අරුණියි මායි අනුන් ගැන හොයන්නේ නැහැ - හර්ෂණ බෙත්මගේ

Tuesday, January 05, 2021 , 0 Comments



පුංචි තිරය තුළදී විවිධ කලා නිර්මාණයන් හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඔහු තාරුණ්‍යය නියෝජනය කරන ජනප්‍රිය, කඩවසම් තරුණ රංගන ශිල්පියෙක්. ඔහු නමින් හර්ශණ බෙත්මගේ. පසුගියදා හර්ෂණ- අරුණි විවාහ මංගල්‍යය ඉතා චාම් ආකාරයෙන් පවත්වා තිබුණා. අරුණි සමඟ ගත කරන නව විවාහ ජීවිතය සහ ඔහුගේ නවතම කලා කටයුතු මොනවාදැයි දැන කියා ගැනීමට  අපි ඔහුට කතා කළා.


හර්ෂණ ඉතින් කොහොමද?

නිදහසේ සතුටින් ඉන්නවා. ඒ වගේම කලා කටයුතුත් ටිකක් කළා. මේ දවස්වල 2021ට ලෑස්ති වෙනවා. මගේ ව්‍යාපාර කටයුතු, ෆැමිලි එකේ වැඩත් එක්කම 2021 අවුරුද්ද අපි හැමෝටම හොඳ අවුරුද්දක් වෙයි කියලා හිතනවා.


මේ දවස්වල ඉතාම සතුටින් කාලය ගත කරනවා නේද?

ඇත්තටම ඔව්. විවාහ ජීවිතය සහ ෆැමිලි එකේ හැමෝමත් එක්ක ඉතාමත් සතුටින් කාලය ගත කරනවා. මේ කාලය මගේ ජීවිතයෙහි ලැබුණුම නිදහස්ම කාලය කිව්වොත් නිවැරදියි. මනස ඉතා නිරවුල්ව පවතින නිසා මගේ වැඩ කටයුතු ඉතාම හොඳින් කරගෙන යනවා.


මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයක් තුළින්ම ඔබව දකින්න ලැබෙනවා. එම නිර්මාණය ගැනත් මතක් කරමු?

ඔව්. හිරු ටීවී එකේ විකාශය වුණු රවීන්ද්‍ර විජේරත්න මහතා අධ්‍යක්ෂණය කළ තරංග දිසානායක මහතා නිෂ්පාදන කළ "අපි අපේ" ටෙලි නාට්‍යය පසුගියදා නිමාවට පත්වුණා. එම ටෙලි නාට්‍යය යෞවනය ගැන කියැවෙන ඉතාම හොඳ නිර්මාණයක්. ඒවගේත්ම රවින්ද්‍ර විජේරත්න මහතාගේ නවතම නිර්මාණය වන “සඳ තරු මල්"හි රූගත කිරීම් කරගෙන යනවා. තව අලුත් නිර්මාණ දෙකක වැඩ පටන් ගන්න තිබුණත් කොරෝනා නිසා ඒ දේවල් 2021 අවුරුද්ද දක්වා කල් දමන්නට සිදු වුණා.


හර්ෂණ ඔබ පුංචි තිරයට පමණක් සීමා වෙලාද?

ඇත්තටම නැහැ. මම සිනමාවටත් සම්බන්ධ වුණා. අලුත් චිත්‍රපට 2ක් කළා. එම නිර්මාණ තවම තිරගත වුණේ නැහැ. ඒ වගේම ලබන අවුරුද්දේදී වේදිකාවට සම්බන්ධ වෙන්නත් බලාපොරොත්තු වෙනවා. හඩ කැවීම් ශිල්පියෙක් විදිහට පසුගිය කාලේ කරගන්න බැරි වුණු වැඩකටයුතු 2021 අවුරුද්දේදි කරන්න බලාපොරොත්තු වෙනවා.


