දෙවනි ඉනිමේ අක්ෂාගේ රූ රහස්

Friday, February 12, 2021 , 0 Comments

 


කාලෙක පටන් දෙරණ රූපවාහිනි නාළිකාවේ ඔස්සේ විකාශනය වන ‘දෙවනි ඉනිම‘ ටෙලි නාට්‍යයේ අක්ෂා කිව්වම දැන් නොදන්න කෙනෙක් නැති තරම්. අක්ෂා කිව්වට ඇගේ සැබෑ නම නෙත්මි රොශෙල් කියලා කවුරුත් දන්නවා. .නවක රංගන ශිල්පිනියක් වන ඇය මේ වන විට බොහෝ රසික හදවත්වල ඉඩහසර ලබා ගෙන ඉන්නේ රංගනය තුළින් මතුවන ඇගේ හුරතල් කතා බහ සහ හුරුබුහුටි පෙනුම නිසායි. ඉතින් ඇය ඇගේ රූ රහස් මොනවාද කියලා  පුවත්පතකට මෙසේ සඳහන් කර තිබෙනවා...


 

කුරුලෑවට මී පැණි

මම මගේ රුව රැක ගන්න බොහෝ වෙලාවට භාවිත කරන්නේ ස්වාභාවික දේවල් සහ ස්වාභාවික සත්කාර ක්‍රමයි. කෘත්‍රිම දේවල් භාවිත වෙන්නේ විකල්පයක් නැති වුණොත් විතරයි. මට තියෙන්නෙ හරිම සංවේදී සමක්. ඒ නිසාම කුරුලෑ එනවා වැඩියි...ඉතින් ඒකට ප්‍රතිකර්මයක් විදිහට මම භාවිත කරන්නේ හොඳ මී පැණි. උදේට කුරුලෑව උඩින් ගෑවම හවසට හොඳයි. අනිවාර්යයෙන්ම මම භාවිත කරන තව දෙයක් තමයි කෝමාරිකා. කෝමාරිකා මදය අරගෙන මුහුණේ සහ ඇඟේ ගාලා විනාඩි විස්සක් විතර තියලා සෝදනවා.


 

මුහුණට අමුකහ සහ කඩල පිටි ෆේස් පැක්

අමුකහ කොටලා කඩල පිටි සහ මී පැණි දලා කවලම් කරලා මුහුණට ඇඟට ගාලා විනාඩි විස්සක් තිහක් වගේ වෙලාවක් තියලා සෝදලා අරින්න. ඒක නම් ගොඩක් හොඳ ප්‍රතිකාරයක්.


 

නෑමට බිත්තර සුදු මද ගෑමට රතු ලූනූ තෙල්


 හිස් කබල වගේම කොණ්ඩෙට මම බිත්තර සුදු මද ගානවා. බිත්තර ගානවා කිව්වාම දැන් කට්ටිය හිතයි අපෝ පිලී ගඳක්වත් එයිද කියලා. මම නම් කරන්නේ සුදු මදේ හොඳට කොණ්ඩෙට ගාලා ටිකක් වෙලා ඉඳලා හොඳට කන්ඩිෂනර් දාලා සෝදන එක.මගේ කෙස් කලඹ රැක ගන්න මම කරන තව ස්වාභාවික සත්කාරයක් තියෙනවා. ඒ, සුද්ද කරපු රතු ලූනූ කරපිංචා හා උළුහාල් එක්ක කවලම් කරලා මමම හදා ගත්තු තෙලක්. ඔළුවට මේ තෙල් දාලා පොඩි මසාජ් එකකුත් කරලා පැයකින් විතර නෑවට පස්සේ හිතුවට වඩා හොඳ ප්‍රතිඵල ලැබෙනවා.


 

යෝග නිසා හිතයි ගතයි දෙකම ෆිට්


 මම කොරෝනා කාලේ ජිම් ගියා. නමුත් ඒ එක්කම මම යෝග වලට හුරු වුණා. යෝගා කරන එක ඇත්තටම හිතට ගතට දෙකටම හොඳයි. මනස පුදුම විදිහට සැහැල්ලු වෙනවා. මම සාමාන්‍යයෙන් පැය තුනක් වගේ යෝගා කරනවා. උදේ පාන්දරම නැගිටලා යෝග කළාම ඇඟට පුදුම ෆිට් එකක් තියෙන්නේ.


 

උදේට බත් ඕනෙමයි මට


අනිවාර්යයෙන් උදේට බත් කන්න ඕනිමයි. එළවළු එහෙම මම තෝරන්නේ නැහැ. ඕන දෙයක් කනවා. උදේට නිතරම වගේ කොළකැඳ බොන එකත් මගේ පුරුද්දක්. කෙසෙල් සහ අඹ තමයි මගේ ආසම පලතුරු. කොහෙ දැක්කත් මම අනිවාර්යයෙන් ගෙනත් කනවා.


 පැය හතක අනිවාර්ය නින්ද

මට අනිවාර්යයෙන් පැය හතක් නිදා ගන්න ඕනීමයි. එහෙම නැත්තම් ඒක මගේ හිතට හරි වදයක්. ගෙදර ඉන්නව නම් රෑ දහය වෙද්දි නිදා ගන්නවා. නැත්තම් නිදා ගන්න වෙලාවට පැය හත ටයිම් තියලා තමයි මම  ඇහැරෙන්නෙ.