මට රඟපාන්න එපා කියලා මගේ පෙම්වතා බලපෑම් කරලා නැහැ - රංගී රාජපක්‍ෂ

Wednesday, March 17, 2021 , 0 Comments




මේ දවස්වල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකම ආදරය විඳිමින්, තවත් පැත්තකින් ආදරය නිසා පීඩා විඳිමින් චරිත නිරූපණය කරන ආදරවන්තියක් තමයි රංගී රාජපක්‍ෂ. ආදරයෙන් අතරමං වී ඒ ආදරයට පණ දෙන ඇය ඇගේ ජවිතේ අලුත් තොරතුරු ගැන පුවත්පතකට මෙලෙස කියා තිබුනා.


 රංගි මේ දවස්වල ආදරය ඉස්මතුවෙන විවිධ චරිත නිරූපණය කරන බව අපි දකිනවා?

‘මැටිකඩුළු’ ටෙලිනාට්‍යයේ ‘රේඛා,’ ‘බස් එකේ ස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ‘වසුන්දරා,’ ‘දාම්’වල ‘සමාධි ටීචර්’ ඉතින් ඒ චරිත තුනේම තුන්කොන් ආදරයක් කියැවෙනවා. එකිනෙකට වෙනස් විදියට තමයි ආදරය බෙදාගන්නේ. ආදරය බෙදා ගන්න ගමන් තවත් පැත්තකින් පීඩා විඳිනවා ආදරයක් නිසා.


ඔබ නිරූපණය කරන රේඛා චරිතය තුළින් අප විනිවිධභාවයක් දකිනවා?

අනෙකුත් නිර්මාණවලට නිරූපණය කරපු චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් මම ‘රේඛා’ තුළින් නිරූපණය කරන්නේ. රේඛා චරිතය තවත් ඉදිරියේදී මෙයට වඩා වෙනස් වෙයි. ඒ වෙනසත් එක්ක ප්‍රතිචාර වැඩිකමට ගොඩදෙනෙක් මට බනිනවා. හැබැයි එහෙම මට බනින්නේ චරිතය හොඳට කරන නිසාම කියලා මම හිතනවා.


 ඔබගේ සාමාන්‍ය ජීවිතයෙත් ආදරය නිසා මෙවැනි පීඩාවන් විඳින්න සිදුවුණාද?

අනිවාර්යයෙන් ආදරය කරන කොට ඔය ප්‍රශ්න මටත් වුණා. ඉතින් ඒ සියලුම අත්දැකීම් මම චරිත බවට පත්කරගනිමින් ඒ තුළ ජීවත් වෙනවා. මම ආදරයෙන් සතුටු වුණා වගේම පීඩා විඳපු අවස්ථාත් තිබුණා.


 රංගිට හොඳට නටන්න පුළුවන් කියන්නේ ඇත්තද?

මම නර්තනය කියන දේ හදාරලා තියෙනවා. නමුත් මම බැලේ කරලා නැහැ. ඉතින් ‘මැටිකඩුළු’ ටෙලිනාට්‍යයට අවශ්‍ය නිසා බැලේ නර්තනය පුහුණුවීම් කළා. හැබැයි ගොඩ දෙනෙක් හිතාගෙන ඉඳලා තියෙන්නේ මට හොඳට නටන්න පුළුවන් කියලා. ඒ මගේ සිරුරේ හැඩයත් එක්ක නිසා වෙන්න ඇති.


ඔබත් ළඟදි විවාහ වෙන බව ආරංචියි?

තවම විවාහයට දින, කාලයක් යොදාගෙන නැහැ. ඒ වැඩකටයුතු සැලසුම් කරගෙන යනවා. බාරගත්තු නිර්මාණ වැඩකටයුතු ඉවර කරලාම විවාහය ගැන හිතනවා.


 විවාහයෙන් පස්සේ රඟපාන්නෙ නැහැ කියපු ගොඩදෙනෙක් පසුකාලීනව රඟපානවා. ඔබේ තීරණය කොයි වගේද?

මම එහෙම නිශ්චිතවම කියන්නේ නැහැ රඟපෑමෙන් ඈත් වෙනවා කියලා. හොඳ චරිතයක් ලැබුණොත් අනිවාර්යෙන් මම රඟපානවා. මට රඟපාන්න එපා කියලා මගේ පෙම්වතා එහෙම බලපෑම් කරලා නැහැ. ඔහුත් කැමැතියි මම මේ ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන යනවාට.


ඉදිරි වැඩකටයුතු කොයි වගේද?

ඉදිරියේදී මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය කිහිපයක් තිබෙනවා විකාශය වීමට. තවම අලුතෙන් කියලා විශේෂ මොනවත් නැහැ.


වසන්ත විතාරණගේ