මම පෙම්වතියක්ද නැද්ද කියලා අනාගතයේදී කියන්නම් - පූජනී භාග්‍ය

Tuesday, March 16, 2021 , 0 Comments




අවුරුදු කුමරියක වශයෙන් කිරුළු පැලඳූ ඇය වර්තමානයේදී ජනප්‍රිය නවක රංගන  ශිල්පිනියක වශයෙන් ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වී සිටිනවා. නැනලා, හදවිල අරණ, අසංවර වැස්සක්, අහස් මාලිගා, බස් එකේ ඉස්කෝලේ වැනි ටෙලි නිර්මාණ හරහා මේ දිනවල ප්‍රේක්ෂකයන් අතරට එන ඇය නවක රංගන ශිල්පිනි පූජනී භාග්‍යයි. ඉතිං ඇය ඇගේ කලා ජිවිතේ තොරතුරු ගැන සහ පෞද්ගලික ජිවිතේ තොරතුරු ගැනත් පුවත්පතකට මෙලෙස කියා තිබුනා.


කොහොමද ඉතින්?

හොඳින් ඉන්නවා.


පූජනී මේ දවස්වල කාර්යබහුල කෙනෙක්ලු නේද?

ඔව්. මේ දවස්වල අලුත් ටෙලි නාට්‍ය 5ක් විකාශය වෙනවා. ඒ වැඩ කටයුතු කරගෙන ඉන්නවා.


එම ටෙලි නාට්‍ය මොනවාද කියලත් මතක් කරමු නේද?

ජාතික රූපවාහිනි නාළිකාවේ නෑනලා, ස්වාධීන රූපවාහිනි නාළිකාවේ අසංවර වැස්සක් ටෙලි නාට්‍යය, ස්වාධීන රූපවාහිනි නාළිකාවේම හදවිල අරණ ටෙලි නාට්‍යය, හිරු නාළිකාවේ අහස් මාලිගා ටෙලි නාට්‍යය සහ ශ්වර්ණවාහිනි නාළිකාවේ බස් එකේ ඉස්කෝල්ලේ කියන ටෙලි නාට්‍ය තමයි මේ දවස්වල වැඩ කරගෙන යන්නේ.


පූජනී අවුරුදු කුමාරියක් වුණාට පසුවද මුලින්ම රංගනයට ආවේ?

ඇත්තටම නැහැ. මම මුලින්ම කලාවට සම්බන්ධ වුණේ 2010 අවුරුද්දේ දරුවනේ චිත්‍රපටය හරහා ළමා නිළියක් වශයෙන්. ඒ ගැන ගොඩක් අය දන්නේ නැහැ. ඊට අමතරව ස්වාධීන රූපවාහිනි නාළිකාවේ කොත්කළ දෝණි, අහිමි, 2011 වසරේදී සිරස TV එකේ විකාශය වූ සිරිවාසල ටෙලි නාට්‍ය වැනි නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා.


හිරු අවුරුදු කුමරිය ලෙසින් කිරුළ පැලඳීමත් සමඟ ඔබගේ කලා ජීවිතයට නව මාවත් විවර වුණා නේන්ද?

ඔව්. 2018 අවුරුද්දේදී තමයි මම හිරු අවුරුදු කුමරිය වශයෙන් කිරුළ හිමිකරගත්තේ. ඉන් අනතුරුව මගේ ගමන වෙනම ආකාරයකට පටන් ගත්තා කිව්වොත් හරි.


කලාවට අඩිතාලම වැටුණු ආකාරය මතක් කරමු?

මුලින්ම දරුවන් චිත්‍රපටයට සම්බන්ධ වුණේ මට අවුරුදු 11දී. දරුවන් චිත්‍රපටයට සම්බන්ධ වීමට මට අවස්ථාව ලැබුණේ අපේ අම්මාගේ යාළුවෙක් වන ජනිතා නැන්දාගේ දැනහැඳුනුම්කමක් මතයි. ඇය තමයි වී. සිවදාසන් මහත්මයාට මාව හඳුන්වා දුන්නේ. දරුවන් චිත්‍රපටයේ පොඩි චරිතයකට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. එහෙම තමයි මගේ රංගන ජීවිතය ආරම්භ වන්නේ.


නෑනලා ටෙලි නාට්‍ය තුළ නාලන් මෙන්ඩිස් මහතා සමඟ වැඩ කටයුතු කිරීමට ලැබීම ගැන කතා කළොත්?

නාලන් මෙන්ඩිස් සර් සමඟ මම වැඩ කරන පළමුවැනි අවස්ථාව තමයි නෑනලා ටෙලි නාට්‍ය. 2019 වසරේදී තමයි එහි රූගත කිරීම් ආරම්භ කළේ. දැන් තමයි ටෙලි නාට්‍ය විකාශය වන්නේ. ඇත්තටම නාලන් මෙන්ඩිස් සර් කියන්නේ ගුරුවරයෙක්. ගොඩාක් දේවල් අපට කියලා දෙනවා. ඉතින් ගොඩාක් අත්දැකීම් ලබා ගන්නත්, අලුත් දේවල් ඉගෙන ගන්නත් මට අවස්ථාව ලැබෙනවා.


