පැජන්ට්වලට යන්න තරම් මගේ ලොකු ලස්සනක් නැ

Wednesday, January 06, 2021 , 0 Comments




තම පියාගේ සුළැඟිල්ලේ එල්ලෙමින් රංගනය පිළිබඳව පියා යටතේ හදාරමින් රාජ්‍ය සම්මාන පවා හිමිකරගත් ඇය අද ටෙලිනාට්‍ය තුළ වගේම සිනමාවෙත් ජනප්‍රියයි. ඇය දිනිති වල්ගම. ඉතින් ඒ සියල්ලම පසෙක තබා ඇය නිවේදිකාවක් විදහටද දැන් කටයුතු කරනවා.  ඇය ඇගේ අලුත් තොරතුරු ගැන පුවත්පතකට පවසා තිබුනේ මේ ලෙසයි.


දිනිති මේ දවස්වල The Voice සමඟ නිවේදිකාවක් වෙලා?

මේක මට  ලැබුණු වෙනස්ම අත්දැකීමක්. ඒ නිසාම මට එය කරලා බලන්න හිතුණා. මෙය ලෝකයත් එක්ක කරන්න යන වෙනස්ම වැඩක්. නැතිව රැල්ලට ආපු රියැලිටි වැඩසටහනක් නෙමෙයි. ඒ වෙනස් වැඩේ ඉදිරියේදී හැමෝටම දැනෙයි.


ඒ කියන්නේ රඟපෑම අත්හැරලා නිවේදන වෘත්තියට සම්බන්ධ වුණාද?

නැහැ.මට වඩා දක්ෂ නිවේදක පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ තැන මට කවදාවත් ගන්න බැරිවෙයි. මම එදා ඉඳලා රංගනයට තමයි ආශා කළේ. රඟපෑම මට පරම්පරාවෙන් ලැබුණ දායාදයක්.


අප දන්නා තරමට ඔබ රංගනය පිළිබඳ හැදෑරුවේ ළමා අවධියේ?

මගේ තාත්තා නාට්‍ය හා රංග කලා ගුරු උපදේශකවරයෙක්. මම කලාව කියන හැමදේම ඉගෙන ගත්තේ මගේ තාත්තාගෙන්. මට වයස අවුරුදු තුනේ ඉඳලා මම එය පිළිබඳව ඉගෙන ගත්තා. අවුරුදු හතේදී මට රාජ්‍ය නාට්‍ය සම්මානත් ලැබුණා.


හැමෝම මඟ බලාගෙන ඉන්නේ ඔබේ කුලුඳුල් සිනමා රංගනය එනකම්. ආශාවරී පිළිබඳ කියන්න විශේෂ යමකුත් ඇති නේද?

ආශාවරී චිත්‍රපටයේ වැඩකටයුතු ඉවරයි. ලබන වසරේ බොහෝදුරට තිරගත වෙයි. මෙහි කියන්න තිබෙන විශේෂත්වයක් තමයි ආශාවරී චිත්‍රපටයත් එක්ක මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන් රැසක් සමඟ වැඩ කරන්න ලැබීමත් සතුටක්. ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න අවසාන වරට රඟපෑවේ මම දන්න තරමින් ආශාවරී චිත්‍රපටයේ. ඔහු මගේ තාත්තා විදියට තමයි රඟපෑවේ.


මියුසික් වීඩියෝවලින් ආරාධනා ලැබුණත් ඔබ එය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

අනේ නැහැ. මම මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන්න කැමැති නැහැ. අනික මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අලුත් පිරිසක් ඉන්නවා. අපි එයාලා ගැනත් හිතලා වැඩ කරන්න ඕනා. පෞද්ගලික ඇඳුනුම්කමින් ආරාධනාවක් ලැබුණොත් සලකා බලනවා. ඒත් තවම මම එය ගැන හිතලා නැහැ.


මේ දවස්වල ඔබට රටින් රටට යන්න බැරි අපහසුතාවයක නේද ඉන්නේ?

රටවල් නම් හැට ගානකට විතර මම ගිහින් තියෙනවා. ඒත් දැන් ගුවන් සේවිකාවක් විදියට මේ දවස්වල වැඩකටයුතු කරන්න බැහැ බාරගත්තු නිර්මාණ වැඩකටයුතු නිසා. ඒ සියල්ල ඉවර කරලා ගුවනේ වැඩකටයුතු පටන් ගන්නවා.


රටවල් ගණනාවක තිබෙන හිතවත්කම් නිසා පැජන්ට්වලට යන්න අදහසක් නැතිද?

මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ රඟපාන්නයි. නැතුව පැජන්ට්වලට යන්න නෙමේ. අනික ඒවට යන්න තරම් මම ලස්සන නැහැ. ඒ වගේම අපේ රටේ නිරූපණ ශිල්පිනියන් ඉන්නවා. ඒ සම්බන්ධ කරගෙන යන්න. එයාලගේ රස්සාව නැති කරන්න මම කැමැති නැහැ. ඒ වගේම එයාලත් දැනගන්න ඕනා නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න. රඟපෑමයි, නිරූපණයයි කියන්නේ දෙකක්. ඔය විෂයන් දෙක හරියට තේරුම් නොගෙන මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න බැහැ.


තනිකඩ ජීවිතයට වෙනසක් එකතු කරගන්න කැමැති නැතිද?

මේ තියෙන නිදහස මට හොඳටම ඇති. තව කෙනෙක් ළං කරගෙන ඇයි කරදර වෙන්නේ. මම කැමැති සරල ජීවිතය නිදහසේ විඳින්න. කාලයත් එක්ක ඒ සියල්ල වෙනස් වෙයි. හැබැයි දැන්ම නෙමේ.













-වසන්ත විතාරණගේ-