එදා ඇයව ලැබීම තමයි මගේ සාර්ථකත්වය - තීක්ෂණ අනුරාධ

Friday, February 19, 2021 , 0 Comments



එක රැයින් තරු බිහිවුණු, කෙටි කලකින් නිවෙන වටපිටාවක තරුවක් ලෙස රසික හදවත්වල දීර්ඝ කාලයක් වැජඹීම අභියෝගයකි. එම පැවැත්මේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන් මියුරු හඩක් හිමි ගායන ශිල්පියෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ.. . ඉතිං ඔහු ඔහුගේ ජිවිතේ අලුත් තොරතුරු පිළිබඳව පුවත්පතකට මෙලෙස කියා තිබෙනවා.


කොහොමද තීක්ෂණ ජීවිතේ?

හොඳින් ඉන්නවා ඉතින්. බබාල දෙන්න නිසා වැඩිපුර එළියට යන්නේ නැහැ. ටුඩියෝ එකත් ගෙදරම තියෙන නිසා සංගීත කටයුතු කරන්නත් පහසුයි.


ඔබේ අලුත් නිර්මාණ මොනවද?

මෑතකදී විඩියෝ එකකුත් එක්ක දඟකාරියේ කියල ගිතයක් කළා. ඒක බොහොම ළඟකදී එළිදක්වනවා. තව අවසන් කරපු නිර්මාණ කිහිපයක් සහ මම සංගීත අධ්‍යක්‍ෂණයෙන් දායකත්වය ලබා දුන් මේනක රාජපක්‍ෂ අධ්‍යක්ෂණය කරපු ටෙලි නාට්‍යයකුත් විකාශය වෙන්න නියමිතයි.


බොහෝ දෙනෙක් කියනව ආදරේ කරනකොට එක විදිහක්, බැන්දම තවත් විදිහක් කියල. මේක ඇත්තක්ද?

මෙහෙමයි ඉතින්. අපි දෙන්න නම් හැමදාම වගේ අදටත් යාළුවො වගේ වැඩ කරන්නෙ. විවාහ ජීවිතේ අතිශය සුන්දරයි. බබාල ලැබුණම තවත් සුන්දරයි කියල බොහෝ දෙනෙක් කිව්වට ඒක ඒ කියන තරම් සුන්දර දෙයක් නෙවෙයි. වගකීම් ගොඩක එකතුවක්. සුන්දරයි කියල හිතාගෙන විවාහ වෙන අයට ජීවිතේ එපා වෙනවා තමන්ගේ වගකීම් හඳුනා ගන්නේ නැතිකම නිසා කියලයි මට හිතෙන්නෙ. ඒ යථාර්ථය තේරුම් ගත්ත කෙනෙක් නිසා දරුවෝ සහ බිරිය එක්ක හැමදාම සතුටින් ඉන්න මට පුළුවන්.


ඇත්තටම කෙනෙක්ට සතුටින් ඉන්න මොනවද ඕන?

ඒක ඇත්තටම එකිනෙකා මත සාපේක්‍ෂ දෙයක්. මම ගැන කිව්වොත් මට සතුටක් දැනෙන්නේ අම්මා, තාත්ත, සහ මගේ පවුලේ අය එක්ක ඉන්නකොට. අලුත් සංගීත නිර්මාණයක් කළාමත් මං ලොකු සතුටක් ලබනවා. අනිත් කාරණය තමයි විශාල බලාපොරොත්තු තියා නොගැනීම සතුටට වැදගත්. තමන්ට ළගාකර ගන්න පුළුවන් හීන එකින් එක ඉටු කරගැනීම සහ ඒ තුළින් සෑහීමකට පත්වීමත් සතුටින් ඉන්න බලපානවා.


ඔබේ ජීවිත්තේ වැඩියෙන්ම සතුටක් දැනුණු දවස මොකක්ද?

2006 අප්‍රේල් හත් වැනිදා. එදා තමයි මම සහ මගේ බිරිය ආදරේ කරන්න පටන් ගත්තෙ. ඒ දවසෙ මට සාමාන්‍යයෙන් පෙම්වතියක් ලැබුණා කියන හැඟීම තමයි දැනුණෙ. ඒත් අද වෙනකොට මම හිතනව එදා ඇයව ලැබීම තමයි මගේ සාර්ථකත්වය කියලා.


ඔබ විද්‍යා විෂයෙන් උසස් අධ්‍යාපනය දක්වාම ඇවිත් වෘත්තිය ලෙස කලාව තෝරා ගැනීමට හේතුව මොකක්ද? 

