මායි අක්කයි එකතුවෙලා මේ අවුරුද්දේ ව්‍යාපාරයක් කරන්න ඉන්නේ - බුවිනි දියලගොඩ

Tuesday, January 05, 2021 , 0 Comments




ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ බුවිනි චාපා දියලගොඩ කලා ක්‍ෂේත්‍රයෙන් සමුගෙන දැන් වසර කිහිපයක් වෙනවා. ඒ සමුගැනීමට තිත තියමින් ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගේ ඉල්ලීම මත නැවැත මේ වසරේ රඟපෑම් කටයුතුවලට යොමු වන බව අපට ආරංචි වුණා. ඉතින් ඇයගේ ඉදිරි කලා දිවියට සුබපැතුම් එකතු කරමින් කාලයකට පස්සේ ඇය සමඟ අපි කතා කළා.


බුවිනි දැන් ව්‍යාපාර පැත්තට යොමුවෙලා බරට වැඩ වගෙයි නේද?

ඔව්. මගේ සැමියා ව්‍යාපාර කටයුතු කරන නිසා ඔහු සමඟ එකතු වෙලා ඔහුට ශක්තියක් දෙනවා. මොකද මෙච්චර කාලයක් ඔහු තනියමනේ වැඩ කළේ. මගේ සහය නිසා ඔහුටත් හයියක් කියලා මම හිතනවා.


අක්කා, නඟාලා ලොකු සැලසුමක් කරගෙන යන බව ආරංචියි. මොනවගේ සැලසුමක්ද ඒ?

මමයි, අක්කයි එකතුවෙලා  මේ අලුත් අවුරුද්දේදී ව්‍යාපාරයක් කරන්න සැලසුම් කරගෙන ඉන්නවා. එය ගැනත් කතා කරමින් සැලසුම් කරගෙන යනවා. ඉක්මනින්ම ඒ වැඩකටයුතු පටන් ගන්නවා.


රඟපෑම් කටයුතුවලින් සෑහෙන කාලෙකින් දැක්කේ නැහැ. කාගෙන්වත් බලපෑමක් ආවද රඟපෑමෙන් ඉවත් වීමට?

මට එහෙම කාගෙන්වත් බලපෑමක් ආවේ නැහැ. අවුරුදු තුනකින් විතර නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. පවුල් ජීවිතයට මුල්තැන දෙන්න කියලා මම හිතලා තමයි ඒ තීරණය ගත්තේ. හොඳ නිර්මාණයකින් ආරාධනාවක් ආවොත් අලුත් අවුරුද්දේ සම්බන්ධ වෙන්න ලොකු ආශාවක් තියෙනවා.


වර්තමානයේ දකින රංගන ශිල්පීන් සමඟ ඔබටත් යමක් කරන්න අදහසක් නැද්ද?

ඔවුන්ගේ දක්‍ෂතා දකින කොට මටත් පොඩි සතුටක් වගේම ආශාවක් ඇති වෙනවා. ඒ වගේම වෙලාවකට පුංචි දුකක් දැනෙනවා. මෙච්චර කාලයක් නිහඬව හිටිය එක ගැන.


ජනප්‍රියම කිරුළට ඇවිත් ආපසු හැරයෑම අපරාධයක් නේද?

‘2018 රයිගම් ටෙලි සම්මාන’ උළෙලේ මම කරපු චරිතයකට නැඟී එන නිළියට මට සම්මානය හිමිවුණා. ඒ සම්මානයත් එක්ක මම නිර්මාණවලට සම්බන්ධ වීම නතර කළා. හැබැයි මම 100%ක්ම කලාවෙන් ඈත්වෙලා නැහැ.

ටෙලිනාට්‍යවලින් මට තවමත් ආරාධනා එනවා. මේ ළඟදිත් ටෙලිනාට්‍ය දෙකකින් මට කතා කළා. ඒත් මම සම්බන්ධ වුණේ නැහැ.


මඟතොටදී ඔබට හමුවන ඔබේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගෙන් මොනවගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?

ඔවුන් මට නිතරම කියන්නේ නැවැත රඟපාන්න කියලා. ආශාවෙන් බලාගෙන ඉන්නවා මම ඉන්න නිර්මාණයක් දැකබලා ගන්න. එහෙම කියන කොට මටත් ඔවුන් ගැන දුක හිතෙනවා. මම ඔවුන්ට කළේ ලොකු අසාධාරණයක් කියලා. ඒ නිසාම තමයි අලුත් අවුරුද්දෙ ඉඳලා හොඳ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වීමට හිතුවේ.


රඟපෑමෙන් ඉවත් වුණත් නිවේදන කටයුතුවලින් නම් සමුගෙන නැහැ වගෙයි?

මම එදා ඉඳලා නිවේදන පැත්තට ලොකු ආශාවක් තිබුණා. ඒ නිසාම විවිධ වැඩසටහන් නිවේදන කටයුතු කළා. මේ දවස්වල ‘ශ්‍රද්ධා’ රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් විදියට වැඩකරගෙන යනවා.


අලුත් අවුරුද්දේ තවම සුබ ආරංචියක් නැද්ද?

මේ අවුරුද්දේ එය ගැනත් හිතනවා. කාලය ඒ හැමදේටම පිළිතුරු දෙයි.