අද ජනප්‍රිය වෙලා හෙට නැතිවෙලා යන නළුවෙක් වෙන්න මම කැමති නැ - ඉමේෂාන් නෙල්ලිගහවත්ත

Friday, February 19, 2021 , 0 Comments

 






මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන සුජිව ප්‍රියලාන්ගේ "ඉන්ටර්නෂනල්” ටෙලි නාට්‍යයේ “නිර්මාල්” ලෙස ඔබ දකින ඉමේෂාන් නෙල්ලිගහවත්ත කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු ඔහුගේ කලා කටයුතු ගැන අලුත් විස්තර මෙලෙස පුවත්පතට කියා තිබෙනවා. 


විවිධ කලා නිර්මාණ ඔස්සේ නිතර දකින ඔහු වර්තමානයේ සිටින ජනප්‍රිය යොවුන් නළුවන් අතලොසෙන් කෙනෙකුද වෙයි. ඔබව කලා නිර්මාණ කිහිපයකම අපි දකිනවා?


මේ දිනවල නාලක විතානගේ මහත්මයාගේ ‘හෝලා' කියන චිත්‍රපටයට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඊට අමතරව දැන විකාශය වෙන 

“ඉන්ටර්නැෂන" ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් කටයුතු මීට දින කිහිපයකට පෙර අවසන් වුණා. ධනුෂ්ක රේමන්ගේ ‘රෙස්” කියලා අලුත් ටෙලි නාට්‍යයක රූපගත කිරීම් කටයුතු වලට මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ එක්කම රූපවාහිනි වෙළෙඳ දැන්වීම් ගොඩකට පහුගිය ටිකේ මම දායක වුණා. 


ඔබ කලාවට සම්බන්ධ වෙලාත් කාලයක් වෙනවා නේද?


 ඔව්, දැන් අවුරුදු පහක් විතර වෙනවා මම කලාවට සම්බන්ධ වෙලා. මුලින්ම රඟපැවේ ෂාහිරු රණසිංහගේ “වීරවර්ණ' චිත්‍රපටයේ. එහි මම ප්‍රවිණ රංගවේදි රවින්ද්‍ර රන්දෙණිය මහත්මයාත් සමග ප්‍රධාන චරිතය නිරූපණය කළා. දැනට මම ටෙලි නාට්‍යය, චිත්‍රපට, රූපවාහිනි වෙළෙඳ දැන්වීම් විශාල ප්‍රමාණයක් රඟපාලා තියෙනවා. 


ප්‍රේක්ෂයෝ ඔබ ගැන කතා කළේ මේ නිර්මාණ අතරින් කුමන චරිතය හරහාද? මැතකදී විකාශය නිමාවුණ ටිකිරි රත්නායක මහත්මයාගේ ‘සකළගුරු' ටෙලි නාට්‍යයේ 'මයුර' කියන චරිතය ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරය කළ චරිතයක් වුණා. දැනට ටෙලි නාට්‍යය විකාශය වෙලා අවසන් වුණත් මිනිස්සු තවමත් 'මයුර' කියන චරිතයට ආදරේයි කියලා හැගෙනවා ලැබෙන ප්‍රතිචාරත් එක්ක. “සකළගුරු' ටෙලි නාට්‍යයේ දෙවැනි කොටසක් නිර්මාණය කරන්න දැන් සැළසුම් කරල තියෙනවා. ඊට අමතරව මෑත කාලයේ මා දායක වුණ ටෙලි නිර්මාණ බොහෝමයක් තුළින් මා ගැන ප්‍රේක්ෂකයෝ කතා කළා.



රංගනය ගැන හැදැරිමක් කරන්න නැතුව මෙහි රැඳෙන්න අමාරුයි ?

 ඇත්තටම, දැනුමක් නැතුව ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරන්න අමාරුයි. මම අනෝජා වීරසිංහ මහත්මියගේ ‘අභින' රංග කලා වැඩමුළුවලට සහභාගී වෙලා තියෙනවා. වේදිකාවට සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා. වේදිකාව කියන්නේ රංගනය ඉගෙන ගන්න පුළුවන් හොඳම තැන. ඉතින් ඒ අත්දැකිම් හරහා මට රංගනය කියන දේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. 


ඔබ ජනප්‍රියද?

ජනප්‍රියද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ. ඒ වුණාට මට හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා හැම වෙලාවේම. ඒ අතර මගේ රංගනය ගැන ගුණදොස්, හොඳ නරක මේ හැම දෙයක්ම. මම කැමතියි ඒ වගේ ප්‍රතිචාර ලැබෙනවා නම්. මොකද, මම නරකට රඟපානවා නම් මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම ඊළඟට ලැබෙන නිර්මාණයේ හොඳට කරන්න උත්සාහ කරනවා. රසික ප්‍රතිචාර ඉහළින් ලැබෙනවා නම් මම හිතනවා ඔවුන් අතර මා ජනප්‍රිය ඇති කියලා. 


වර්තමානයේ සිටින ගොඩක නවකයෝ ඉක්මන් ගමනක් යන්න අපේක්ෂා කරනවා. ඔබත් එහෙමද?


 සෝඩා බෝතලය කැඩුවා වගේ අද ජනප්‍රිය වෙලා හෙට නැතිවෙලා යන නළුවෙක් වෙන්න මම කැමති නැහැ. මම කැමතියි මේ ක්ෂේත්‍රය තුළ හෙමින් ගමනක් යන්න. අනිත් කාරණය තමයි අපි මේ ක්ෂේත්‍රය තුළ ගත කරන්න ඕනා විදිහක් තියෙනවා. විනයක් ඇතුව මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න ඕනා. හොර පාරෙන් ඇවිල්ලා නළුවෙකු වුණාට ඔවුන්ට පිළිගැනීමක් නැත්නම් වැඩක් නැහැ. අපි අපේ ප්‍රවීනයන්ට ගරු කළ යුතුයි. රසිකයන්ට ගරු කළ යුතුයි. මාධ්‍යයට ගරු කළ යුතුයි. කරන වැඩේට සාධාරණයක් කළ යුතුයි. එහෙම කළොත් අපිට මේ ක්ෂේත්‍රය තුළ දිගු කාලයක් රැඳෙන්න පුළුවන්. අද ගොඩක් අයගේ ඒ දේවල් දකින්න නැහැ. 


බුද්ධික ස්වාධීර