දේශපාලඥයන්ට කඩේ යන්න ඕනෙ නැහැ - වසන්ත කුමාරවිල

Friday, January 08, 2021 , 0 Comments



සිනමාව වෙනුවෙන් කැපවුණු ‘හීරෝ’ කෙනෙක් තමයි වසන්ත කුමාරවිල කියන්නේ. ඔහු සිනමාව වෙනුවෙන් විවිධ අංශවලින් ඔහුගේ දායකත්වය සපයා දුන් අතර, කාලෙකට පස්සේ ටෙලිනාට්‍යයක සුවිශේෂී චරිතයකින් ඔහු අප අතරට පැමිණියේ ‘නවරත්න’ ලෙසින්ය. ඉතින් කාලෙකට පස්සේ ඔහුගේ කලා දිවිය ගැන තොරතුරු පුවත්පතකට කියලා තිබුනේ මෙලෙසයි.


සිනමාවේ අපි දැකපු වීරයා දැන් ටෙලි කරළියට සමීපවෙලා වගෙයි?

එහෙම නැහැ. හොඳ ටෙලි නිර්මාණයකින් මට හොඳ චරිතයක් ලැබුණොත් මම ඉතින් ආශාවෙන් රඟපානවා. කාලෙකට පස්සෙ තමයි ‘රන්තිලි වැව’ ටෙලිනාට්‍යයේ සුවිශේෂී චරිතයක් රඟපෑවේ.


ඔබ ‘රන්තිලි වැව’ ටෙලිනාට්‍යයේ නිරූපණය කළ ‘නවරත්න’ චරිතය ගැනත් ඔබට යමක් කියන්නට ඇති?

මෑත කාලයේ බිහිවුණු වෙනස්ම නිර්මාණයක් තමයි ‘රන්තිලි වැව’ ටෙලිනාට්‍යය. විශේෂයෙන්ම මාව එම චරිතයට තෝරාගත් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ චනික පෙරේරාට විශේෂ ස්තුතියක් පුදකරනවා මෙය අවස්ථාවක් කරගෙන. අපේකම දැනෙන විදිහේ නිර්මාණයක්. ඔහු ප්‍රේක්‍ෂකයා මෝඩයා නොකර බුද්ධිමත් නිර්මාණයක් සූක්‍ෂ්ම ලෙස නිර්මාණය කළා. ඉතින් මම නිරූපණය කළ ‘නවරත්න’ චරිතයත් මට කාලෙකට පස්සෙ දැනුණු සුවිශේෂී චරිතයක්. මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ටත් එය ලොකු වෙනසක් දැනෙන්නට ඇති මට වගේම.


හැබැයි වසන්ත, ප්‍රේක්‍ෂකයන් පවසන්නේ හොඳ නිර්මාණ නැහැ කියලා. කාලෙකට පස්සේ දකින හොඳ නිර්මාණ අතරමග නතර කරන්නේ ඇයි?

හොඳ නිර්මාණ නැති වෙනවද? නැති කරනවාද? කියන ප්‍රශ්නය මත අපිත් ගැටෙනවා. මෙය අපටත් ගැටලුවක්. ප්‍රේක්‍ෂකයන් හොඳ නිර්මාණ තමයි ඉල්ලන්නේ. ඉතින් සියලුම මාධ්‍ය නාළිකාවල බලධාරීන් මෙයට වගඋත්තර බැඳිය යුතුයි කියලා මම හිතන්නේ. ‘රන්තිලි වැව’ තව ඉදිරියට කරගෙන යන්න තිබුණා. මාධ්‍ය ආයතනවල බලධාරීන් මෝඩ වැඩ කරනවා. ඔවුන් හිතන්නේ මුදල ගැන විතරයි. සිනමාවට වුණු දේම ටෙලිනාට්‍ය කර්මාන්තයටත් සිදුවේගෙන යනවා මේ යන විදියට. ටෙලිනාට්‍ය නිර්මාණය කිරීමේදී ප්‍රේක්‍ෂකයා ගැන හිතිය යුතුයි. එහෙම නොවුණොත් ප්‍රේක්‍ෂකයා මෙයින් ඈත් වෙනවා.


