ජනප්‍රිය වෙන්න බලාගෙන සිංදු කියන අයට ක්ෂේත්‍රයේ පැවැත්මක් නැහැ - භාතිය ජයකොඩි

Friday, February 12, 2021 , 0 Comments




 BNS කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. මේ දිනවල The Voice නිසාත් මේ දෙන්නා ගැන නිතරම කතා බහට ලක් වෙනවා. ඒ නිසාම භාතිය - සන්තුෂ් කියන සංගීතවේදීන් දෙපළ ගැන අමුතුවෙන් ඔබට හඳුන්වා දිය යුතු නැහැ ඡදඵලගෙ අලුත් වැඩකටයුතු මොනවාද? සහ රටේ පවතින තත්ත්වය ගැන  භාතිය ජයකොඩියි පුවත් පතකට මෙලෙස විස්තරා කියා තිබුනා.


භාතිය කොහොමද ජීවිතේ?

ජීවිතේ සාමාන්‍ය විදියට ගත වෙලා යනවා. වෙනසකට තියෙන්නේ ගිය අවුරුද්දේ අප්‍රේලින් පස්සේ අපේ විදේශ සංචාර එකක්වත් සිදුවුණේ නැහැ. ඒ සියල්ල නතර වුණා ලෝකයේ කොවිඩ් වසංගතයත් එක්ක. ඒ හැරෙන්න සාමාන්‍ය විදියට ජීවිතේ ගත වෙනවා. 



රූ සරා ගීතයට ලැබෙන ප්‍රතිචාර හොඳයි නේද?


රූ සරා ගීතයට ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තිබෙනවා. අපි හැමතිස්සෙම හිතපු කාරණාවක් තමයි අපි කාලානුරූපිව වෙනස් විය යුතුයි කියන දේ. කාලානුරූපීව වෙනස් වීම තුළ ඊළඟ පරම්පරාව කැමැති දේවලුත් අපි අතින් හැදෙන්න ඕනි. මොකද අපි අපේ පරම්පරාවට පමණක්ම ගිත ගායනා කරලා වැඩක් නෑ. ඒ නිසාමයි රූ සරා ගීතය හැදෙන්නෙත්. මේ ගීතයේ තනුව නිර්මාණය කරන්නේ යසස් මැදගෙදර, ෂෙහාන් ගලහිටියාව තමයි පද රචනය කරන්නේ. යසස් අපිට මේ ගීතය ලබා දෙනකොටම අපි හිතුවා මේක හරියන්නෙම ඊළඟ පරම්පරාවට කියලා. ඉතින් ඒ නිසාම ගොඩාක් ආසාවෙන් අපි මේ ගීතය ගායනා කළා. 


මේ ගීතයේ විඩියෝව කරපු හසිත් පතිරණවත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඔහු ගොඩාක් මහන්සි වුණා. ගීතයේ අර්ථයට ස්වභාවයට ගැළපෙනම විඩියෝවක් හදන්න. ඒ වගේම මේ රූප රචනයට නිළියක් තෝරද්දී අපිට ඕනි තරම් අවස්ථාව තිබුණා දැනට ඇන්ටික් පීල්ඩ් එකේ ඉහළින් ඉන්න නිළියක් තෝරා ගන්න. නමුත් අපි හිතුවා ගායන  ක්ෂේත්‍රයේම ඉන්න අලුත් ගායිකාවක් මෙයට තෝරාගන්න. ඒ නිසාම තමයි අපි හිරුශි ජයසේනව මේකට තෝරාගත්තේ. ඇය මෙයට සාධාරණයක් ඉෂ්ට කරයි කියලා අපි බලාපොරොත්තු වුණා. ඒ ආකාරයෙන්ම ඇය එය ඉෂ්ට කළා. හැමෝගෙම එකතුවෙන් ඉතාමත් සාර්ථකව ඒ නිර්මාණය සිදුවුණා.


The Voice වැඩසටහනට සම්බන්ධ වීමත් එක්ක ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපිට කැමැති අයගෙන් අපිට හොඳ ප්‍රතිචාර ලැබෙනවා වගේම අනිත් කෝච්ලටත් එයාලට කැමැති අයගෙන් ප්‍රතිචාර ලැබෙනවා. 


වර්තමාන සංගීත ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

වර්තමාන සංගීත ක්ෂේත්‍රය ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා. ඉතාමත් හොඳ දක්‍ෂ අය ක්ෂේත්‍රයට ඇවිල්ලා තියෙනවා. හොඳ ගායකයෝ, හොඳ සංගීත අධ්‍යක්ෂවරු, හොඳ පද රචකයන් දැන් ක්‍ෂේත්‍රය තුළින් බිහි වෙනවා. අනිත් කාරණය තමයි ඔවුන් 90%ක්ම අලුත් තාක්ෂණයත් සමග ඉදිරියට යන අය.


