දෙවැනි ඉනිමෙ පිටපතක්වත් හරියට නැහැ - ශානි වීරරත්න

Monday, March 29, 2021 , 0 Comments





කලාවේ දිගු ගමනක් යෑමට සිහින දකින ශානි වීරරත්න ඔබට මුලින්ම හමුවූයේ ‘මුතුලෙන් දොර’ ටෙලි නාට්‍යයේ මෙහෙන්දි චරිතය හරහා. එහෙත් හිටි හැටියේම ඇය ‘මුතු ලෙන්දොර’ තුළින් ඉවත් වෙලා. ඇත්තටම ඇය එහෙම තීරණයක් ගත්තේ ඇයි කියා පුවත්පතකට මෙලෙස විස්තර කියා තිබුනා.


ශානි ඉතින් කොහොමද?

හොඳින් ඉන්නවා නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙමින්.


ශානි ඇයි එකපාරටම ‘මුතුලෙන් දොර’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වූයේ?

මම ‘මුතුලෙන්දොර’ ටෙලිනාට්‍යයෙන් තමයි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ. ඒ අවස්ථාවත් මට හිමිවුණේ දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ අවසන් දොළොස්දෙනා අතරට මාවත් තේරුණ නිසා. ‘මුතුලෙන් දොර’ ටෙලිනාට්‍යයේ මෙහෙන්දිගේ ඒ චරිතය දිගට යනවා වගේම ඒකාකාරී බවක් දැනුණු නිසා මම ඉවත් වුණා. 


එහෙම එකපාරට නිර්මාණයකින් ඉවත් වීම නිසා ඔබට බලපෑමක් ආවේ නැතිද?

එහෙම කිසිම බලපෑමක් නැහැ. මම සුහදව කතාබහ කරලා තමයි ඒ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණේ.


මේ දවස්වල ඔබ අපට සමීප වන්නේ ‘නෑනලා’ ටෙලි නාට්‍ය හරහා…?

මම නිරූපණය කරන ඒ තරින්දි චරිතයට මම ගොඩාක්ම කැමැතියි. හරිම ආශාවෙන් තමයි එයට සම්බන්ධ වෙන්නේ. අනික ප්‍රවීණ රංග මඩුල්ලක් යටතේ මම එකට වැඩ කරන්න ලැබුණා. යශෝදා විමලධර්ම, දමයන්ති ෆොන්සේකා, ජනක කුඹුකගේ, පවිත්‍රා වික්‍රමසිංහ, ඒ විතරක් නෙමේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස්. ඔහුගේ නිර්මාණවලට මම ලොකු කැමැත්තකින් හිටියේ.


 මෙහෙම හෙමින් ගමනක් යනකොට දැනෙන වෙනස කොයි වගේද?

මට එහෙම කිසිම උවමනාවක් නැහැ තරගකාරී ලෝකයට එකතු වෙන්න. මොකද හෙමින් යනකොට අපිට එකතු කරන්න ලැබෙන දැනුම බොහොමයි. එහෙම දැනුමක් ලබමින් තමයි මම මේ ගමන යන්න ඕනෙ. එතකොට පැවැත්මක් වගේම යන ගමනේ වටිනාකමකුත් තිබෙනවා.


 ‘දෙවෙනි ඉනිම’ වැනි ජනප්‍රියතම ටෙලිනාට්‍යයකට ආරාධනාවක් ප්‍රතිකේෂ්ප කරන එක මෝඩකමක් කියලා ඔබට හිතුණෙ නැද්ද?

අයියො මට එහෙම හිතුණේ නැහැ. මොකද ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ රඟපාපු සමහර ශිල්පීන් දැන් දැකගන්නටත් නැහැ. ඉතින් මම කැමැති නැහැ එහෙම එක දිගට වැඩ කරන්න. මට ලැබෙන චරිතය තුළ යම් පිම්මක් නැතිනම් වැඩ කරලා වැඩක් නැහැ කියලා මම හිතුවා. අනික පිටපතක් වුණත් හරියට නැහැනේ කරන්න තියෙන්නේ මේකයි කියලා. මම කැමැති කරන වැඩේ වුණත් පිළිවෙළකට පෙර සූදානමක් ඇතිව කරන්න. ජනප්‍රිය වීම නොවෙයි මට උවමනා කරන්නේ. හොඳම කියන පැටිකිරියට යන්න තමයි මගේ අරමුණ. මට මෙගා වුණත් කමක් නැහැ හැබැයි චරිතය තුළ දැනෙන දෙයක් තිබිය යුතුයි නිරූපණය කිරීමට.


ඉදිරියේදී ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමට යන බව ආරංචියි?

ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙනවා කියන එක පහසු දෙයක් කියලා මම හිතන්නෙ නැහැ. එය ලොකු වගකීමක්. මම ඒ අභියෝගය භාර ගැනීමට සූදානම්. ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට මාව තෝරාගෙන තියෙන්නේ. ඉදිරියෙදි මට ඒ අවස්ථාව උදාවෙයි.


 සිනමාවටත් අතගහන්න අවස්ථාවක් ලැබුණා නේද?

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමට මාව තෝරාගත්තා. මගේ පෙම්වතාට රඟපාන්නේ පුබුදු චතුරංග. ඒ චිත්‍රපටයේ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් සමඟ වැඩ කිරීමට මට අවස්ථාව ලැබෙනවා. තවම රූගත කිරීම් පටන් ගත්තෙ නැහැ.


වසන්ත විතාරණගේ