කාගෙන්වත් යැපෙනවට වඩා තියෙන දෙයක් කරන් ඉන්න එක නම්බුයි - නිල්මිණි කෝට්ටේගොඩ

Tuesday, March 30, 2021 , 0 Comments



යම් ටෙලි කතාවක කටකාර නපුරු චරිතයක් වේ නම් ඒ සඳහා බොහෝ විට තෝරාගනු ලැබූ රංගවේදිනියන් අතර නිල්මිණි කෝට්ටේගොඩද සිටියාය. ඇතැමෙකු එතැනදී දකින්නට උත්සාහ කරන්නේ කිසියම් ලේබලයකට අනුව චරිත ස්වභාවයන් කොටුකරලීමේ කලාව වුවද නිල්මිණි හරි කදිමට නපුරු චරිත තුළ ජීවත් වීමේ දක්ෂතාවයද එයට හේතුවූවා නිසැකය. නිල්මිණි කෝට්ටේගොඩ ඒ ගැන කියන්නේ මොනවද? ඉතිං ඇය ඒ ගැන විස්තර පුවත්පතකට මෙලෙස කියා තිබුනා.


 කොහොමද නිල්මිණි සුවදුක්. රූගත කිරීම් එහෙම ළඟපාතක නැතිද?

සුවෙන් සතුටින් කාලය ගෙවනවා මගේ පවුලේ අය සමග. ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා නම් ළඟකදි සිදුවන දින නියමයක් නැහැ. ක්‍රිෂාන්ත වීරමන්ගේ වේදිකා නාට්‍යයක් වූ ‘සාප්පුත් එක්ක බෑ’ අප්‍රේල් 3 වැනිදා පළමු දර්ශනයට මේ දවස්වල සූදානම් වෙනවා. ඒ අතරම විකාශනය වන ටෙලි කිහිපයකම ඉදිරි රූගත කිරීම් සඳහා ආරාධනා ලැබෙනතුරු බලන් ඉන්නවා. රූගත කිරීම් දැනට අවසන්ව තිබෙන ‘සඳට හැතැප්මයි’, ‘විසි එක’ සහ ‘දඟයා’ යන මම රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය තුනක් විකාශනය වීමට නියමිතව තිබෙනවා.


 රංගවේදිනියක් ලෙස කාර්යබහුල වීම සතුටක් නේද නිල්මිණි?

ඔව් ඉතින් ඒක එහෙමයි. ඒ වාගෙම ටෙලි කතන්දරයක නපුරු කටකාර චරිතයක් තියෙනවා නම් මට එයට ආරාධනා ලැබෙනවා කොහොමත්.


 ඔබ එය කිව්වේ නොසතුටින් වාගේද?

නොසතුටක් නැහැ. කොහොමටත් ඉතින් හොඳ චරිත රඟපාන අය විතරක් කලාව තුළ හිටියොත් නපුරු චරිත රඟපාන්න කවුරුත්ම නැති වෙනවානේ. ඒ නිසා ඉතින් ලැබෙන චරිතය භාරගන්නවා. ඒ වාගේම එයට සාධාරණයද ඉෂ්ට කරනවා.


 සමහර විට ඔබව දිගටම එතැනට කොටුවුණේ ඒ සාර්ථකත්වය නිසා වෙන්නට බැරිද නිල්මිණි?

එහෙමත් වෙන්න ඇති. ඒ අතර මගේ පෙනුමෙහි ස්වභාවයද එයට බලපෑවා විය හැකියි. කොහොමත් මාව දකින කෙනකුට මම සැරයි කටකාරයි කියලා පේන බව වැටහිලා තියෙන්නේ. අහිංසක තීන්ත බාස් පස්සේ පන්නන දැන්වීමකට තෝරා ගත්තෙත් ඒක නිසානේ.


 කට්ටියට අල්ලලා ගියේ තීන්ත බාස් පස්සෙන් ගිය ඒ පැන්නිල්ල වෙන්නැති නේද?

එයට කලිනුත් නපුරු චරිත කළා. තීන්ත බාස්ට ගහන්න පන්නපු දැන්වීමෙන් පස්සේ ඒ ‘නපුරු චරිත හංවඩුවට’ තව තව තැන ලැබුණා.