සමාජ මාධ්‍ය ජාලා තුළ ඔබ සහ ඔබගේ අතීතය, වර්තමානය පිළිබඳව විවිධ විවේචන ආදිය දක්නට ලැබෙනවා. ඒ දේවල් පිළිබඳ ඔබට මොනවාද කියන්න තියෙන්නේ?

සමාජ මාධ්‍ය ජාලා තුළ මම සහ අරුණ පිළිබඳ විවිධ කතා පැතිරෙන්න පටන් ගත්තා. නමුත් ප්‍රේක්ෂකයෝ හරිම බුද්ධිමත්. එනිසා හර්ෂණ බෙත්මගේ කියන්නේ කවුද, හරි වැරැද්ද මොකක්ද කියලා ප්‍රේක්ෂකයෝ හොදාකාරවම දන්නවා. ඒ වගේම අතීතය ගැන, වැරදි තීරණයක් ගැන, වැරදුණු තැන් ගැන කතා කරමින් නැවතත් එම වැරැද්දම කරනවා නම් වැඩක් නැහැ. තමන් කරන වැඩවලදි, තමන් ගන්නා තීරණ වලදී හරි දේවල් පමණක් කළ යුතුයි. මම අතීතය ගැන පසුතැවෙන්න කැමැති නැහැ. එනිසා මගේ ජීවිතය තුළදි අතීතයේ වැරදුණු තැන් ගැන හිතමින් අතීතය තුළම ජීවත් නොවී වැරදි හදාගෙන ඉදිරියට මුහුණ දීම තමයි මම නම් කරන්නේ .


එම කටකතා විවේචනය ඔබගේ බිරිය අරුණිට ගැටලුවක් වුණේ නැද්ද?

ඇත්තටම අරුණට ගැටලුවක් වුණේ නැහැ. මොකද අරුණියි, මමයි අනුන් ගැන හොයන්නේ නැහැ. අපිට අනුන්ගේ  දේවල් අදාළත් නැහැ සහ ඒකට අපට වේලාවකුත් නැහැ. ඒ වගේම අපිට ඉදිරියේදී කරන්න වැඩ රාශියක් තිබෙනවා. එනිසා අපෙන් සමාජයට කරදරයක් නොවී සරලව ජීවත් වෙන්නේ කොහොමද කියලා පමණයි අපි හිතන්නේ.


හර්ෂණ ඇයි මේ තරම් ඉක්මනින් ඉතාම චාම් ආකාරයට විවාහ වෙන්න හිතුවේ?

බිරියක් එහෙම නැත්නම් ලයිෆ් පාට්නර් කෙනෙක් ඉන්න එක අපේ ජීවිතයට කොච්චර ශක්තියක්ද කියන දේ මම හොදාකාරවම දන්නවා. මම ජීවිතයේ කවදාවත් තනිවී ජීවත් වුණු කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම හිතන්නේ අපි හැම කෙනෙක්ටම එවැනි හොඳ පාර්ට්නර් කෙනෙක් අවශ්‍යයි. අරුණි කියන්නේ මට මුණ ගැසුණු, මාව ඉතාම හොඳින් වටහා ගත් කෙනා. එනිසා අරුණිත් එකක් මගේ ආදර සම්බන්ධය පටන් ගත් දින සිටම එයා එක්ක ඉක්මනින්ම එක කැදැල්ලකට එන්න මගේ ලොකු ආසාවක් තිබුණා. ඒ නිසා ඉතා ඉක්මනින් චාම් විදිහට අපේ විවාහය ගත්තා.


ඔබගේ බිරිය අරුණි ගැනත් විස්තර ටිකක් කියමු?

මගේ බිරිය අරුණි ඉතාමත් හොඳ කෙනෙක්. මගේ ජීවිතය, සිතුවිලි, සිතුම් පැතුම්, මගේ අතීතය, මගේ ක්ෂේත්‍රය ගැන ඉතාම හොඳින් තේරුම් ගත් කෙනෙක්. මගේ ජීවිතයේ ධනාත්මක චින්තනයකට එන්න ප්‍රධානම හේතුව තමයි අරුණි. මට ආව ප්‍රශ්න සියල්ලන්ම අයින් කරලා මගේ ජීවිතයේ හැම දේකටම උදවු කරන කෙනා තමයි අරුණි කියන්නේ. ඇත්තටම ඇය මගේ පණ හා සමානයි කිව්වොත් නිවැරදියි.


