ඉන්දියාව නිෂ්පාදනය කරන කොවිඩ් එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක්

Thursday, January 07, 2021 0 Comments

 


කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඉන්දියාව නිෂ්පාදනය කරන ලද එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දෙන බව ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ සබඳතා ඇමති ආචාර්ය එස්. ජයිශංකර් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවසා ඇත.

එමෙන්ම කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත, ප්‍රතිකාර අවශ්‍යතාව නිවැරදිව ඇස්තමේන්තු කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ලබා ගැනීමට කැමැත්තෙන් පසුවන බව ද මෙහිදී ගොඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත. මීට අමතරව ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උපරිම වන අයුරින් වර්ධනය කිරීමටද ජනාධිපතිතුමා සහ ඉන්දීය ඇමතිවරයා මෙහිදී එකඟත්වය පළ කර ඇත.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, LNG (ද්‍රව, ස්වභාවික වායු ) බලාගාර ව්‍යාපෘතිය, නිවාස හා මාර්ග ඉදිකිරීම, කෘෂිකාර්මික සංවර්ධනය සහ පර්යේෂණ, සන්නිවේදන තාක්ෂණය, විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය, සංචාරක ව්‍යාපාරය ආදී ඉන්දීය සහභාගීත්වය සහිත තවත් ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳවද මෙම අවස්ථාවේදී සාකච්ඡාවට බඳුන් විය. 

මීට අමතරව සංචාරක ව්‍යාපාරයේ පුනරුදය පිණිස ගත හැකි නව ක්‍රියාමාර්ග තීරණය කිරීමේ අරමුණු ඇතිව ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින හා නේපාලය එක්ව හැකි ඉක්මණින් සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය කොට ඇත.