අද කාලයේ හැදෙන ඇතැම් ගීතවලට මල් සින්දු, මල් ගායකයෝ කියන චෝදනාව එන්නේ ඇයි?

මල් සින්දු කියන කැටගරි එක මම හිතන විධියට ලංකාවේ හැමදාමත් තිබුණු දෙයක්. අසූ ගණන් අනු ගණන්වලත් ඔය සින්දු තිබිලා තියෙනවා. ඒක මේ ගිත විචාරකයෝ බලන කෝණයක් විතරයි. මේවෝ මල් සින්දු අරවා මල් සින්දුද කියලා අපිට කියන්න බෑ. මොකක් වුණත් ගීතයක් කියන්නේ හැම ගීතයක්ම ගිතයක්. එක එක්කෙනාගේ රුචිකත්වය අනුව මේක හොඳයි, අරක හොඳ නෑ කියන එක හැම කාලෙකදීම සිදු වුණා. දැන් වුණත් සිද්ධ වෙන්නේ ඒකම තමයි. හැබැයි ඒකට මම මගේ ඔළුව යොදවන්නේ නැහැ. මොකද හේතුව සංගීතය කියන එකේ ප්‍රභේද රාශියක් තියෙනවා. තමන් කැමැතිම ප්‍රභේදය ඉතා හොඳයි කියලා හිතාගත්තු පමණින් අනිත් ප්‍රභේද හොඳ නැහැ කියලා හිතන්න හොඳ නැහැ. තමන්ට හොඳ නැති එක අනිත් මිනිහට හොඳ වෙන්න පුළුවන්.


වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයට පායන තරුවලට වැඩිකල් ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න බැරි වෙන්නේ ඇයි?

හැම කාලවකවානුවකදීම සිටියා දීර්ඝ කාලයක් රැඳී සිටින කට්ටියයි. කාලෙන් කාලයට ඇවිල්ලා යන කටියයි. ඒක වර්තමානයට පමණක්ම අදාළ කරුණක් නෙවෙයි. අපේ කාලයේ එහෙම ආවා ගියා කටිය දැන් අයට අමතකයි. මේ දේවල් ඒ කාලයෙත් තිබුණා. නමුත් අලුතින් එන අයට දෙන්න අවවාදයක් තිබෙනවා. තමන් එන්නේ ජනප්‍රිය වෙන්න හිතාගෙන සින්දු කියන්න නම් ඔහුට වැඩි කල් ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්න බෑ. ඒ වගේම එන්නේ හම්බකරන් කන්න නම් ඔවුන්ටත් රැඳිලා ඉන්න බෑ ක්‍ෂේත්‍රය තුළ. ඇත්තටම සංගීත ක්ෂේත්‍රයට එන්න ඕනෑ සංගීතයට ආදරයක් තිබෙනවා නම් හෝ සංගීත ක්ෂේත්‍රයට තමන්ගේ හැකියාවෙන් දෙයක් කරන්න හිතාගෙන. අන්න ඒ වගේ අයට ක්‍ෂේත්‍රය තුළ රැඳෙන්න පුළුවන්.


BNS සංගීත ක්ෂේත්‍රය තුළ කරන්නට අපේක්ෂා කරන වෙනස සිදුකරන්න හැකියාවක් ලැබුණද?

අපි වෙනසක් කරන්න බලාගෙන ක්‍ෂේත්‍රයට ආවේ නැහැ. අපි කළේ හිතට එකගව අපේ ආසාවට අපි කැමැති විධියට දේවල් කිරීමයි. ඒ නිසා කිසියම් වෙනසක් සිදු වුණා කියලා හිතනවා.


භාතිය සන්තුෂ් කියන්නේ ජාත්‍යන්තරයේ නමක් තියපු Brand එකක්. ඒ වගේ තවත් අයව අපේ රට තුළ ඔබ දැකලා තිබෙනවාද?


ඔව් අනිවාර්යෙන්. ඒ වගේ ගායක ගායිකාවෝ පිරිසක් දැන් බිහි වේගෙන යනවා. සනුකලා, උමාරියාලා, ධනිත් ශ්‍රීලා, ඩැඩී වගේ බෑන්ඩිස්. ඔවුන් ජාත්‍යන්තරයේ යම්කිසි ප්‍රමාණාත්මක සලකුණක් හදාගෙන යනවා. තව අවුරුදු 7, 8කින් ඔවුන් ජාත්‍යන්තරයට යන්න ඕනි දේ හදාගනියි. ඒක සුබවාදී බලාපොරොත්තුවක්.


