මට මාව නැතිවෙනවා නම් කසාදයක් මොකටද - තනූජා ජයවර්ධන

Wednesday, March 17, 2021 , 0 Comments




තාලයෙන් භාෂණය අපූරු ලෙස මෙහෙයවමින්, අපේ සිංදුවෙන් අපේ සිත් සුවපත් කරමින්, දශක දෙකකට අධික කාලයක් පුරා සුවහසක් ප්‍රේක්ෂක හදවත් තුළ ආදරණීය තැනක් හිමිකරගත් ජනප්‍රිය නිවේදිකාවක වන තනූජා ජයවර්ධන ඇගේ  ජීවිතය ගැන, මනුෂ්‍යත්වය, ආදරය හා යථාර්ථය ගැන බොහෝ දේවල් පුවත්පතකට මෙලෙසින් විස්තර කියා තිබුනා.


ඔය විදිහට ඉන්න කෙනාට වඩා, විවාහයක් කරගෙන හොඳ කෙනෙක් වෙන්න ආස නැද්ද?

ඉන්න කෙනාට වඩා හොඳ කෙනෙක් වෙන්නෙ නැහැ විවාහ වුණා කියලා. හොඳ අය විවාහ වුණොත් හොඳ විවාහත්, නරක අය විවාහ වුණොත් අසතුටු විවාහත් කියලයි මම හිතන්නෙ. ඉන්න කෙනා තමයි විවාහ වුණාට පස්සෙත් ඉන්නෙ. ඒ ඇරෙන්න ඊට වඩා හොඳ වෙනවා හෝ ඊට වඩා නරක් වෙනවා කියලා මම හිතන්නෙ නැහැ.


විවාහය කියන මාතෘකාව ඇතුළෙ කෙනෙකුට හොඳ හෝ නරක වෙන්න පුළුවන් වෙන්නෙ සම්බන්ධතාවයකදී අනිත් කෙනාට අනිත් කෙනා විදිහටම ජීවත්වීමට ඉඩදීමේ ප්‍රතිශතය මතයි. ඒ කෑල්ල නැති නිසා තමයි ගොඩාක් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ. ඒ කෙනාට ඒ විදිහට ඉන්න ඉඩ දුන්නොත්, ගොඩාක් ආදරේ දුන්නොත්, නිදහස දුන්නොත්, ඒ කෙනාගෙ වගකීම් ටිකත් කැපවෙලා ඉෂ්ට කරයි. සාමාන්‍ය මනුස්සයෙක් විදිහට තමන්ගෙ වගකීම් තමනුත් පවුලක් විදිහට රුකවරණය සහ ආරක්ෂාව සලසා දෙමින් ජීවත්වෙන දෙයක් තමයි ඒක. මම දැන් ඒක තනියෙන් කරගන්නවා.


විවාහය කියන සංකල්පය ගැන ඔබේ මතය මොකක්ද?

ඒක උත්තරීතර සංකල්පයක්. විවාහය කියන සංකල්පය තුළින් ඇතිවෙන ආදරේ ප්‍රතිඵලයක් හැටියට හුඟාක් හොඳ මිනිස්සු, නුවණක්කාර මිනිස්සු, නිර්මාණශීලී මිනිස්සු ලෝකෙට බිහිවෙලා තියෙනවා.  සමාජ සංස්ථාව කියන පද්ධතිය ගත්තම විවාහය ඒකෙ එක කොටසක්. මේ කොටස ඉතාමත්ම වගකීමෙන් සැරිසරන්න වටිනා සමාජ සංස්ථාවක්. ඒක ඇතුළේ සැරසරනකොට සමාජයේ වැදගත් තැනක් එන විදිහට, පරමාදර්ශයක් එන විදිහට ජීවත් වෙන තැනකට යන්න ඕනෙ.


එහෙම පුළුවන් වෙන්නෙ අනිත් එක්කෙනාගෙ අදහස්වලට ගරු කළාම. ඒ ගරු කිරීම මම මගේ අම්මගෙයි තාත්තාගෙනුයි දකිනවා. සමහර වෙලාවල්වලදී එකඟ නොවන තැන් තියෙන්න පුළුවන්. ඒ තැන්වලදී මරාගෙන මැරෙන්න ඕනෙ නැහැ. මොකද අපි අවුරුදු 100ක් ජීවත් වෙන්නෙ නැහැනෙ. සමහර තැන්වල එකඟ නොවුණත් එකඟ වෙන්න වෙනවා. මමත්වය ඉස්මතු කරගන්න ගියාම තමයි විවාහය කියන සංස්ථාව බිඳෙන්නෙ. කෝටි ගාණක් වියදම් කරලා විවාහයක් අරගෙන දෙන්නෙක් සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා සුමානෙකින්. ඒක එහෙම වෙන්නෙ මට ඕන කෙනාව නිර්මාණය කරගන්න යනකොට. නමුත් දෙන්නෙක් දෙන්නෙක් විදිහට ලස්සනට ගලපගත්තොත් විවාහ සංස්ථාව කියන්නෙ ලෝකෙ තියෙන සුන්දරම දේ. ඒ දෙන්නට ලොකු වගකීමක් තියෙනවා වෙඩිං ෆොටෝ එක රාමු කරලා සාලෙ මැද්දෙ තියෙනවට වඩා සමාජ පද්ධතිය ඇතුළෙ සමාජ සංස්ථාව නියෝජනය කරන ගරුත්වය රුකගෙන පරමාදර්ශී විදිහට ජීවත් වෙන්න.


