මේ දවස්වල චිත්‍රපටයකට අත්තිවාරම දමමින් ඉන්නවා - පැතුම් රුක්ෂාන්

Friday, January 22, 2021 , 0 Comments





නිරූපණ ශිල්පියෙක් ලෙස තම කලා ගමන ඇරැඹූ ඔහු මේ වෙද්දී රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් සහ ව්‍යවසායකයෙක්. පසු ගිය  දිනවල සිරස නාළිකාවේ විකාශය වූ '  සල් ආරාමය' ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඔහු නමින් පැතුම් රුක්ෂාන්. ඔහුගේ කලා කටයුතු පිළිබඳ  ඔහු පුවත්පතකට මෙලෙස විස්තර පවසා තිබුනා.


මේ දවස්වල කොහොමද වැඩකටයුතු?

කොරෝනා නිසා පරිස්සමෙන්, අවධානයෙන් වැඩකටයුතු ටික කරගෙන යනවා. සැලෝන් එකේ වැඩකටයුතුත් සෞඛ්‍ය උපදෙස්වලට අනුව කරගෙන යනවා.  එවගේම මේ දවස් වල හිරු නාළිකාවේ ' දාන්න පහක්' වැඩසටහනටත් සම්බන්ධ වෙලා ඉන්නවා. 


පැතුම් කලා ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපණ ශිල්පියෙක් විධියට. රංගනයට එන්න බලාපොරොත්තුවක් ඒ වෙනකොටත් තිබුණද?

මගේ ගම කුරුණෑගල. එක පාරටම රඟපාන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද ත්‍රයේ අය සමඟ හැඳුනුම්කම් තිබුණෙත් නැහැ. රංගනයට පිවිසෙන්න බලාපොරොත්තුවක් ඇතිව තමයි මම නිරූපණ ශිල්පියෙක් ලෙස මූලික අඩිතාලම දාන්න තීරණය කළේ.


නිරූපණ ශිල්පියෙක් ලෙස පටන් ගත්ත ගමන පිළිබඳව මොකද හිතෙන්නේ?

මට ලැබුණු අවස්ථාව පිළිබඳව සතුටුයි. ලංකාවේ ජනප්‍රිය නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාවක් හිමිවුණා. ඒ වෙනුවෙන් සම්මානත් ලැබුණා. ඒ වගේම මගේ සැලෝන් එක පටන් ගන්නත් පුළුවන් වුණා. මම නිරූපණ  ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කලින් පොලිස් දෙපාර්තමේන්තුවේ ටික කාලයක් වැඩ කළා. ඉන් අනතුරුව රූපලාවණ්‍ය පාඨමාලාවන් කිහිපයක් හැදෑරුවා. ඒ අතරතුර තමයි මම නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මම රංගනයට සම්බන්ධ නොවුණත් සැලෝන් එකක් පටන් ගන්න අදහසක් තිබුණා. රංගන කටයුතුත් සමහ සැලෝන් එක ඉක්මනින් පටන් ගන්න පුළුවන් වුණා. බලාපොරොත්තු වුණාටත් වඩා හොඳට වැඩටික කරගන්න පුළුවන් වුණා.


කොරෝනා වසංගතය නිසා ව්‍යාපාරයට යම් බලපෑමක් එල්ල වෙන්න ඇති. මේ වෙද්දී ව්‍යාපාරය සාමාන්‍ය තත්වයට පත්වෙලාද?

දැන් තරමක් සාමාන්‍ය තත්වයට පත්වෙලා තියෙන්නේ. නමුත් කොරෝනා වසංගතය තවමත් අවසන් වෙලා නැති නිසා සෞඛ්‍ය නීතිවලට අවනත වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. මෙය ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගෙන යන සැලෝන් එකක්. එනිසා කිසිම කෙනෙක් භාවිත කරන නිෂ්පාදන පිළිබඳව ගැටලුවක් ඇති කර ගත යුතු නැහැ. සැලෝන් එකේ වැඩ කරන්නේ දක්ෂ සහ සුදුසුකම් සහිත රූපලාවණ්‍ය ශිල්පීන් පිරිසක්. ලස්සන වෙන්න කැමැති හැමෝටම සැලෝන් එක විවෘතයි.


