ගමෙන් කොළඹට ආවේ ජපන් යන්න බලාගෙන - සංජය මුරමුදලියි

Friday, January 22, 2021 , 0 Comments




සිරස ඩ්‍රිම් ස්ටාර්හි කිරුළ හිමි කරගත් ඔහු මේ වන විට පුංචි තිරය තුළ රංගන ශිල්පියකු වශයෙන් ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත්වී සිටිනවා. මේ දිනවල විකාශණය වන සඳ තරු මල් හා අමාලියා යන ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්‍ෂකයන් අතරට එන ඔහු තරුණ ජනප්‍රිය රංගන ශිල්පියකු වන සංජය මුරමුදලියි. මේ දිනවල ඔහුගේ අලුත් තොරතුරු  ගැන ඔහු පුවත්පතකට මෙලෙස පවසා තිබුනා.


සංජය කොහොමද ඉතින් ජීවිතය?

හොඳින් ඉන්නවා. රට තුළ කොරෝනා තත්වයත් එක්ක වැඩකටයුතු ඉදිරියට කරගෙන යනවා.


මේ දිනවල කාර්යබහුලද?

ඔව්. මම රංගනයෙන් දායක වෙන නිර්මාණ කිහිපයක්ම මේ දිනවල විකාශය වෙනවා.


එම නිර්මාණයන් මොනවාද?

සිරස නාළිකාවේ විකාශණය වුණු අපි අපේ ටෙලි නාට්‍යය අවසන් වුණා. දැනට සිරස නාළිකාවේම සඳ තරු මල් සහ ස්වර්ණවාහිනි නාළිකාව තුළ අමාලියා කියන ටෙලි නාට්‍යය දෙක විකාශය වෙනවා.


අපි අපේ ටෙලි නාට්‍යයෙහි චරිතය ගැන යමක් කියමු?

රවීන්ද්‍ර විජේරත්න මහතා අධ්‍යක්ෂණය කළ, තරංග දිසානායක මහතා නිෂ්පාදනය කළ අපි අපේහි චරිතය “ශකිල". ඔහු ඕනෑම ප්‍රශ්නයක් ගැන සරලව සිතන, තමා දකින හින හරහා යාළුවන්ගේ ප්‍රශ්නවලට උත්තර සොයා දෙන කෙනෙක්. ඒ නිසා යාළුවෝ ඔහුට “හිනා” කියලා නමක් දානවා. ඒ විදිහට තමයි චරිතය ගලාගෙන ගියේ.


සඳ තරු මල් ටෙලි නාට්‍යය තුළ ඔබ වෙනම වූ චරිතයක් ඉදිරිපත් කරනවා නේද?


ඔව්. රවීන්ද්‍ර විජේරත්න මහතා අධ්‍යක්ෂණය, ප්‍රමිලා සුරංගි මහත්මිය නිෂ්පාදනය කළ සඳ තරු මල්හි මගේ චරිතය “අන්දු" නම් සිකියුරිටි චරිතයක්. මෙය ලංකාවේ ලොකු පවුල්වල ළමයි ඉන්න හොස්ටල් එකක් වටා ගෙතුණු කතාවක්. අන්දු කියන්නේ ළමයිව ආදරෙන් බලාගන්න, විනෝදයෙන් කාලය ගෙවන අහිංසක චරිතයක්. අන්දු පිටුපස දුක හිතෙන විශාල කතාන්දරයක් තිබුණත් ඔහු නිතරම හිනාවෙලා ඉන්න උත්සාහ කරන කෙනෙක්.


"අමාලියා” හි චින්තන ගැන යමක් කිව්වොත්?

ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ අධ්‍යක්ෂණය සහ අර්ජුන් කමලනාත් මහතාගේ නිෂ්පාදනයක් වන අමාලියාහි “චින්තන" එක් පැත්තකින් අහිංසක වුවත් තවත් පැත්තකින් කපටියි. ජීවිතය ඉදිරියට ගොඩනඟා ගැනීමට මුදල් හොයන්නේ කොහොමද කියන එක තුළ තමයි ඔහු නිතරම ජීවත් වුණේ. පසුකාලීනව අමාලියා කියන තරුණියට ආදරය කිරීමත් එක්ක ඇති වන ගැටලුවලට මුහුණ දෙන ආකාරයත් සමඟයි කතාව ගලාගෙන යන්නේ.


සිරස ෆිල්ම් ස්ටාර් තරගය ජයගැනීමත් සමඟ ඔබ හට රංගන වරම් හිමි වුණා කීවොත් නිවැරදියි නේද?


