ගැලපෙන අය ලෝකෙ කොහෙවත් නැහැ - සුජානි මේනකා

Tuesday, January 05, 2021 , 0 Comments




ටෙලිනාට්‍ය ගණනාවක සුවිශේෂී චරිත රඟපාපු ජනප්‍රියම රංගන ශිල්පිනියක් තමයි සුජානි මේනකා කියන්නේ. එහෙත් කාලෙක ඉඳලා ඇය ටෙලිනාට්‍යවල වගේම, කිසිම මාධ්‍යයක ඇය පිළිබඳව කතාබහ වුණේ නැහැ. ටෙලිනාට්‍ය කලාවටම නැතුවම බැරි වුණු ඇය එකපාරටම ටෙලිනාට්‍ය කලාවෙන් ඉවත් වුණාද? එහෙමත් නැතිනම් ඇයට මොකද වුණේ කියලා දැනගැනීමට කාලෙක ඉඳලා ඇයට කතා කිරීමට උත්සාහ කළා. ඒත් ඇයව අපට සම්බන්ධ කරගැනීමට නොහැකි වුණා. ඒත් අපි උත්සාහය අත්හැරියේ නැහැ. එහෙත් පසුගිය දිනෙක ඇය කාලෙකට පස්සේ අප සමඟ දොඩමලු වුණා.


මුලින්ම මාත් සමඟ හැමදාමත් සිටිය මගේ ආදරණීය රසික රසිකාවියන්ටත් මේ ලබන්නා වූ වසර සුබම සුබ වසරක් වේවා කියා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. මට කාලෙකට පස්සේ හොඳ ටෙලිනාට්‍යයකට මට සම්බන්ධ වෙන්න ලැබුණා. සාලින්ද රත්නායක අධ්‍යක්‍ෂණය කරන ‘PORK වීදිය’ ටෙලිනාට්‍යයේ අවුරුදු දෙකකට පස්සේ තමයි මම මේ රඟපාන්න හිතුවේ.


PORK වීදිය’ ඒ තරම් ඔබට විශේෂ වීමට හේතුව?

ඇත්තටම අසංක සායක්කාර තමයි ඒ ටෙලිනාට්‍යයට තිර රචනයෙන් දායක වෙන්නේ. තිර පිටපත කියෙවුවාට පස්සේ මට දැනුණා මට වගේම මගේ ආදරණීයන්ට මේ චරිතය හරහා යමක් දෙන්න පුළුවන් කියලා. ධෛර්යවන්ත ගැහැනියක් ජීවිතය ගැටගහා ගන්න විදියේ චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. මම කතාව ලොකුවට කියන්න කැමැති නැහැ. මොකද ඒ තරමට මේ ටෙලිනාට්‍ය මට විශේෂයි. ඒ වගේම මේ ටෙලිනාට්‍යයේ දක්‍ෂ රංගන ශිල්පීන් රැසක් රඟපානවා. මෑත කාලයේ මෙහෙම ශිල්පීන් පිරිසක් නිර්මාණයක රඟපානවා මම දැකලා නැහැ.


හිටිගමන් ටෙලිනාට්‍ය රඟපෑම නතර කරන්න ඔබ හිතුවේ ඇයි?

එයනම් මගේ විශේෂ පෞද්ගලික හේතුවක් මත තමයි. ඒ වෙලාවේ මම ගොඩාක් කාර්යබහුල වෙලා හිටියේ. අනෙක් කාරණාව තමයි මට ගැළපෙන්නැති චරිත ලැබුණෝතින් මම රඟපාන්න කැමැති නැහැ.


එදා තිබුණු ගුණාත්මක නිර්මාණ කලාව අද උඩුගම් බලා පීනන බවද ඔබ කියන්නේ?

ගුණාත්මක ටෙලිනාට්‍යවල අද තෝරා බේරා ගන්න දෙයක් නැහැ. අපට ගැළපෙන විදියට තමයි ඒ චරිත අපට ලැබෙන්නේ. ඒ කාලවල එක දිගට ගුණාත්මක නිර්මාණ බිහිවුණා. අපිත් හරිම ආශාවෙන් තමයි වැඩ කළේ. ඒ දවස්වල මට නිර්මාණයක් මඟහැරුණානම් මඟ හැරුණු දින නැතිකම නිසා නැතුව මම ප්‍රතික්‍ෂේප කළේ නැහැ. වර්තමානයේ අපි දකින නිර්මාණ අතරින්පතර ගුණාත්මක නිර්මාණ දකිනවා. අලුත් පරපුර ඉන්න හොඳ නිර්මාණ කරන. ඒ වගේම අපේ හිටිය පරණ අයත් උත්සාහ කරනවා හොඳ නිර්මාණ කිරීමට.