ඔබට ඔය වගේ පින්තූරයක් රාමුකරගන්න හිතුනෙම නැද්ද?

රාමුවෙන් පිට හිතන මට වෙඩිං ෆොටෝ එකකට රාමුවෙන්න බැරිවුණා. ඇත්තට විශිෂ්ට විවාහයක් කියන්නෙ පරිපූර්ණ යුවළක් එකට එකතු වීම නෙවෙයි. අසම්පූර්ණ යුවළක් ඔවුන්ගේ වෙනස්කම් භුක්ති විඳීමට ඉගෙන ගන්න එකට. කසාදෙදි විය යුත්තෙ බරපතළ සිරදඬුවම විඳීම නෙවෙයි. නිදහස් කිරීමක්.


සොක්‍රටිස් කිව්වනෙ විවාහයේදී නරක කෙනෙක් ලැබුණොත් ඔබ දාර්ශනිකයෙක් වෙනවා කියලා. මම දාර්ශනිකයෙකු වෙන්න කැමැති නැහැ. ඕනෑම කෙනෙකුට හරි සහකරුවෙක් හෝ සහකාරියක් නොලැබුණොත් නොමැරී මැරෙන්නෙ විවාහය තුළදී.


ඔබ විවාහයක් ගැන නොහිතන්නෙ අත ඇරීම ප්‍රගුණ කරමින් සිටින නිසාද, බැඳීම්වලට තියෙන බය නිසාද?

අත ඇරීමට වඩා බැඳීම් නිසා විඳලා තියෙන දුක වැඩි හින්දා. මම මගේ රස්සාවක් එක්ක ගොඩාක් ඇලී බැඳී හිටිය කෙනෙක්නෙ. මම මගේ රස්සාව ඇතුළෙ තමයි වැඩිපුරම සන්තෝසෙන් ඉන්නෙ. එතකොට ඒ සතුට ආදරය කරන අය උදුරලා ගන්නවා. එහෙම නොකරපු කට්ටිය මගේ පවුලෙ අය විතරයි. ඒ ගොල්ලො දන්නවා මගෙ රස්සාව ඇතුළෙ මම කොච්චර තෘප්තිමත්ද කියලා. මේ වෘත්තිය හරහා යම් සමාජ කාර්යභාරයක් කරන්න තමයි මම මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ. 


මම ඒ කාර්යභාරය කරනවා. ඒක ඇතුළෙ භෞතික දෙයක් නැහැනෙ. නමුත් ඒ කරන ක්‍රියාවවත් අගය කරන්නෙ නැතුව, ඒකත් පහත් කොට සලකමින්, මාවත් මම නොවන තැනකට ගේන එක ඇතුළෙ ඇත්තටම ඇතිවෙලා තියෙනවා ලොකු බයක්. ඒ බය ඇතිවෙන්න ඇතිවෙන්න බැඳීම්වලට යන්න බයයි. මොකද මාව නැතිවෙලා බැඳීම්වලට යන්න මට උවමනාවක් නැති නිසා. ඒ හින්දා අත ඇරීම කියන කාරණාව ඇතුළෙ ඒක දැන් වෙමින් පවතිනවා. හුඟාක්ම තරුණ කාලෙ මම ඒක කළේ දැනගෙන නෙවෙයි. මම නොවී මාව සමාජයේ කොයි හරි තැනක හිර වෙනවට මම කැමති නැහැ.


වෙනස් විදිහට දේවල් දකින්න, හිතන්න, වෙනස් විදිහට ජීවිතේ දකින්න, ඔබේ ජීවිතය තුළ ඔබට බලය පතුරුවන්න හිතුණෙ කොයි කාලෙද?

