහර අය සමාජ මාධ්‍ය හරහා මැසේජ් කරලා මුණ ගැහුනම, “ඔයා වගේ ආදරණීය චරිතයක් මටත් හිටියා නම්” කියලා කියපු වාර අනන්තයි. ඉතින් ඒ ලැබෙන හැම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්ම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා.
අධ්‍යක්ෂවරයා ඇතුළු සෙසු රංගන ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?
ජයප්‍රකාශ් සිවගුරුනාදන් සර් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මේ චරිතය ලස්සනට ගලාගෙන යන විදිහ කියා දෙමින් සර් මගේ අඩුපාඩු හැම දේම හැදුවා. ඒ වගේම මේ චරිතය ගොඩ නඟන්න තුසිත අනුරාධ අයියා විශාල සහයෝගයක් ලබා දුන්නා. මධුෂාන් හත්ලාවත්ත, රොහාන් විජේතුංග, පුබුදු ගමගේ අයියලා සහ සෙසු රංගන ශිල්පීන් සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා. ගුරුහරුකම්, උපදෙස් වගේම හැමෝගෙන්ම ලැබෙන සහයෝගයත් එක්ක මේ චරිතයේ ඉතා සියුම් තැන් පවා ආදරයෙන් ස්පර්ශ කරන්න මට පුළුවන් වුණා. ඒ වගේම විශේෂයෙන්ම ගෙදරින් ලැබෙන සහයෝගය මට මහ මෙරක්. අම්මා, අක්කා, තාත්තා, පෙම්වතිය සහ මල්ලීගෙන් ලැබෙන සහයෝගය නිසයි මම නිදහසේ කලා කටයුතුවල නියැළෙන්නෙ.
ඔබ රඟපෑමට කැමැත්තෙන් ඉන්න චරිත තියෙනවාද?
මම කැමතියි සීමාවකට කොටු වෙන්නෙ නැතුව රංගනයේ නියැළෙන්න. ලැබෙන හැම චරිතයක්ම ආදරෙන් භාර ගන්නවා. දුෂ්කර ගමක ඉතා අමාරු ජීවිතයක් ගෙවන ගැමි චරිතයක් කරන්නත් විශේෂ කැමැත්තක් තියෙනවා.
ඉදිරි කලා නිර්මාණ ගැනත් මතක් කරමු…
මේ වෙද්දි ටෙලි නාට්‍ය තුනක වැඩ නිමවෙලා තියෙනවා. ඒවා ඉක්මනින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් වේවී. ඒ වගේම රිදී තිරයෙනුත් වේදිකාවෙනුත් ඉක්මනින්ම ප්‍රේක්ෂකයන් හමුවට ඒමට නියමිතයි.
ඔබේ ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ?
ඔයාලගෙන් ලැබෙන ආදරය ගැන කියන්න මට වචන නැහැ. සමාජ මාධ්‍ය මඟින් කමෙන්ට් කරන අයට වගේම මඟතොටේදී දැක්කම ළෙන්ගතුව කතාබහ කරන, ප්‍රතිචාර දක්වන හැමෝටම මමත් හදවතින්ම ආදරෙයි.