ඇය මේ වන විට වේදිකාවට නැතුවම බැරි රංගන ශිල්පිනියක් බවට පත්වී ඇත. සුද්දෙක් ඔබ අමතයි වේදිකා නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂකයන්ට අමතක නොවන රංගන අත්දැකීමක් තිළිණ කළ ඇය නමින් මාදනී මල්වත්තගේය. වේදිකාවට පමණක් සීමා නොවුණු ඇගේ රංගන හැකියාව මේ වන විට ටෙලි තිරයේ මෙන්ම රිදී තිරයේ ද පුළුල්ව විහිදී ගොස් ඇත. මේ ඇය අප හා කළ කතාබහයි.
මේ වෙද්දි ඔබ රංගනයේ බොහෝ ඉසව් ආවරණය කර අවසන්. මේ දිනවල නිර්මාණ කටයුතු කොහොමද?
මගේ ක්ෂේත්‍රයට පිවිසීම සිදුවෙන්නේ වේදිකාවෙන්. පුංචි තිරයට සිනමාවට කෙතරම් දායක වුණත් වේදිකාව අමතක කරන්න බැහැ. මීට අවුරුදු 15කට කලින් වේදිකාගත වුණු ‘ සුද්දෙක් ඔබ අමතයි‘ වේදිකා නාට්‍යයත් එක්ක රට වටේ ,ලෝකෙ වටේ යන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම අජිත් ලොකුගේ නිර්මාණය කළ ‘බ්‍රිස්මෙන් මනමාලයා‘ වේදිකා නට්‍යය මේ වෙද්දි වේදිකාගත වෙමින් තියෙනවා. ‘පවුල් කන මිනිහෙක් ‘ වේදිකා නාට්‍යයටත් එකතු වෙනවා. දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘මධුර ජවනිකා‘ත් නව නිෂ්පාදනයක් විදිහට නිර්මාණය වෙනවා. මේ දවස්වල වේදිකා නට්‍යවලට දායකවන ගමන් ටෙලි නාට්‍ය පැත්තේ වැඩත් කරගෙන යනවා.
ක්ෂේත්‍රයට එන යන බොහෝ කලා තරු අතර ඔබ ස්ථාවරත්වය තහවුරු කරගත් කලාකාරිනියක් කිව්වොත් හරි. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ක්ෂේත්‍රයේ ඉන්න ඇතැම් අය වගේම නවකයන් වුණත් හිතාගෙන ඉන්නේ රංගනය කියන එක කිසිම හැදෑරීමකින් තොරව කරන්න පුළුවන් විෂයක් කියලා. මගේ මතය අනුව නම් රංගනය කියන්නේ විද්‍යාත්මකව හැදෑරිය යුතු කලාවක්. ලෝකයේ නම් කර ඇති අමාරුම රැකියා දහය අතරට මේ රංගනයත් එකතු වෙනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ රංගනය කියන්නේ කෙතරම් අමාරු දෙයක්ද කියලා. අපි රංගනයේ යෙදෙද්දී ශරීරය වගේම මනසත් සැහැල්ලු කරගත යුතුයි. එහෙම නැතුව රංගනයේ නියැළෙන්න අමාරුයි. ඒ වගේම මේ විෂය අධ්‍යනයකින් තොරව සිදු කළහොත් පැවැත්මක් නැති වෙනවා. ප්‍රේක්ෂකයාට පේන තරම් රංගනය පහසු කාරණාවක් නෙවෙයි. ඕනෙම ක්ෂේත්‍රයක් ගත්තොත් හැදෑරීමක් එක්ක යනවානම් සාර්ථක වෙන්න පුළුවන්. අවුරුදු විසිපහකට එහා රංගන ඉතිහාසයක් තියෙන කෙනෙක් විදිහට මම හැමවිටම අත්දැකීම්වලින් අලුත් වෙන කෙනෙක්. ඒ නිසා මං හිතන්නේ හදාරමින්, අධ්‍යනයකින් යුතුව ඉදිරියට යනවානම් මේ තුළ පැවැත්මක් තියෙනවා.
ඔබේ කලාවට පිවිසීම ගැන කතා කළොත්?
උසස් පෙළ අවසන් වීමත් එක්කමයි මම රංගනය වෙනුවෙන් කොළඹ එන්නේ. මුලින්ම මහරගම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව පාඨමාලාව හැදෑරුවා. එතනින් තමයි මම ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වෙන්නේ සහ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ.
කලා ජිවීතය සාර්ථකව පවත්වාගෙන යන්න පවුලෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?
