අංජුලා මොකද මේ වැඩි පරෙස්සම?

Tuesday, January 05, 2021 , 0 Comments




කාලෙන් කාලෙට අලුත් වන නළු නිළි තොරතුරු අතරට මේ දවස්වල අංජුලා රාජපක්ෂගේ නමත් එකතුවෙලා තියෙනවා. පහුගිය දවස්වල අංජුලාට කොවිඩ් වැලඳී ඇති බවට සමාජ මාධ්‍ය විසින් වාර්තා කළා. ඔය කාරණයේ ඇත්ත නැත්ත ගැන කතා කරන්නත් අලුත්ම වෙනසක් ගැන කතා කරන්නත් ඇයව සම්බන්ධ කරගත්තා.


‘සක්මන් ඡායා’ හි සරාගී පෙම්වතියගේ චරිතයට දැන් ප්‍රතිචාර කොහොමද?

එයා සරාගි පෙම්වතියක්ද නැතිනම් කුමනාකාරයේ තරුණියක්ද කියල දැන්ම විනිශ්චයක් දෙන්න කලබල විය යුතු නැහැ කියලයි මම හිතන්නේ. ඇය ජීවිතයේ හැම සැප සම්පතක්ම හිමි, පියාගේ සෙනෙහස අතරේ හැදී වැඩෙන කෙනෙක්. ඇයගේ ජීවිතයේ අඩුවකට තියෙන්නේ ආදරය. එයා ඒ ආදරය බලෙන් ලබාගන්න හදනවද එම තරුණයාගේ නැති බැරිකම් ඉදිරියේ ඇගේ ආදරය කියා රැවටීමකට ලක්වෙනවද, නැතිනම් ඇත්තටම ඔවුන් ආදරය කරනවාද කියලා මට දැන්ම කියන්න අපහසුයි. 


අංජුලාට තිරයේ නපුරිය, දඟකාරිය, සරාගිනිය හැර අවිහිංසකාවිය වෙන්න ලැබිලම නැද්ද?

එහෙම අවස්ථා ලැබිලා තියෙන්නේ කරපු ටෙලි නාට්‍යවලින් සියයට දෙකක් විතර තමයි. ගොඩාක් වෙලාවට නපුරු චරිතවලටත් වැඩිය දඟකාර, බටහිර පන්නයට නැඹුරු වුණ, ජීවිතය ගැන සැහැල්ලුවෙන් හිතන චරිතම තමයි කළේ. ඉතින් අහිංසක චරිතවලටනේ පෙම්වතා සෙට් වෙන්නෙ. ඉතින් අහිංසක පෙම්වතිය වෙන්න ලැබෙන්නේ නැහැ. කොහොමත් මම මේ චරිත ලැබෙන විදිහට කැමැතියි. සුදු කළු කියලා චරිත වර්ග දෙකක් තියෙනවනේ. සුදු චරිතවලටනේ මිනිස්සු ආදරය කරන්නේ. හැබැයි මම කළු චරිත කරනවා කියලා රසික රසිකාවියන්ගේ ආදරයේ වෙනසක් මට දැනිලා නැහැ.  මම කරන හැම චරිතයකදිම ඒ චරිතය පොඩිද ලොකුද කළු ද සුදු ද කියලා හිතන්නෙ නැහැ. මගෙන් වෙන්න ඕන උපරිම දේ මම කරනවා.  


පුංචි තිරයේ අතිශය ජනප්‍රිය අමීෂා රඟමඩලෙන් බැස යන්නද මේ සූදානම?

අපේ චරිතය ටෙලි නාට්‍යයේ වැඩියෙ පෙනෙනවද නොපෙනෙනවාද කියල තීරණය කරන්නේ පිටපත් රචකයානේ. මොකද එයාගෙෙනේ කතාව. කොහොම වුණත් මගේ රංගන ජීවිතයේ මට තිබුණ ජනප්‍රියත්වය හිතාගන්න බැරි තරමට ඉහළට රැගෙන ගිය චරිතයක් තමයි අමීෂා කියන්නේ. මම ඒ චරිතය හරි ආසාවෙන් කරන්නේ. 