 ඔබ චරිත තෝරන්නෙ බේරන්නේ නැතිලු?

තෝරලා බේරලා රඟපාන්න තරම් ඉහවහා ගිය සම්පත් අපේ කලාකරුවනට තියෙනවද කියලා ඔබ ටිකක් හිතලා බලන්න. අනික අපේ රැකියාව කොයි තරම් අස්ථිරයිද? චරිත මට්ටම කොයික වුණත් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට හැදුණේ නැත්නම් කලාකාරයන් වැඩ නැහැ.


කොරෝනා උවදුර තුළදී පවා කලාව කියන විෂය ධාරාව කොයි තරම් අසරණ වුණාද?

කලාකරුවනුත් ඒ තරමටම වැඩ නැතුව ගෙවල්වලට කොටුවුණා.


ඔබ අදහස් කරන්නේ ශ්‍රී ලාංකේය වශයෙන් අපේ කලාකරුවන්ට මීට වඩා අවධානයක් අගයක් ලැබිය යුතුය කියලාද?

රටක් හෝ ඒ ඒ රජයන් කලාකරුවන් ගැන අවධානය, සැලකිල්ල දැක්වීම ඉතා හොඳ දෙයක්. නමුත් රජයකින් යැපෙන්න බලාගෙන ඉන්නවාට වැඩිය තමන්ට පුළුවන් කාලේ හරිහම්බ කරගන්නවා නම් හෙට දවසට කියලා යමක් ඉතුරුකර ගන්නවා නම් එය ඊට වැඩිය නම්බුකාරයි. රටක් පිනවන කලාකරුවා කියන සුවිශේෂී පුද්ගලයා කාගෙන්වත් යැපෙන්නෙ මොකටද.


 හැබැයි ඇතැම් කලාකරුවන් රජයට ඇඟිල්ල දිගු කරනවා?

ඒක ඔවුන්ට අයිති කාරණයක්. කිසිම රජයක් මෙතෙක් කලාකරුවනට සලකන්න නොහිතපු එකත් වෙනමම කතාවක්. නමුත් කලාකරුවන් කිසිවකුට අතපෑම මම අනුමත කරන්නේ නැහැ. හම්බ කරන කාලෙට ඉතිරියක් කරගන්නවා නම් ඒක තමයි හොඳම ක්‍රමය. මම මහා ලොකු නිළියක් හෝ මට ලැබෙන චරිත බොහෝමයක් ප්‍රධාන ඒවා නෙමෙයි. දෙවැනි පෙළ හෝ තුන්වැනි පෙළ චරිත වේදිකාව, රූපවාහිනිය සහ සිනමාව තුළ එකසිය පනහකට වැඩිය වාගේ සම්බන්ධ වී තියෙනවා. ඒ රංගනයන් ඔස්සේ මම මා වෙනුවෙන් තරමක ඉතිරියක්ද කරගෙන තිබෙනවා. රටට තියා දරුවකුටවත් අප බරක් වියයුතු නැහැයි හිතන තැනයි මම ඉන්නේ.


 ඔබේ අලුත්ම බලාපොරොත්තුව ‘සාප්පුත් එක්ක බෑ’ වේදිකා නාට්‍යයි?

ඔව්. එය විදේශ රටවල්වලද ප්‍රදර්ශනය කිරීමේ බලාපොරොත්තුවක් අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත වීරමන් තුළ තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ඕඩියන්ස් එක ආසන 50කට පමණක් සීමා වී තිබීමද කනගාටුවට කාරණයක් බව මෙහිදී කිව යුතුමයි. හැමදේටම වඩා සෞඛ්‍ය ආරක්ෂිත නීතිවලට ගරු කිරීමද අපි හැමෝගෙද යුතුකමක් නිසා ඒ කනගාටුව අමතක කර මඳ කලකට පසු වේදිකාවට පියනැගීමට අවකාශ ලැබෙන ඒ අවස්ථාව එනතුරු මම බලා සිටිනවා.


දමයන්ති රේණුකා ප්‍රනාන්දු