මේ ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරීව ඉන්න සහ ඉදිරියට ඒ දේවල් හදාරන්න මගේ පවුලෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ සහයෝගය නිසා තමයි මම අද මේ තරම් සාර්ථකව ඉන්නෙ. පවුලේ සහයෝගය වගේම මා තුළ තියෙන කැපවීම, උනන්දුව, උත්සාහය, මෙම විෂය හැදෑරීමට මා තුළ තිබූ රුචිය මේ තාක් දුරකට මාව සාර්ථක කරගන්න ගොඩක් බලපෑවා.
ඉදිරියේදී රඟපෑමට විශේෂ කැමැත්තක් තියෙන චරිතයක් හෝ කලා නිර්මාණයක් තියෙනවාද?
ඇත්තටම මම කැමති මාධනී නොවී රඟපාන්න ලැබෙනවානම් . මොකද වේදිකාවෙන්, ටෙලි තිරයෙන් හෝ පුළුල් තිරයෙන් අපි අපිවම පෙන්නගෙන හරියන්නෙ නෑ. මා තුළ මා පුහුණු කරගත්ත පරාසයන් ගොඩක් තියෙනවා. ඒ නිසා ඕනෑම චරිතයකට අනුගත වීමට හැකි පරාසයන් මට තියෙනවා. වේදිකාව පැත්තෙන් මට කරන්න පුළුවන් පරාසයේ චරිත ගණනාවක් ලැබිල තියෙනවා වගේම ඒවා සම්මානයට පාත්‍ර වෙලත් තියෙනවා. නමුත් ටෙලි තිරයේ මට විවිධ චරිත හමු වුණත් අගැයීමට ලක්වුණේ ඉතාම අඩුවෙන්. ඒත් එක්කම චිත්‍රපට ක්ෂේත්‍රයේ මට ලැබෙන චරිත පිළිබඳ නම් මම එතරම් තෘප්තිමත් නැහැ. මට ලැබුණු චරිත ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් අඩු පරාසයක තිබුණේ.
රංගනයට පිවිසෙන නවක පරපුරට ඔබට දිය හැකි උපදෙස?
රංගන ක්ෂේත්‍රයට පිවිසීම ඉතාම දුෂ්කර කාර්යයක්. නමුත් දක්ෂයාට මේ ක්ෂේත්‍රය තුළ සෑම විටම ඉඩකඩ විවර වෙනවා. තමන්ගේ දක්ෂතා හරියාකාරව භාවිත කරනවානම් මේ ක්ෂේත්‍රය තුළ ඔහුට හෝ ඇයට පිළිගැනීමක් ඇතිවෙනවා. ඊට අමතරව විනයකින් යුතුව තමන්ගේ පැවැත්ම තමන්ම ගොඩනඟා ගත යුතුයි. වෙලාවට වැඩ කිරීම, ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කිරීම, ඒවා අධ්‍යනය කිරීමට උනන්දුව, කැපවීම යනාදිය ගොඩනඟා ගතයුතුය. එවැනි කැපවීම්, උත්සාහයන් කළ නොහැකිනම් මේ ක්ෂේත්‍රයේ රැඳීසිටීම ඉතාම අසීරුයි. අනන්‍යයන් සමඟ කටයුතු කිරීමේදී එකමුතුකම, සහයෝගය, ඉවසීම ඉතාම වැදගත්. අලුත් පරම්පරාව මේ දේවල් එක්කම ක්ෂේත්‍රයේ රැඳෙනවානම් ඇත්තටම සතුටුයි.
රංගන ජිවීතය හැරුණුකොට ඔබ පෞද්ගලිකව අලුත් අරමුණු හෝ විශේෂව සිදුකරනු ලබන ක්‍රියාකාරකම් මොනවද?
මම ඉගෙන ගත්ත දේවල්, ඉගෙන ගන්න දේවල් තවත් කෙනෙකුට ලබාදෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. අපි පාසල්වල, වෙනත් ස්ථානවල වැඩවලට සම්බන්ධ වෙන්න ගියහම බොහෝ දෙනෙක් අහනවා ” ඇයි මාධනි ඔයා ඉගෙන ගත්ත දේවල් අනාගත පරම්පරාවට දෙන්නේ නැත්තේ” කියලා. ඒ ඉල්ලීමට ඇහුම්කම් දීමක් විදිහට තමයි ඇකඩමි ඔෆ් තියටර් පටන් ගත්තේ. ඒ තුළින් නවකයන්ට ප්‍රායෝගිකව විෂය හැදෑරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට මේ ඇකඩමිය විවෘතයි. නවකයන් මෙන්ම ආධුනිකයනුත් එකතු කරගෙන මේ වැඩමුළුව කරගෙන යනවා.