කාගෙ­න්වත් යැපෙන්නේ නැතිව මම ආවේ තනි ගම­නක් - ගීත්මා බණ්ඩාර

Monday, February 22, 2021 , 0 Comments




ගීත්මා බණ්ඩාර හීන දකින ඒ හීන හැබෑ කරගන්න උත්සාහ කරන නව පරපුරේ රංගන ශිල්පිණියක්. වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයට පය තියපු ගීත්මා රංගනයට පාර තනා ගන්නේ හිරු අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබීමෙන්. එතැන් සිට ඇරඹි ගමනේ ඇයට පසු කරන්නට ලැබුණු කඩ ඉම් අප දකින තරම් සුන්දර වෙන්න ඇතිද? ඇය ඒ ගැන පුවත්පතකට මෙලෙස කියා තිබුනා.


 ගීත්මා මේ දවස්වල සංගීතෙන් පිට පැනලා නේද?


මම ‘සංගීතේ‘ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා අවුරුදු දෙකයි. දැන් ‘රෑනගල වලව්ව‘ ටෙලි නාට්‍යයත් විකාශය වෙනවා. 'සංගීතේ' නාට්‍යයට සම්බන්ධ වෙන්න ටික කාලෙකට කලින් රූගත කරපු ඒ නිර්මාණය දැන් තමයි විකාශය වෙන්නේ. මේ දවස්වල තවත් අලුත් නිර්මාණයක රූගත කිරීම් කෙ‍ෙරනවා. ඒ නාට්‍යයත් ඉදිරි මාසයකදී විකාශය පටන් ගනියි.


ගීත්මා ‘සංගීතේ‘ නාට්‍යයටම කොටු වුණා කියලයි බොහෝ අය හිතුවේ?


‘සංගීතේ‘ කියන්නේ මට ප්‍රධාන චරිතය ලැබුණ පළවෙනි නිර්මාණය. නමුත් මේතාක් සම්බන්ධ වුණු නිර්මාණ එකිනෙකට වෙනස්. මගේ හැකියාව වැඩි දියුණු කරගෙන වෙනස් දේවල් කරන්නයි නිතරම උත්සාහ කරන්නේ.


නමුත් අප ඔබව දකින්නේ බොහොම සීමිත නිර්මාණ ප්‍රමාණයකින්. ඒ ලැබෙන ආරාධනා අඩු නිසා නෙවෙයිද?


ආරාධනාවල නම් අඩුවක් නැහැ. නමුත් මම කරන්න කැමැති අකැමැති පරාස තුළ තෝරා ගැනීම් කරන්නත් සිදු වෙනවා.


ගීත්මා, රංගනයේ මොනවගේ සීමා ද පනවාගෙන තියෙන්නේ ?


මම මහා ලොකු සීමා පනවාගෙන නැහැ. නමුත් රඟපාන චරිතයක් නිසා මගේ පෞද්ගලික චරිතයට හානියක් වෙන්න බෑ. ඇඳුම් සම්බන්ධ දේවල්වලටත් සීමා තියෙනවා. සංගීතේ නාට්‍යයේ මම කරන චරිතයට හානියක් වෙන නිරූපණයක් මම කරන්නෙත් නැහැ.


ගීත්මාට නාට්‍ය ගොඩක් පේන්න ඉන්න වුවමනාවක් නැද්ද ?


බලන බලන හැම නාළිකාවේම පේන්න වුවමනාවක් නැහැ. එක කාලෙකට එක නාට්‍යයක හෝ දෙකක හිටියොත් ඇති. මට අවශ්‍ය ප්‍රේක්ෂකයාට හැමදාම මතකයේ රැඳෙන ආදරණීය චරිතයක් වෙන්න.


ඉතින් එකම නාට්‍යයක කාලයක්ම ඉදිද්දිත්ය කියන වටිනාකම අඩු වෙනවා නේද?


‘සංගීතේ‘ නාට්‍යයට ආපු අලුත “ආ.. අලුත් ගෑනු ළමයෙක් රඟපාන්න ඇවිත්“ කියන ප්‍රතිචාරය තමයි ලැබුණේ. ඊට පස්සේ ‘අසේනි‘ විදිහට බොහෝ අය ආදරෙන් මාව වැලඳ ගත්තා. ඒ ආදරය දවසින් දවස වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. ඒක මම ලැබූ භාග්‍යයක්.


තරුණියකට රංගන ක්ෂේත්‍රය අනාරක්ෂිතයි යන මතය ඔබටත් දැනිලා තියෙනවද?


මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු පහක් විතර. ඒ කාලය ඇතුළත මුණ ගැහුණු සියයට අනූනවයක්ම හොඳ අය. අපි අපේ වටිනාකම හරියට තියාගෙන හොඳ විදිහට ජීවත් වුණොත් ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි ඕනෑම තැනක ඕනම දෙයකින් ගැලවිලා ඉන්න පුළුවන්. කාන්තාවක් කලා ක්ෂේත්‍රයෙදි විතරක් නෙමෙයි ඕනම තැනකදි අතවරයකට හෝ අපහසුතාවට ලක් වෙන්න පුළුවන්. නමුත් මේ ක්ෂේත්‍රය ගැන තියෙන අවධානය වැඩි නිසා ඒ දේවල් වැඩිපුර පේනවා ඇති.