සමාජ මාධ්‍ය අවභාවිතය පිළිබඳව පැතුගේ අදහස මොකක්ද?

සමාජ මාධ්‍ය කියන්නේ ඇත්තටම හොඳ දෙයක්. ඒ දේවල් හැමෝම භාවිත කළ යුතුයි. කතාවකුත් තියෙනවානේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. ඒ නිසා සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිත කළ යුතුයි. අවශ්‍ය දේවල් විතරක් ලබා ගෙන අනවශ්‍ය දේවල් බැහැර කළ යුතුයි. පසුගිය දවසක එක්තරා මාධ්‍යක පළ කරලා තිබුණා මට කොරෝනා පොසිටිව් වෙලා කියලා. මම ඇත්තටම කලකිරුණා. ඒ වගේ දෙයක් ප්‍රචාරය වීම මගේ ව්‍යපාරයට, රංගන කටයුතුවලට, නිවේදන කටයුතුවලට යම් බලපෑමක් එල්ල වෙනවා. ඒක ඇත්තටම හරිම වැරදියි.


වෘත්තියක් විධියට නිවේදන කටයුතුවලට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි?

නිවේදනය කියන්නේ එක් රාමුවකට පමණක් කොටුවුණු දෙයක් නෙවෙයි. නිවේදනය කිරීම ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා යම් පරිශිලනයක් අවශ්‍ය වෙනවා. දැනුවත්භාවයක් අවශ්‍ය වෙනවා. එදිනෙදා සිදුවීම් ගැන අවධානයෙන් ඉන්න වෙනවා. දැනුවත්භාවය කියන දේ හැම දේකටම වැදගත්. මම දෙරණ නාළිකව හරහා තමයි මුලින්ම නිවේදනයට සම්බන්ධ වුණේ. ඉන් අනතුරුව තමයි හිරු නාළිකාව සමග සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.


මුල්ම රංගනය පිළිබඳව කතා කළොත්?

මම මුලින්ම රංගනයට පිවිසුණේ සශිකා නිසංසලාගේ "හුස්මක් දුරින්" කියන ගීතය හරහා. ඉන් අනතුරුව තමයි සාන්ත සොයිසා මහතාගේ 'සදා' ටෙලි නිර්මාණයේ කෙනෙක්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් ලැබුණේ. ඒ වෙනුවෙන් 2012 වසරේදි රයිගම් ටෙලි සම්මාන උළේලේ නැගී එන නළුවා සම්මානය ලැබුණා. එම චරිතයට ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම සතුටුයි. ඒ වගේ ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක් සමග මගේ පළමු රංගන අත්දැකීම ලබා ගැනීමට හැකිවීම වෙනුවෙන්.


මොනවද ඉදිරි සැලසුම් ?

මේ දවස්වල චිත්‍රපටයකට අත්තිවාරම දමමින් ඉන්නවා. ඉදිරියට විස්තර දැනගන්න පුළුවන් වෙයි. මේ දවස් වල රංගනයෙන් තරමක් ඇත්වෙලා ඉන්නේ. සැලෝන් එකේ වැඩකටයුතුවලට තමයි වැඩිපුර කාලය යොදවනේ. සැලෝන් එක පටන් අරන් තවම ලොකු කාලයක් නැහැ. සැලෝන් එක තව වැඩිදියුණු කිරීම වෙනුවෙන් කාලය වැය කරනවා. වැඩදායී දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.


අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?

මේ ගතවෙන්නේ අවදානම් කාලයක්. හැමෝම පරිස්සම් වෙලා වැඩකටයුතු කරන්න. මේක සියලුදෙනාටම අමාරු කාලයක් කල්පනාවෙන්, ආරක්ෂිතව වැඩකටයුතු කරන්න. කිසිම හේතුවක් නැතිව මනුස්සයෙක්ව වට්ටන්න හදන්න එපා. හැමෝම එකතු වෙලා මේ තත්වය අවම කරගන්න දායක වීමයි කළ යුත්තේ.


නිකේෂලා රණතුංග