නැනලා ටෙලි නාට්‍යයේ “නෙත්මිට” හොඳ ප්‍රතිචාර ලැබෙනවාලු නේද?

ඔව්. නෑනලා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය තමයි නෙත්මි කියන්නේ. ඉතින් නෙත්මිට  ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


ඇත්තටම නෙත්මි කියන්නේ ළාබාල තරුණියක් මෙන්ම පෙම්වතියක් වෙන්ද?

ඔව්. ඇය පොහොසත් තරුණියක්. නමුත් ඇය තරුණියක් කියන මානසිකත්වයට වඩා තරමක් පහළ ළමා මානසිකත්වයකින් කටයුතු කරන කෙනෙක්. ගෙදර තනි දරුවා වශයෙන් හැමෝගෙන්ම ආදරය මැද හැදුණු කෙනෙක් නිසා එයා එහෙම හැසිරෙනවා වන්නත් පුළුවන්. නමුත් ඉතින් තමා තුළ තිබෙන එම ගති පැවතුම් නිවැරදි කරගෙන ඉදිරියේදී හොඳ ගමනක් යනවා. ඉදිරියේදී ඒ පිළිබඳව ප්‍රේක්‍ෂකයන්ට දැක බලා ගන්න පුළුවන් වෙයි.


හදවිල අරණ ටෙලි නාට්‍ය තුළත් ගැමි තරුණියකගේ චරිතයක් නිරූපණය කරනවා නේද?

නාට්‍ය 2017දී තමයි ආරම්භ කරන්නේ. ලක්ෂ්මන් පුෂ්පකුමාර සර් සමඟත් වැඩ කරන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි.



 අසංවර වැස්ස ටෙලි නාට්‍යය තුළත් හංසි කියන්නේ ඉතාම දුක්මහන්සියෙන් කටයුතු  කරන දිරිය තරුණියක් නේද?

ඇත්තටම ඔව්. තිස්ස විජේකෝන් මහතා අධ්‍යක්‍ෂණය කරන මෙම ටෙලි නාට්‍යයේ හංසි  කියන්නෙත් පියා නොමැති මව සමඟ තනිවූ චිත්‍ර ඇඳලා විකුණලා ජීවත් වන දිරිය ගැමි  තරුණියක්.


පූජනී දිගටම වෘත්තීයමය රංගන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරනවාද?

ඇත්තටම මම මුලින්ම රංගනයට සම්බන්ධ වුණේ විනෝදාංශයක් වශයෙන්. නමුත් දැන් මටත් නොදැනීම රංගනය මගේ වෘත්තිය බවට පත්වෙලා.


පුංචි තිරයේ ප්‍රේමවන්තිය වුණාට සැබෑ ජීවිතයේදීත් පූජනී ප්‍රේමවන්තියක්ද?

ඒ ගැන අපි අනාගතයේදී කතා කරමු.


නවක රංගන ශිල්පිනියක් වශයෙන් ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?

ඇත්තටම ක්‍ෂේත්‍රය තුළ ප්‍රවීණ කලාකරුවන්ගෙන් ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා.  නොදන්නා බොහෝ දේල් ඔවුන් අපට කියලා දෙනවා. ඒ සහයෝගය අපිට ගොඩක් වටිනවා.


චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?

චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණා. නමුත් එම නිර්මාණ මට නොගැළපෙන නිසා ප්‍රතිකේෂ්ප කරන්න සිදුවුණා.


පවුලේ විස්තර සහ පාසල් ගැනත් මතක් කරමු?

අම්මා, තාත්තා සහ මගේ නිවුන් නැඟණියන් දෙදෙනායි මමයි විතරයි ඉන්නේ. මගේ ගම වත්තල. මගේ පාසල කැලණිය ගුරුකුල විදුහල.


අවසන් වශයෙන් මොනවාද කියන්න තිබෙන්නේ?

මගේ ජීවිතයේ පළමුවැනි වතාවට මෙවර සුමති ටෙලි සම්මාන උළෙලේද්දී ජනප්‍රියතම නිළියන් 25 දෙනා අතරට මේ වනවිට මමත් නිර්දේශ වෙලා සිටිනවා. මගේ ප්‍රේක්‍ෂකයන් සියලු දෙනාටම ඒ සම්බන්ධයෙන් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව මෙතෙක් පැමිණි ගමන්මඟ තුළදී මට උදවු උපකාර කළ සියලු දෙනාටමත් ගොඩක් ස්තතියි.