කොරෝනා සැදුණු කලාකරුවන් අතරේ ඔබත් හිටියා නේද?

සාමාන්‍යයෙන් සෝෂල් මිඩියා, පත්තර, රේඩියෝ, ටිවී චැනල්වල කිසිම වෙලාවක මාව අපහසුතාවට පත්වෙන ප්‍රවෘත්තියක් ගිහින් නැහැ. මම හිතන්නේ මේ ආරංචියත් එයාලා හිතාමතා කරපු දෙයක් නෙවෙයි. එයාලට වුණ වැරදීමක් විදිහටයි මම ඒ ගැන හිතන්නේ. මිනිස්සුන්ට එහෙම වැරදීම් වෙන්න පුළුවන්නෙ.


අංජුලා මේ දවස්වල වැඩියෙන් පරිස්සම් වෙනවද?

ඇතත්ටම රූපගත කිරීමකට ගියත් ගොඩක් පරිස්සම් වෙනවා. දර්ශන තලවලත් බොහොම සෞඛ්‍යාරක්ෂිතව වැඩ කරනවා. ඒ නිසා තමයි මම යන්නෙත්. අපිටත් වගකීමක් තියෙනවා. ගෙවල්වල අපේ දෙමව්පියෝ ඉන්නවා. ඒ අයත් ආරක්ෂා කරගන්න ඕනෑ. හැබැයි මට කොවිඩ් හැදුණොත් මම හංගන්නේ නැහැ.


2021 අංජුලා රාජපක්ෂට මව් පදවිය හිමිවෙන වසරක් වෙන්නත් පුළුවන් නේද?

ජීවිතයේ හැම දෙයක්ම නිසි ආකාරයෙන් සිද්ධ වෙනවනේ. මගේ ජීවිතයෙත් එහෙමයි. ඉතින් ඒ දේවලුත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙයි.


ඔබේ සැමියාත් මේ දවස්වල කලා කටයුතු එක්කද ඉන්නේ?

එයා ටවර්හෝල් ආර්ටිස් කෙනෙක්. වෘත්තීමය නර්තන ශිල්පියෙක්. ටවර්හෝල් කලාකරුවන්ට මේ දවස්වල වැඩ අඩුයි. එයා වැඩියෙන් ඉන්නේ රට. මාත් එක්ක විවාහ වුණාට පස්ස‍ෙ ලංකාවට ආවේ. මේ දවස්වල ලක්ෂ්මන් පුෂ්පකුමාර අයියගේ ටෙලි නාට්‍යයක රඟපානවා. ඒ අතර ලංකාවේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ නර්තන හා බෙර වාදන ශිල්පින්ගේ සංගමය කියලා සංවිධානයක් පිහිටුවන්න මූලික වුණා. එයා තමයි ඒ සංගමයේ සභාපති. ඒ අතර අපේ ව්‍යාපාර ටිකක් තියෙනවා. ඒ දේවලුත් බලාගෙන ඉන්නවා.


යෞවනියගේ චරිතයෙන් මැදිවියේ චරිතවලට මාරුවෙන්න කාලය එද්දි හිතට දැනෙන හැඟීම දුක්බරද?

ජීවිතයේ ඇත්ත අවබෝධ කරගත්ත කෙනෙකුට ඒක අමාරු නැහැ. ජීවිතයේ අපි හැමදාම තරුණ විදිහට ඉන්නේ නැහැ. අපිට තරුණ විදිහට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒත් වයසේ වෙනස තේරුම් අරගෙන පුළුවන් වෙන්න ඕන. හැමදාම කෙල්ලම කියල හිතාගෙන ජීවත් වෙන්න බැහැ. කාලයත් එක්ක අපි අඳින පලඳින, කතාබහ කරන විදිහ වෙනස් වෙනවා. එහෙම වුණා කියලා මට එහෙම ප්‍රශ්නයක් නැහැ.