මෝඩ තරිඳුගේ අම්මා ජහුටාහි මංගලිකා වී පුංචි තිරය ඔස්සේ ද අප හමුවට එන්නීය. ‘අදර ගෙදර’ සමඟ වේදිකාවේ ද පෙළහර පාන ඇය නිල්මිණී කෝට්ටේගොඩයි. නිල්මිණී සිය නිර්මාණ දිවිය ගැන කතා කරන්නට අප හා එක්වූවාය .
මේ දවස්වල නිර්මාණ කිහිපයකම ඔබව දකිනවා?
‘ජහුටා’ ටෙලි නාට්‍යයේ මංගලිකා ප්‍රේක්ෂකයාන් අතර ඉතා ජනප්‍රියයි. ‘දෙවෙනි ඉනිමේ’ සමදරාත් මමයි. ‘අදර ගෙදර’ වේදිකා නාට්‍යයත් පෙබරවාරි 14 ඉඳන් වේදිකාගත වුණා. එහි මම දුලීකාගේ අම්මා . ‘ නරිබෑනා, අන්දරේලා’ වැනි වේදිකා නාට්‍ය සමඟත් රට වටේ යනවා. ‘මෝඩ තරිඳු’ චිත්‍රපටයත් තිරගත වුණා. එහි දෙමළ පිටපතත් දැන් නිකුත්වෙලා තිබෙනවා .
‘අදර ගෙදර’ ගැනත් කියමු ?
අදර ගෙදර අධ්‍යක්ෂණය කරන්නේ සුජීව ප්‍රියාල්. එහි මම දුලිකාගේ මව එහෙම නැත්නම් සුජීව ප්‍රියාල්ගේ නැන්දම්මා. ඒ දෙන්නම තමයි මට මේ චරිතයට ආරාධනා කළේ. එහි මම අවුරුදු කුමාරියක් වුණු, ගාම්භීරව ජීවත්වෙන්න කැමැති චරිතයක්. සැබෑ දිවියේත් මම අවුරුදු කුමාරියක් වෙලා තියෙනවා. මේක ලස්සන වේදිකා නාට්‍යයක්. ඉදිරියේදී විදෙස් රටවල පවා වේදිකාගත කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් මගේ චරිතයටත්, මේ නාට්‍යයටත් ඉහළම ප්‍රතිචාර ලැබෙනවා. ‘අදර ගෙදර’ ගැන සුබවාදී බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.
‘ජහුටා’හි මංගලිකා ගැන මොකද හිතෙන්නේ?
ඒක සංකීර්ණ චරිතයක්. මංගලිකා ප්‍රේක්ෂකයා අතර කතාබහට ලක්වෙනවා. දමයන්ත පෙරේරා අයියා තමයි මගේ සැමියාට ඉන්නේ. මංගලිකා කියන්නේ නිවුන් දැරියන් දෙදෙනකුගේ මවක්. ඒකෙ මාත් මගේ සැමියාත් ළමයි කිහිප දෙනෙක් එකතු කරගෙන ජහුටා කණ්ඩායමක් හදාගෙන තිබෙනවා. මංගලිකා කියන්නේ මම ඉතා ආසාවෙන් රඟපෑ චරිතයක් .
මෝඩ තරිඳුගේ අම්මා කියන්නෙත් කතාබහට ලක්වුණු චරිතයක්?
ඔව්, තිසර ඉඹුලානගේ මේ වැඩේට මාව තෝරා ගැනීම ගැන සතුටුයි. මෝඩ තරිඳුගේ (සූර්යා) අම්මා. මම මෙතෙක් රඟපෑ චරිතවලින් හොඳම චරිතයක් වගේම අමතක නොවන අත්දැකීම් රැසක්ම එකතු වුණු චරිතයක්. මෙහි පුතාගේ මියයෑම මට හොඳටම දැනුණා. ඒ නිසා ග්ලිසරීන් නැතුවම මම ඇඬුවා. මම ගොඩක් සංවේදී වුණා. මෙහි රූගතකිරීම් අවසන් වෙද්දී සූර්යා මගේම දරුවෙක් තරමට පුදුමාකාර බැඳීමක් ඇතිවුණා. ප්‍රේක්ෂකයාත් ඒ චරිතය හදවතින්ම වැලඳ ගත්තා.
ඔබ හාස්‍යජනක රංගන ශිල්පිනියක් විදිහට කොටුවෙලාද කියලත් හිතෙනවා?
මෙහෙමයි. මට ලැබෙන චරිතය මම උපරිමයෙන්ම කරනවා. හාස්‍යජනක චරිත හැමෝටම කරන්නත් බැහැ. මට හිතෙනවා මට ඒක පුළුවන් කියලා. ඒ වගේම මම සංකීර්ණ චරිතත් හොඳට කළා. ඒත් ඒවා එතරම් ජනතාව අතරට ගියේ නැහැ කියලත් හිතෙනවා . ‘ස්ටාර් ශ්‍රී ලංකා’ ටෙලි නාට්‍යයේ මම කළේ සංකීර්ණම චරිතයක් වුණත් ඒක මිනිස්සු අතරට ගියේම නැතිතරම්.
