දැන් හැමතැනම කැපිලි කුඩම්මාගේ සැලකිලි - නිමන්ති පෝරගේ

Monday, February 22, 2021 , 0 Comments

 



වයස් භේදයකින් තොරව ගොඩක් අය ඇයට ආදරය කළා. එහෙත් ගොඩදෙනෙක් හිතාගෙන හිටියේ නිමන්ති පෝරගේ කලාවෙන් සමුගෙන කියලා. ඒහි ඇත්ත නැත්ත ගැන ඇය පුවත්පතකට මෙලෙස විස්තර කියා තිබුනා.



නිතර දෙවේලේ රූපවාහිනියේ දැකපු ඔබව දැන් නිර්මාණවල දකින්නට නැති තරම්, එයට හේතුව?

මුල්කාලවල විවිධ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට සම්බන්ධ වෙලා වැඩකළා. පසුකාලීනව නිර්මාණවලින් ආරාධනා අඩු වීමක් තිබුණා. ඒ වගේම අපේ නිෂ්පාදන ආයතනයෙන් කරන ටෙලිනාට්‍යවලට මූලිකවෙලා වැඩකටයුතු කළා.


දැන් තියෙන්නෙ කැපිල්ලක්ද? නැත්නම් මොකද්ද ප්‍රශ්නෙ?

එයට විශේෂ හේතූන් කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ ශිල්පීන් නිෂ්පාදනය, අධ්‍යක්‍ෂණය කළාම අනෙකුත් නිර්මාණවලට සම්බන්ධ කර ගැනීමේ අඩුවක් තිබෙනවා. එය මට විතරක් නෙවේ මේ ක්‍ෂේත්‍රයේ සිටින ගොඩාක් ශිල්පීන්ට සිදුවන දෙයක්. ඒ අනෙකුත් නිර්මාණ විවේචනය කරයි කියලා.


ඔබගේ නිෂ්පාදන ආයතනයේ නිර්මාණවලදිත් ශිල්පීන්ට කුඩම්මාගේ සැලකිල්ල දක්වනවාද?

අපෝ කවදාවත් අපි එහෙම කරන්නේ නැහැ. දක්‍ෂයට, සුදුසු කෙනාට වගේම අලුත් පරපුරටත් අපේ නිර්මාණවල විශේෂ ඉඩක් තිබෙනවා. උදාහරණයක් විදියට මම මෙහෙම කියන්නම්කො. මේනක රාජපක්‍ෂ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය කළා කියලා අපි කවදාවත් අපේ නිර්මාණවලින් ඉවත් කළේ නැහැ. ඔහුගේ දක්‍ෂතාවයට අපි ඉඩකඩ දෙනවා. ඒ වගේම ලකී ඩයස් නිර්මාණ නිෂ්පාදකවරයෙක්. එහෙමයි කියලා අපි කිසිම කෙනෙක්ට වෙනසක් කළේ නැහැ. අපි හැමෝම මේ ක්‍ෂේත්‍රයේ එක මවකගේ දරුවෝ විදියට හිතාගෙන ඉන්නේ.



ඔබේ සැමියත් අධ්‍යක්‍ෂවරයෙක්. ඔහුගේ හැම නිර්මාණයකටම ඔබට ඉඩක් තියෙනවද?

මට ගැළපෙන චරිතයක් තිබුණොත් ඔහු මාව සම්බන්ධ කරගනී. නැතුව හැම නිර්මාණයකටම මම සම්බන්ධ වෙන්නේ නැහැ. ඔහුගේ වැඩවලටත් සම්බන්ධ වෙමින් දරුවන්ගේ වැඩත් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා. ඒ අතර කෙටි ෆිල්ම් සඳහා සම්බන්ධ වෙනවා. ඔහු නිර්මාණය කළ ‘අහස් මාලිගා, හතේ කල්ලිය ටෙලිනාට්‍යවල මට ගැළපෙන චරතියක් තිබුණේ නැති නිසා මාව ඒ නිර්මාණ සඳහා සම්බන්ධ කරගත්තේ නැහැ.


දැන් එන්න එන්න මෙගා නාට්‍ය වැඩියි. වෙනසක් කරන්න අදහසක් නැතිද?

ඒ වෙනසට අපිත් කැමැතියි. නිර්මාණකරුවන් විදියට අපටත් අලුත් දේවල් නිර්මාණය කිරීමේ ලොකු ආශාවක් තියෙනවා. නමුත් අපි නිෂ්පාදකවරුන් වශයෙන් නිර්මාණයක් කරලා ගෙදර තියාගෙන ඉන්න කැමැති නැහැ. රූපවාහිනී නාළිකාවලින් ගන්න නිර්මාණ තමයි ඉතින් අපිට කරන්න සිදුවන්නේ.


දම්වැලක් සේ එක දිගට ටෙලිනාට්‍යවල ඔබව දැක්කත් සිනමාවේ ඔබේ රඟපෑම අඩුවක් තිබුණා?

මට චිත්‍රපටවලින් ආරාධනා ආවා. නමුත් මම එක දිගට ටෙලිනාට්‍යවල කාර්යබහුල වෙලා හිටිය නිසා සිනමාව වෙනුවෙන් මගේ දායකත්වය සපයා දීමට ප්‍රමාද වුණා. මොකද එක නිර්මාණයකින් අපිව දැක්කොත් එක දිගට ආරාධනා එන නිසා.












වසන්ත විතාරණගේ