2005දී විතර. ඒ වෙනකොට මම හිතාගන්නවා මගේ දේවල් තනියම කරගෙන, ආර්ථික ස්ථාවරත්වයක් හදාගන්නවා කියලා. ආර්ථික ස්ථාවරයක් නැත්තං අපි මොන දේ කළත් වැඩක් නැහැ. මොන දේ කළත් ඒ දේ ක්‍රමානුකූලව කරන්න අපි ස්මාර්ට් වෙන්න ඕනෙ. වයසට යනකොට හොඳ අඩිතාලමක් දාගන්න මම ස්වාධීනත්වය හා අධ්‍යාපන කටයුතු ප්‍රගුණ කරගත්තා. 2011 වෙද්දී ගොඩාක් දේවල් මම හරි ස්ථාවරත්වයකට ඇවිල්ලා ඉවර කරගත්තා. ඊට පස්සේ කළේ අත්දැකීම් එක්ක ඒවා පවත්වාගෙන යන එක තමයි. උසස්වීම් හා වගකීම් වැඩිවෙනවත් එක්ක වෘත්තියට තියෙන බැඳීමත් ගොඩාක් වැඩිවුණා. එතනදි මම තීරණයකට ආවා මාව වැඩිපුරම සතුටු කරන දේ මේක නම් මම ඇයි ඒකත් එක්ක ජීවත් නොවී වෙන දේවල් හොයාගෙන යන්නෙ කියලා. විවාහයක් හොයනවට වඩා ජීවිතේ හොයන එක, මාව හොයාගන්න එක මට වැදගත් වුණා 2005 කාලය තුළ.


මම මේ මම ජීවත්වෙන ජීවිතයට ආදරය කරනවා. ආදරය කරන ජීවිතය ගත කරනවා. ජීවිතය වචන තුනකින් කිව්වොත් එය දිගටම පවතී. ඒ තුළ මම තෝරාගත් දිශාවට මම ගමන් කරන්න තීරණය කරලා තියෙනවා. ආදරය මගේ ජීවිතේ හැමදාමත් තියෙනවා.


මිනිස්සු ගැන, ජීවිතය ගැන ඔබට හොඳ ඉවක් තියෙන බව අපි දන්නවා. විවාහයකට අදිමදි කරන්න හේතුවත් ඒ බුද්ධිමය හිතුවක්කාරකමද කියලා මම ඇහුවොත්?


මම එහෙම හිතුවක්කාර ළමයෙක් නෙවෙයි. ඒ ගොල්ලො දන්නවා මම වැරදි තීරණයකට යන්නෙ නැහැ කිලා. ඒත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට ඒ දෙන්නගෙ හිතේ කොනක බයක් ඇති මම කවදාහරි තනිවෙයි කියලා. ඒත් මම කියන්නෙ අද වැඩිහිටි නිවාසවල ළමයි ඉන්න අම්මලා තාත්තලා කී දෙනෙක් ඉන්නවාද? බැඳපු නැති අය ඒ වගේ තැන්වල ඉන්නවා හරි අඩුයි.


මම ආදරය කරන පිරිස වැඩි නිසා ප්‍රේමය වගේ කාරණාවකදී අනෙකාට දැනෙන ඊර්ෂ්‍යාව වැඩියි. ඒත් ජනප්‍රිය කෙනෙක් එක්ක ජීවත් වෙනකොට ඒක පාලනය කළ යුතු දෙයක්. ජනප්‍රියත්වය මගේ වරදක් නෙවෙයි. කෙනෙක්ට ලේසි නෑ මගේ වගේ කෙනෙකුට ආදරේ කරන්න. මාව තේරුම්ගන්න කිය කියා හඬා වැටෙන්න බැහැ. ආදරේ කියන්නෙ ආදරේ විතරක් නෙවෙයි. නිදහස.



ඔබේ ජීවිතේ ඇතැම් සිදුවීම් ගැන ඔබ ඔබෙන් සමාව ඉල්ලලා තියෙනවද?


මම කවදාවත් එහෙම කරන්නෙ නැහැ. මම හැමදේම ගැඹුරින් හිතන කෙනෙක්. ප්‍රශ්නයක් වුණාම ඒක උපරිමයකට විසඳන්න පුළුවන් තැනට මම කල්පනා කරනවා. මම Guilty Feeling එකක් නැතුව, වරදකාරී හැඟීමක් නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. රූට නින්දට යනකොට කිසිම Guilty Feeling එකක් නැතුව සුවපත් නින්දකට යන්න පුළුවන් මට.


ඔබේ ජීවිතය නමැති පොතෙන් ඔබ ඉරලා විසිකරපු පිටු තියෙනවද? ඒ පිටු ආයෙමත් කියවන්න හිතිලා නැද්ද?

මම කෙනෙක් අයින් කළොත් අයින් කළාම තමයි. බැඳීම්වලට අදාළ ජීවිතෙය් ගලවපු පිටු ගැන මම ආයෙ හොයලා බලන්නෙ නැහැ. ඒවා ඉරලා විසිකළාද, හුළඟට ගහගෙන ගියාද, තෙමිලා පෙඟිලා ගියාද කියලා. මම සාමාන්‍යයෙන් මිනිස්සු අත අරින්නෙ නැහැ. මගේ ජීවිතේ හැම යාළුවෙක්ම, පුද්ගල සම්බන්ධතාවයක්ම අවුරුදු 5කට එහා ගිය ඒවා. ඒ නිසා මාව කවුරුත් අත අරින්නෙත් නැහැ. මම ලේසියෙන් කෙනෙක් අත අරින්නෙත් නැහැ.  එහෙම පිටු දෙකක් විතර ගැලවිලා තියෙනවා. ඒ වුණාට මම බලන්නවත් යන්නෙ නැහැ.