සමාජ මාධ්‍ය තුළ බොහෝ වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි සයිබර් බූලින්ම කියන දේ. භාතිය ඒ ගැන මොකද හිතන්නේ?

බූලින්ග් කියන්නෙත් හැමදාමත් තිබුණු දෙයක්. පාසලේදී සමාජයේදී අහන්න දකින්න ලැබුණු දෙයක්. දැන් හැම කෙනෙක්ම අන්තර්ජාලය භාවිත කරනවා. physical world එකේ සිදුවුණු දේවල් දැන් අන්තර්ජාලයට ඇවිල්ලා. ඒ නිසා අපි අම්මලා තාත්තලා විධියට දැන් ඉන්න පරම්පරාවට හුරු කරන්න ඕනෑ බූලිවලට ලනොවී ඉන්නේ කොහොමද කියන එක සහ අන්තර්ජාලය නිසියාකාරව භාවිත කරන්නේ කොහොමද කියන එක. බොහොමයක් අම්මලා තාත්තලා දරුවාට අවුරුදු 15ක් විතර වෙනකන් අන්තර්ජාලය භාවිත කරන්න දෙන්නේ නැහැ. නමුත් අපි ඒ දේ කරන්න හොඳ නැහැ. මොකද අපේ දරුවන්ට කොහොමත් අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඔවුන්ට නිවැරදි මගපෙන්වීමක් සමඟ ඒ සඳහා ලෑස්ති කරන්න ඕනි.


ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතාව සම්බන්ධව ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?

ලංකාවේ සමාජ මාධ්‍ය භාවිත කරන හැටි දැක්කම නම් මට හිතෙන්නේ බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ධනාත්මකව භාවිත කරන හැටි දන්නෙ නැහැ. ඒක මගේ පෞද්ගලික අදහස. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒ දේවල් හරියයි කියලත් හිතනවා.


කොවිඩ් වසංගතයත් එක්කම කඩා වැටුණු සංගීත ක්‍ෂේත්‍රයට නැවතත් අලුතින් ආරම්භයක් දිය යුතුයි නේද?

සංගීත ක්ෂේත්‍රය දැන් ටික ටික නැගිටිනවා. අපි ක්ෂේත්‍රය තුළින් බලාපොරොත්තු වන සින්දු හදන එක, සින්දු  ලියන එක සහ youtube යන එක තිබුණු ආකාරයෙන්ම සිදු වෙනවා. හැබැයි වෙනස් වීමකට ලක් වෙන්නේ  ප්‍රසංග කලාව. මම හිතන්නේ නැහැ මේ තත්ත්වයත් එක්ක 2023 වගේ වෙනකන්ටත් පෙර තිබූ ආකාරයට ප්‍රසංග සිදුවෙයි කියලා. අපිට මෙහෙම දෙයක් උපකල්පනය කරන්න පුළුවන්. virtual කොන්සට් කියලා දෙයක් තියෙනවා. ඒ ආකාරයේ වෙන වෙන ක්‍රමවේද තිබෙනවා. අපි කලින් කළා ඩ්රයිව් ඉන් කොන්සට් එකක්. එවැනි නව ප්‍රවණතා තිබෙනවා. අපේ සංගීතවේදීන්ට පුළුවන් අලුත් විදියට හිතන්න කොහොමද අපේ නිර්මාණ ශ්‍රාවකයෝ ගාවට ගෙනියන්නේ කියලා. මම හිතනවා මේක හොඳ අවස්ථාවක් අලුතින් මේ ගැන හිතන්න.


රටේ පුරවැසියෙක් විධියට රජය කොවිඩ් වසංගතය පාලනය සඳහා ගත් තතීන්දු තීරණ ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද?

රජය ගත්ත ක්‍රියාමාර්ග ඇත්තටම හොඳයි. සෑහෙන හොඳ ක්‍රියාමාර්ග ටිකක් අරගෙන යනවා. හැබැයි තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මීට වඩා හොඳට කරන්න දේවල් තියෙනවානේ කියලා. හැබැයි ඒක කරන මනුස්සයාට තමයි ඒක අමාරුව තේරෙන්නේ. කරන්න ඕනිම දෙයක අඩු පාඩු පේන්න පුළුවන්. අඩු පාඩු කියන්න පුළුවන්. හැබැයි කරන මනුස්සයට තමයි වැඩේ අමාරුව තේරෙන්නේ. හැබැයි දැනට කරලා තිබෙන දේවල් දැක්කම මම හිතනවා සාර්ථකව වසංගතයට සහ වසංගතයෙන් සිදුවන හානිවලට අපි සාර්ථකව මුහුණ දීලා තියෙනවා කියලා.