අද දකින නිර්මාණ ගැන ඔබ කලකිරීමකින්ද මේ කතා කරන්නේ?

මෙහෙමයි… හොඳ නිර්මාණ දකිනවා. ඒ අතර කිසිම හරයක් නැති නිර්මාණත් දකිනවා. ඒවා දකින කොට හිතෙනවා මේවා කාට රසවිඳින්නද හදන්නේ කියලා. සමහර අවස්ථාවල මගේ අතට හොඳ පිටපත් ලැබිලා බාරගත්තු අවස්ථා තිබිලා තියෙනවා. ඒවට ගිහින් බඩු විකුණනවා වගේ තමයි කරන්නේ. ඉතින් එහෙම දැක්කාම එපාවෙලා ගෙදර එනවා වෙන කෙනෙක් දම්මලා කරන්න කියලා. තෘප්තියක් නැතුව වැඩ කරන්න මම කොහෙත්ම කැමැති නැහැ. ඔය වගේ හිත් තුළ කලකිරීම් නිසා තමයි මම පොඩ්ඩක් නිහඬ වෙලා හිටියේ. අනෙක බිමල් කැමැති නැහැ මම එහෙම නිර්මාණවල රඟපානවට.


ඒ කාලවල ඔබ දෙදෙනාගේ තිබුණු කාර්යබහුලත්වය නිසා බිමල්ගේ වැඩකටයුතු කරලා දෙන්නවත් හරිහමන් වෙලාවක් තිබුණේ නැතුව ඇති?

ඇත්තටම ඔව්… අපි දෙන්නාම ටෙලිනාට්‍යවල වැඩකටයුතු කරපු නිසා දෙන්නාම කාර්යබහුල වෙලා හිටියේ. හැබැයි පසුගිය අවුරුදු දෙකේ මම ගෙදරට වෙලා හිටිය නිසා හිතට ලොකු සැහැල්ලුවක් දැනුණා. ඒ වගේම බිමල්ගේ වැඩකටයුතුවලට උදවු වෙලා ගෙදරට වෙලා හිටියා.


වර්තමානයේ ටෙලිනාට්‍ය යුවළවල් අතර මත ගැටුම්, විරසක වීම් අපට දකින්නට, අහන්නට ලැබෙනවා. සුජානි, බිමල් කැදැල්ලේ තියෙන රහස මොකක්ද?

පවුලක් වුණාම පොඩි පොඩි ප්‍රශ්න එනවා. ඒක සාමාන්‍ය දෙයක්. දෙන්නා අතර තේරුම් ගැනීම තමයි වැදගත්. යාළුවෙලා තමයි අපිත් බැන්දේ. ජීවත් වෙද්දි අපි දෙන්නාට දෙන්නා තේරුම් ගත්තා. ප්‍රශ්න ආවත් ඉවසීමෙන් ඒ ප්‍රශ්න දිහා බලාගෙන හිටියාම කිසිම ප්‍රශ්නයක් නැහැ. ගැළපෙන අය නැහැ ලෝකයේ කොහෙවත්.හැබැයි අපි ගැළපෙන විදියට ජීවත් විය යුතුයි. මම ඒ දේ ඉගෙන ගත්තෙත් පවුල් ජීවිතය ගතකරනකොට තමයි. ඕක තමයි අපේ රහස.


ඔබේ දකින විශේෂත්වයක් තමයි මාධ්‍ය සමඟ ඔබ ලොකු ගනුදෙනුවක් නැති බව?

එයට හේතුව වැඩක් කරන්නැතුව මොනවා කතා කරන්නද. ඒ නිසා මම කතා කරන්න කැමැති නැහැ. මගේ වැඩක් යනකොට ඒ ගැන කතා කරන්න සුදුසු කාලයක් ආවම මම මාධ්‍ය සමඟ කතාබහ කරනවා. නැත්නම් මාධ්‍යවලින් ප්‍රශ්න හොය හොයා කතා කරයි. එහෙම ප්‍රශ්න නැහැ අපිට. මම කැමැති නැහැ. ගොසිප් මවාගෙන කතා කරපු කෙනෙක් නෙවේ මම.


සුන්දර කැදැල්ල එළිය කරන්න සුබ ආරංචියක් එහෙම නැද්ද අලුත් අවුරුද්දෙ?

අපේ ජීවිතයට සුදුසු කෙනා සුදුසු කාලවල එයි. එතකන් අපි දෙන්නා බලාගෙන සතුටින් ජීවත් වෙනවා.