වෙනස් චරිත කිරීමේ පිපාසයක් ඔබටත් තියෙනවද?

එක මට විතරක් නෙවේ. මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරන සියලුම ශිල්පීන්ගේ තියෙන ආශාවක් විවිධ චරිත නිරූපණය කිරීම. මොකද ටෙලිනාට්‍යයක් හරහා ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය වගේම ජනප්‍රියතාවයත් ඉක්මනින්ම ලබන්න පුළුවන්. මම සිනමාවේ භූමිකා කිහිපයකම නියැළී වැඩ කරන කෙනෙක්. ඒ අතර ඉඳහිට ටෙලිනාට්‍යයක රඟපාන්නෙත් ඒ චරිත පිපාසය නිසා තමයි.


වසන්ත කුමාරවිල සොයාගෙන නිර්මාණ ළඟට ආවාද?

මම කවදාවත් චරිත ඉල්ලගෙන පස්සෙ ගිය කෙනෙක් නෙවේ. මේ ක්‍ෂේත්‍රයේ මට සම්බන්ධකම් තිබෙනවා. එහෙමයි කියලා මාව නිර්මාණවලට ගත්තේ නැහැ. මාව නිර්මාණයට ගැළපෙනවානම් චරිතයට සුදුසුම කෙනා මම කියලා හිතුණොත් ඒ නිර්මාණකරුවන් මාව හොයාගෙන එනවා.


ඇත්තටම කලාකරුවා අසරණද?

 මම කලාකරුවන් ඒ තත්ත්වයට දාලා කතා කරනවාට කැමැති නැහැ. කිසිම කලාකරුවෙක් අසරණ නැහැ. ඔවුන්ට කාලෙකදී වැඩ එනවා වගේම තවත් කාලයකදී වැඩ නැති වෙනවා. ඔවුන් දැනගන්න ඕනෑ මෙයට විකල්පයක් හොයා කටයුතු කරන්න. කලාකරුවා පොළොවේ පයගහල ජීවත්වන මනුෂ්‍යයෙක්. හැබැයි මේ වෙලාවේ ලෝකෙම ජනතාව අසරණ වෙලා මේ කොරෝනා වසංගතය නිසා.

කලාකරුවන් ඇයි දේශපාලනඥයන් වෙනුවෙන් කඩේ යන්නේ? 


එයට මම විරුද්ධයි. කලාකරුවෙක් කළ යුත්තේ ඔවුන්ව අපි ළඟට ගෙන්වා ගැනීමයි. යම් යම් හේතූන් මත දේශපාලනඥයන් වෙනුවෙන් පෙනී සිටිය යුතු අවස්ථා තිබුණා. හැබැයි එහෙමයි කියලා ඔවුන් වෙනුවෙන් කඩේ යායුතු වෙන්නේ නැහැ. කොන්ද කෙළින් තියන්, කිසිම පක්‍ෂ භේදයක් නැතුව වැඩ කරන කලාකරුවන් ඉන්නවා. ඒ අතර සමහර කලාකරුවන් කඩේ යන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. කලාකරුවා වෙනුවෙන් ජනතාව ඉන්නේ ආදරය, සුබසිද්ධිය වෙනුවෙන්. හැබැයි ඒ ආදරය, ගෞරවය දේශපාලනඥයාට නැහැ.


සිනමාවේ ඔබේ දායකත්වය මේ දවස්වල කොහොමද?

සිනමාව වෙනුවෙන් මගේ උපරිම දායකත්වය ලබා දෙනවා. චිත්‍රපට කිහිපයකම වැඩ කරගෙන යනවා. ඒ අතර, මම සම්බන්ධ වුණු චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙනවා. අපිත් රෑ දිවා නොබලා කැපවෙලා වැඩ කරන්නේ සිනමාවට සුබවාදී කාලයක් උදාකර දෙන්නටයි.


-වසන්ත විතාරණගේ-