ලාංකේය දේශපාලනය තුළ තරුණ්‍යයේ හැසිරීම ගැන මොකද හිතන්නේ?

මම හිතනවා ලංකාවේ දේශපාලනය තුළ තාරුණ්‍යයේ හැසිරීම ගොඩාක් හොඳයි කියලා. හැබැයි තරුණ අය පැරණි දේශපාලනයෙන් අයින් වෙලා අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කළොත් හොඳයි කියලා මම හිතනවා.



සිස්ටම් චේන්ජ් කියන දේ ගැන සමාජයේ කතා බහට ලක් වෙනවා.  ඔබ හිතන විධියට මෙය සිදුවිය යුත්තේ කවර ආකාරයෙන්ද?

සිස්ටම් චේන්ජ් එකක් එක පාර සිදු වෙන්නේ නැහැ. ඕනෑම ක්ෂේත්‍රයක පැරණි ක්‍රමයට වැඩ කරපු කට්ටිය  ගොඩාක් ඉන්නවා. එතකොට අලුත් විදියට හිතන අයට සිදුවෙන්නේ පැරණි ක්‍රමය තුළ ගමන් කරමින් සිස්ටම් එක වෙනස් කිරීමට. එතකොට මතුවෙන ප්‍රධාන ගැටලුව තමයි අර පරණ අයගේ අදහස් ටික වෙනස් කරගෙන සිස්ටම් චේජ් එකකට යන්නෙ කොහොමද කියන එක. හැබැයි ඒකට ගන්න කාලය මේ වෙද්දි වැඩියි. එතකොට අර අලුතින් හිතන කෙනත් මේ පැරණි ක්‍රමය තුළ වැඩ කරන නිසා එයාගේ අදහස් ටිකත් ක්‍රමිකව දියාරු වෙලා යනවා. පස්සේ වෙන්නේ අර අලුත් අදහස් දරපු මනුසයත් පරණ විදිහටම වැඩ කරගෙන යන එක. මම කියන්නේ තරුණ දේශපාලකයන් තව අවුරුදු 5-6ක් යදිවත් සිස්ටම් වේජ් එකකට ඔළුව සාදාගතයුතුයි. එවිටවත් සිස්ටම් එක චේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.


මාධ්‍ය විසින් ගීත ප්‍රචාරය සිදු කරද්දී ඒ සඳහා ගෙවිය යුතු කර්තෘ භාගය ගෙවීම මේ වන විට නිසි අයුරින් සිදු වෙනවාද?

දැනට ගුවන්විදුලි නාළිකාවල ප්‍රචාරය වන ගීත සඳහා කර්ත භාග ලබාදිය යුතු බවට නීතිගත කරලා තියෙනවා. නමුත් අනිත් කිසි දේකට තාම මොකවත් හම්බවෙන්නේ නැහැ. ඒක ඉතාම ඛේදජනක තත්ත්වයක්. ඒ වෙනුවෙන් අපි සියලුම කලාකරුවන් එක්ව අත්වැල් බැඳගෙන එය නීතිගත කිරීම සඳහා ලොකු ව්‍යාපාරයක් අරගෙන යනවා. රටේ විශාල මතවාදයක් අපි ඒ වෙනුවෙන් ඇති කරනවා. ඉතින් ඒකට උත්තරයක් යථා කාලයේදී ලැබේවි කියලා මම හිතනවා.


භාතිය ජයකොඩි කියන පුද්ගලයා සංගීත ක්ෂේත්‍රය තුළ මෙතෙක් කළ කී දෑ ගැන තෘප්තිමත්ද?

ඇත්තටම ඔව්. මට ඒ ගැන තෘප්තියක් තියෙනවා.  


ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අනාගතය ගැන ඔබ මොකද හිතන්නේ? 

ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඉතාමත් හොඳ තැනකට යනවා. මොකද ගොඩාක් දක්‍ෂයෝ දැන් ක්‍ෂත්‍රය තුළ බිහිවෙනවා. ඔබ අර කලින් කියූ කර්තෘ භාග ගෙවීමත් හරියාකාරව ස්ථාපනය වුණොත් සංගීත ක්‍ෂේත්‍රයට හොඳ දෙයක් වෙයි කියලා හිතනවා.


2021 BNS ලගේ අලුත් වැඩ මොනවාද?

මේ අවුරුද්දේ අපේ “ඔබ නිසා" ඇල්බම් එකේ දෙවැනි අදියර සාර්ථකව එළියට දාන්න අපි වැඩ කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් අලුත් සින්දු ටික ජුනි මාසය වගේ වෙද්දි නිකුත් කරන්න ප්ලෑන් එක තියෙනවා.