ප්‍රේක්ෂකයන් අතර වැඩිපුරම කතාබහට ලක්වුණු චරිතය මොකක්ද?
එක චරිතයක් කියලා නැහැ. මං එළියට බැහැලා යද්දී ඒ කාලවල විකාශය වන, තිරගත වන නිර්මාණවල චරිතයේ නමින් මිනිසුන් අතර කතාබහ ඇති වෙනවා. මම රඟපාන හැම චරිතයකටම සාධාරණය ඉටු කරනවා. ‘මායා’ චිත්‍රපටයේ අම්මාට තවමත් ප්‍රේක්ෂකයා ආදරෙයි.
චිත්‍රපට රැසකටම දායක වුණා නේද?
උදයකාන්ත වර්ණසූරියගේ ‘බහුභූතයෝ’ චිත්‍රපටයේ සිට ඔහුගේ ‘ගින්දරී 1, 2, 3’ චිත්‍රපට සියල්ලේම රඟපෑවා.. ‘මායා, මෝඩ තරිඳු, රන්ජා, කොස්තාපල් පුඤ්ඤසෝම’ වැනි චිත්‍රපටවලටත් දායක වුණා .
රංගනයට පිවිසුණු අයුරු සිහිකළොත් ?
පාසල් කාලයේ ඉඳන්ම තරගවලට ජන ගායනා, විරිඳු ගායනා ඉදිරිපත් කළා. ඒත් එක්කම මගේ සබකෝල ගතියත් අඩුවුණා. වේදිකා නාට්‍යවල ගීත ගායනා කළා. 09 වසරේදී අයිරාංගණී කළුතන්ත්‍රී මිස් මාව ‘දුටුගැමුණු’ වේදිකා නාට්‍යයේ අත්වැල් ගායනයට සම්බන්ධ කරගත්තා. එතනින් ආරම්භ වුණු කලා ගමන තමයි අදටත් මේ පරිස්සමෙන් යන්නේ. උත්පත්තියෙන්ම ආව යම් හැකියාවක් එක්ක රංගනය, නර්තනය, ගායනය ආදී විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ වෙනුවෙන් සොබාදහමට, විශ්වයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.
රඟපෑ චරිත අතර කැමැතිම චරිතයක් තියෙනවද?
හැම චරිතයකටම කැමැතියි. අපි මේ ප්‍රතිනිර්මාණය කරන්නේ සමාජයේම සිටින විවිධාකාර වූ චරිත. ඒවත් එක්ක අපි නිතරම ජීවත් වෙනවා. ප්‍රහසනයට මට යම් දක්ෂතාවක් තිබෙනවා කියා සිතනවා.
ඔබ අද නවක පරපුර සමඟත් රඟපානවා. ඔවුන් ගැන මොකද සිතන්නේ?
ඇත්තටම ඔවුන් හරිම වාසනාවන්ත දරුවෝ. අපට ඒ කාලෙ නොතිබුණු බොහෝ දේවල් ඒ දරුවන්ට අද තිබෙනවා. පහසුකම් නැති වුණත් මම අපේ ඒ කාලෙට හරිම කැමැතියි. නවීන තාක්ෂණය පරිහරණයෙන් වුණත් අද පරම්පරාව ඉහළින්ම ඉන්නවා. ඒවා අයුතු ලෙස පාවිච්චි කළොත් අනිසි ප්‍රතිඵල ලැබෙන බවත් ඔවුන් සිතන්න ඕනේ. හොඳ දැනුවත් තරුණ පිරිසකුත් ඉන්නවා. ඔවුන් හැමෝම මගේම දරුවො වගේ තමයි.
ඉදිරි නිර්මාණ ගැන කීවොත්?
මහේෂ් විදානපතිරණගේ අධ්‍යක්ෂණය කළ ‘හනිමූන් ටුමෝරෝ’ චිත්‍රපටයත්, ‘ෂැඩෝ’ කියන Horrer ෆිල්ම් එකත්, සුනිල් ප්‍රේමරත්නගේ ‘නිච්චි’ නම් චිත්‍රපටයක් එන්න තියෙනවා. ඊට අමතරව ‘කුණා’ නමින් පුබුදු චතුරංගගේ චිත්‍රපටයකුත් කළා . ඒකෙ මම පුබුදුගේ මව ලෙස ප්‍රධාන චරිතය කළේ. එය මේ වසරේ තිරගත වේවි. ‘සීතල ගිනි’ නමින් ටෙලිනාට්‍යයකුත් එන්න තියෙනවා.
පවුලේ විස්තර කීවොත්?
සැමියයි දරු දෙන්නයි එක්ක සතුටින් ජීවිතය ගෙවනවා. දුව බිනෝලි ජයමාලි. පුතා මලිඳු ජයමාල්.