මම ගාල්ල ශාන්ත ඇලෝසියස් මහ විද්‍යාලයේ හය වසරේ ඉඳන්ම සංගීතය හැදෑරුවා. හැබැයි මගේ ආසාව තිබ්බේ විද්‍යා විෂයන් කරන්න. ඔය අතරේ මවුපියන් තමයි කලාව පැතට මගෙ හැකියාවක් තියෙනව කියල හඳුනගෙන ඒ සඳහා මාව උනන්දු කළේ. සුපර් ස්ටාර් තරගයෙන් පස්සේ අධ්‍යාපනය සහ රැකියාවක් සඳහා විදෙස්ගත වෙන්න හිතන් හිටපු මං ලංකාවේ නැවතුණේ ඔබ තරම් කියන ගීතය ජනප්‍රිය වීමත් එක්ක.


ඒ කියන්නේ ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය ඔබ තරම් ගීතය?.

ඔව් ඇත්තටම. ඩිලාන් ගමගේ සහ රදීෂ් වැන්දබෝනා තමයි ඔබ තරම් ගීතය නිර්මාණය කරල මට ගායනා කරන්න ලබා දුන්නේ. ඒ ගීතය නිසා තමයි මට පවුලෙ අය එක්ක ලංකාවෙ ඉන්න ලැබුණේ.


තරු වැඩසටහන්වල එදා සහ අද තත්වය ගැන ඔබේ අදහස කුමක්ද?

එදාට වඩා දැන් තත්වය සහ තාක්ෂණය උසස්. ඒ කාලෙ අනුග්‍රාහකයෝ වැඩිය හිටියෙ නැහැ. අඩු පහසුකම් සහ අත්දැකීම් අඩු බව නිසා තරගකරුවන් පවා කොයි විදිහටද තරග කරන්නේ කියල අවබෝධයක් තිබුණේ නැහැ.


රියැලිටි තරගවලින් වැරදි සමාජ බලපෑමක් තියෙනවද?

හැමදේම සියයට සියයක් නිවැරදි නැහැනේ. රටේ පාලකයන් කරන වැරදි එක්ක බලනකොට මම හිතන්නේ නැහැ රියැලිටි තරග නිසා සමාජය වැරදි පාරක යයි කියල. හැමදාම එකම අය ගීත කියනවට වඩා අලුත් අය ක්ෂේත්‍රයට එන්න ඕන. දක්ෂයන්ට තමන්ගේ හැකියාව උරගා බලන්න අවස්ථාවක් විදිහට තව තව රියැලිටි තරග බිහි වෙන්න ඕන කියලයි මම හිතන්නේ .


එහෙම එන තරු ටික කාලෙකින් නිවී යන්නේ ඇයි?

මෙහෙමයි. රියැලිටි තරගවලට එන හැමෝම ගායකයො වුණොත් ඒක ප්‍රායෝගික නැහැනෙ. තමන් වැඩ කරන විදියට, දෛවය සහ වාසනාව අනුව තමයි තමන්ගෙ ගමන තීරණය වෙන්නේ.


රියැලිටි තරුවක් ලෙස ක්‍ෂේත්‍රය තුළ ස්ථාවර වෙන්න බලාපොරොත්තු වන අයට ඔබේ. අත්දැකීම් එක්ක ලබා දෙන පණිවුඩය මොකක්ද?


කරුණු කිහිපයක් තියෙනවා. රසිකයෝ මුණගැහුණම කතා කරන්න බැරිනම් අවංකව හිනාවකින් හරි සංග්‍රහ කරන්න ඕන. එයාල නිසානෙ අපි යැපෙන්නෙ. අපි කොච්චර ජනප්‍රිය වුණත් කොච්චර මුදල් තිබුණත් ප්‍රවීණයන්ට ගරු කරන්න ඕන. අනික් කාරණය තමයි නවකයන්ට පුළුවන් විදිහට උදවු කරන්න ඕන. මේ දේවල් කරනව නම් හැමදාම ක්ෂේත්‍රය තුළ රැඳෙන්න පුළුවන්.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?

මගෙ පුතාල දෙන්නව යහපත් මිනිස්සු විදිහට ලෝකයට දායාද කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. සංගීත ක්‍ෂේත්‍රය වෙනුවෙන් යම් වැඩ කොටසක් කරල කාටවත් කරදරයක් නොකර සතුටින් ජීවත් වෙන එක තමයි ඉතින් අරමුණ. 


නිසංසලා සංගීත සමරතුංග