රංගන ශිල්පියෙක් ලෙස ක්‍ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිවුණේ සිරස ෆිල්ම් ස්ටර් හරහායි. නමුත් ඊට පෙර සිටම මම කැමරාවෙන් පිටුපස සිට වේශ නිරූපණය සහ ඇඳුම් නිර්මාණය, සහාය අධ්‍යක්ෂණය වගේ ගොඩක් දේවල් කළා. ඒ තුළ රංගනය පිළිබඳව අවබෝධය තිබුණා. නමුත් රංගනය තේල්සියෙන් කළ නොහැකියි. එමෙන්ම සිරස ෆිල්ම ස්ටාර් කියන්නේ ලෝක විශ්වවිද්‍යාලයක රංගන පිළිබඳව හදාරන්න ලැබුණා හා සමාන අත්දැකීමක්. ඒ තුළ ඉගෙන ගන්න  දේවල් ගොඩක් තිබුණා. එවැනි තරගයක කිරුළ හිමිවීම මා නොසිතූ දෙයක්. ඒ පිළිබඳව අදටත් මම සිරස නාළිකාවට  ගරු කරනවා. 

එයින් ලැබුණු පන්නරය මගේ රංගන කටයුතුවලට ලොකු ශක්තියක් වුණා.


රංගන ශිල්පියකුට හැදෑරීමක් කියන දේ අවශ්‍ය යැයි ඔබ සිතනවාද?

රැඳී නොසිටියත්, ක්ෂේත්‍රයට අඩිය තියන්නත් හැදෑරීමක් අවශ්‍යයි කියලා මම හිතනවා. මම හඟුරන්කෙත වැනි අැත ගමකින් ආව කෙනෙක්. කොළඹට ඇවිල්ලා අද මේ වගේ තැනක ඉන්න අවස්ථාව ලැබුණේ හැදෑරීමක් තිබුණු නිසයි. මවු-පිය උරුමයෙන් රංගන වරම් ලබා ගත්තත් හැදෑරීමක් අවශ්‍යයි. නැතිනම් ඒ අයට පැවැත්මක් නැහැ. එනිසා රංගනයට පැමිණෙන්න විතරක් නෙමෙයි පැවැත්මට පවා හැදෑරීම ඉවහල් වෙනවා.


පවුලේ විස්තර?

මගේ පාසල හඟුරන්කෙත දියතිලක මධ්‍ය මහා විද්‍යාලය. එහිදී මම 1 ශ්‍රේණියේ සිට 13 වසර වන තෙක් පාසල් අධ්‍යාපනය හැදෑරුවා. මගේ පවුලේ අම්මා, අප්පච්චි, නංගි විතරයි ඉන්නේ. අම්මා - අප්පච්චි ගොවිතැන් කටයුතු කරන  අය.


කලාවට සම්බන්ධ වුණේ කොහොමද?

මම 2013 අවුරුද්දි කොළඹට එන්නේ ජපන් යෑමට සහ ඒ පිළිබඳව ඉගෙන ගැනීම සඳහා. පසුව මම කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරා මහරගම තරුණ සේවා සභාවේ නාට්‍යය හා රංගකලා පාසල් ශිෂ්‍යයෙක් බවටත් පත්වෙනවා. වේදිකා නාට්‍ය, විදි නාට්‍යය කරමින් අවුරුදු 3ක් විතර ගත කරනවා. ඉන් අනතුරුව සහාය අධ්‍යක්‍ෂවරයෙක් විදියටත් වැඩ කරනවා. කෙසේ නමුත් නළුවෙක් විදිහට ක්ෂේත්‍රයට අඩිය තියන්නේ 2018 අවුරුද්දෙන් පසුවයි.


ඒ කාලය තුළදී ලද අත්දැකීම් ටෙලි නාට්‍යය තුළ සාර්ථක ගමනක් යෑමට ඉවහල් වුණා කියලා ඔබ සිතනවාද?

අනිවාර්යයෙන්ම ඔව්. වේදිකාව සහ විදි නාට්‍යය හරිම අමුතු දෙයක්. එහිදී අපි ගොඩක් කැපකිරීම් කළා. විවිධ චරිත  හොයන්න පටන් ගත්තා. හඬ පාලනය කරන විදිහ ගැන පවා ලොකු පුහුණුවක් ලබා ගත්තා. විදි නාට්‍යය කරන කාලෙදි පාරේ ඉන්න මිනිසුන්ගෙන් පවා දේවල් ඉගෙන ගත්තා. ඒ තුළත් අමුතු රහක් තියෙනවා. පසුකාලීනව එම අත්දැකීම් අපේ රංගනය සඳහා යොදා ගැනීමට අවස්ථාව ලැබුණා.


ඔබ විවිධත්වයක් සහිත චරිත තෝරා ගන්නා කෙනෙක්ද?

මෙහෙමයි. මම ක්‍ෂේත්‍රයට ආව මුල් කාලෙදි අමුතු රසිකයාහි “සඳනාර" නම් ප්‍රධාන චරිතය රඟපෑවා. එයත් මට අභියෝගයක් වුණා. ඉතින් ඉදිරියටත් විවිධ චරිත කරන්න කැමැතැයි සහ ලැබෙන ඕනෑම ආකාරයක චරිතයක් භාර ගන්න සූදානම්.


දිනූෂා මනෝරි නිශ්ශංක