ඔබට ඇයව මුණගැහෙන ආකාරයත් කියමු?

මගේ ජීවිතයේ සියලුම දේ මට අහිමි වෙලා තනි වෙලා ඉන්නකොට ඉතාම අවුල් මනසකින් යුතුව මගේ ගෙදරට මවුපියන් ළඟට ආවා. එවැනි මොහොතක තමයි මට ඇයව මුණගැසුණේ. එනම් මම මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න මම හිතුවා. ඒ නිසා "Bethz Code” කියලා Cosmetics Store එකක්. එතැනදී මගේ බිස්නස් පාට්නර් විදිහට තමයි අරුණිව මට හමුවුණේ.  


ඇය ඔබට වඩා තරමක් ළාබාල තරුණියක්. ඇයව විවාහ කර ගැනීමේදී ඔබට ගැටලු මතු වුණේ නැද්ද?

ඇත්තටම ඇය වයසින් ළාබාල වුණාට, මනසින් ගැඹුරින් සිතන කෙනෙක්. ඇයට සමාජය ගැන ඉතාම හොඳ දැනුමක් තිබෙනවා. එනිසා ඇයට අමුතුවෙන් හර්ෂණ බෙත්මගේ කියන්නේ කවුද කියලා හඳුන්වා දෙන්න ඕනි වුණේ නැහැ. මම හරි තැන හිටපු නිසා, මම කරන්නේ හොඳ දේ පමණයි කියලා විශ්වාස කළ නිසා අරුණිටවත් ඇයගේ මවුපියන්ටවත් කිසිම ගැටලුවක් ඇතිවුණේ නැහැ. සියලු දේ හොඳම හොඳින් සිදුවුණා.


ඇය ඔබගේ ජීවන සහකාරිය වශයෙන් තෝරා ගැනීමට හේතු වූ ඇය විශේෂ ගුණාංගයන් මොනවාද?

ඇයට මාව වටහා ගැනීමට ඉතාමත් හොඳ නුවණක්, ඉවක් තිබෙනවා. මම කරන දේ එකතු වෙලා මට උදවු කරගෙන  හොඳින් ජීවත් වෙන කෙනෙක් තමයි මට අවශ්‍ය වෙන්නේ. ඒවගේම ඉතාමත් උත්සාහවන්ත බිරියක් තමයි මට ඉන්නේ.මුදල් පාලනය සහ සකසුරුවම් බව අරුණි තුළ ඉතා හොඳින් තිබෙනවා.


මෙවර ඔබට හරීයන හරීම කෙනාව තෝරා ගත්තා කියලා ඔබ සිතනවාද?

ඇත්තටම ඔව්. එහෙම හිතනවා. නමුත් ජීවිතයේදී මිනිසුන්ට ප්‍රශ්න එන්න පුළුවන්. ඒවට හොඳින් මුහුණ දීමයි කළ යුත්තේ. මම හිතනවා ජීවිතයේදී මාව හොඳින් තේරුම් ගෙන හොඳ තීරණ ගන්න පුළුවන් කෙනා මට ලැබිලා කියලා මම හිතනවා. එයත් එක්ක හොඳින් සතුටින් සරලව සදාකාලිකව ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.


අවසන් වශයෙන් ඔබ දෙපළගේ අනාගත බලාපොරොත්තු ගැනත් මතක් කරමු?

ඇත්තටම අපිට අනාගත බලාපොරොත්තු කියලා ලොකු දේවල් නැහැ. ලබන අවුරුද්දි අපේම කැදැලකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ව්‍යාපාරය තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට රටවල් කිහිපයක සංචාරය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදි යූ ටියුබ් චැනල් එකක් කරන්නත් හිතාගෙන ඉන්නවා.