හැමදාම අපි කැවේ වවාගෙන - දූලීකා මාරපන

Thursday, January 07, 2021 , 0 Comments




තමාටම ආවේණික වූ රංගන පෞර්ශයෙන් වේදිකාව, සිනමාව, රූපවාහිනිය එක ලෙස ජයගත් දුලීකා මාරපන  ශ්‍රී ලාංකීය රංග කලාව තුළ ශක්තිමත් නොමැකෙන නාමයක් තබා ඇති බව නොඅනුමානය. ඇය ඇගේ අලුත් තොරතුරු ගැන පුවත්පතකට පවසා තිබුනේ මේ ලෙසයි.

 

මේ දවස්වල මොකද වෙන්නේ? 

අලුත්ම වැඩකට අත ගහලා ඉන්නේ.


ඒ මොකද්ද අලුත් වැඩේ?

මම බොහෝ කාලයක ඉඳලා කේක් පින්තාරු කලාව ගැන හැදෑරීමක් කළා. කේක් පින්තාරු කලාව ලංකාවට ආගන්තුකයි. යුරෝපය, එංගලන්තය වගේ රටවල ඉතාම සාර්ථකව කෙරෙන මෙම කලාව ගැන මම උගතේ යුරෝපියානු අති දක්ෂ කේක් පින්තාරු කලාව උගන්වන ගුරුවරියකගෙන්. ඇය ජූඩී. ඇත්තටම මට අවශ්‍ය මම උගත් දෙයට අලුත් යමක් එකතු කරලා අලුත්ම ආරකින් කේක් පින්තාරු කලාව රටට හඳුන්වා දෙන්න. ඒ ගැන උගන්වන්න ලොකු ආසාවක් හිතේ තියෙනවා. ඒකට අදාළ සියලු වැඩ දැන් කෙරෙනවා. 


කොච්චර කාර්යබහුල වුණත් රසට උයන්නත් පුළුවන් නේද?

අම්මෝ ඔව්... මං පුංචි කාලෙ ඉඳලාම ඕනෑම කෑමක් හරීම රසට හදනවා.


 ඒක උපතින්ම ලැබුණ හැකියාවක් ද නැත්තම් අත් ගුණය ද?

 මම හිතන්නේ ඕනෑම කෑමක් රස වෙන්නේ ඒකට දාන තුනපහ ප්‍රමාණයයි ඒක පිසෙන්න ගත වෙන කාලයයි කියලා. කොහොමටත් මම මගේ කාර්යබහුලත්වයත් එක්ක උයන පිහන කටයුතුවලට විනාඩි 20-25 කට වඩා කාලයක් නම් ගත කරන්නේ නෑ. බතයි, මාළුවයි (ව්‍යංජනයක්) හැදුවත් හරිම රසට කනවා. මම වැඩිපුරම කරන්නේ එළවළු කිහිපයක් එකට දාලා කැමති නම් මස් එහෙමත් ඒකට එකතු කරලා එක ව්‍යංජනයක් හදා ගන්නවා. ඕකට ගෙවත්තේ මම වගා කරලා තියෙන පලා කොළ මිටකුත් දානවා.

පෝෂණයෙන් ඉහළ තෙල් මිරිස් අඩුවෙන් යෙදූ රසවත් ගුණවත් ආහාරයක් හදා ගන්නේ ඔය විදිහට. 


උයන්න ගන්න එළවළු, හාල් මිල දී ගැනීමේ දී සැලකිලිමත් ද? 

ඔව්. මම කොළඹ හිටියත් මට අවශ්‍ය එළවළු, තක්කාලි, අමුමිරිස්, කහ ඉගුරු පවා ගෙවත්තේ වගා කරලා තියෙනේ. රාජ අලේ ඉං අලේ ඉඳලා ගෙදර තියෙනවා. ඉතුරු හැමදේම කෑගල්ල මගේ ගමෙන් ගේනවා. යූරියා ඇටයක්වත් දාන්නේ නැතුව වගා කරපු බත් ටිකක් කන්න පුංචි කාලේ ඉඳලාම මට වාසනාව ලැබි තියෙනවා. බඩඉරිගු කරල, ගොරකා, සියඹලා ටික ද හේනේ වැවෙන හැම එළවළුවක්ම පළතුරක්ම අදටත් මට මේ විදිහට ගෙදරින් ලැබෙනවා. ඒ නිසා ඉතින් ගන්න එළවළු පළතුරු වස විස නැතුව කන්න වාසනාවක් ලැබිලා තියෙනවා.


තමන්ගේම අතින් හිටවපු ගස්වල ඵල නෙලාගෙන කනකොට ලොකු සතුටක් දැනෙනවා ද?

 හැමදාම කෑවේ වවාගෙන නිසා අමුතු හැඟීමක් නෑ. නමුත් හැම නිමේෂයකදිම හිතෙනවා අපි මේ ස්වභාව දහමට ආදරය කළොත් ස්වභාව දහමත් අපිට පෙරලා හොඳම දේවල් දෙනවා කියලා. 


සුජීව අයියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද? 

සාම්ප්‍රදායික රාමුව තුළ අපේ අම්මා, අම්මාගේ අම්මා කුස්සියේ හිටපු විදිහට කාර්යබහුලත්වයක් එක්ක මට ඉන්න බැරි වෙලා තියෙනවා. නමුත් නිවසේ ඉන්න හැම වෙලාවකම මුළුතැන්ගෙයි කටයුතු ඉහුම් පිහුම් කටයුතු මගෙන් වෙනවා. සමහර වෙලාවට ෂුටින් යන්න තියෙනවා නම් කෑම ටික උයලා මම ෂුටින් යනවා. කුස්සිය අස්කරන්නේ සුජීව. ඒවගේ සහයෝගයක්, අවබෝධයක් තියෙන නිසාත් මම හදලා දෙන ඕනෑම කෑමක් සතුටින් කන නිසාත් ඇත්තටම සුජීවගෙන් මට ලැබෙන්නේ ලොකු සහයෝගයක්.


මොනවගේ කෑම ද සුජීව අයියා වැඩිපුර කන්න කැමැති? 

අපි දෙන්නාම මිරිස් කන්නේ අඩුවෙන්. කෑමවලට තෙල් දාන්නේ හරිම අඩුවෙන්. පිඟාන් පිරෙන්න බත් කන්නෙත් නෑ. අනික තමයි සුජීව මම හදලා දෙන ඕනෑම කෑමක් සතුටින් කනවා. 


උයන එක වදයක් වෙලා නැද්ද? 

උයනවා කියන එක කලාවක්. මම රඟපාන දේ මම රස විඳිනවා වගේම සතුටින් කරනවා වගේම පුංචි වෙලාවක් අරං හදන එක ව්‍යංජනය පවා මම හදන්නේ විඳිමින්. සතුටින්. ඒක මාර හැඟීමක්. අනිත් දේ තමයි උයන්න කලින් අපි සැලසුම් කරනවා නම් අද මම හදන්නේ මේ එක හදන්නේ තෙලට ද මිරිසට ද කිරට ද කියන එක. මේක ඇතුළේ අපි දන්නෙම නැතුව රසය වගේම ගුණය පිරිච්ච කෑමක් එළියට එනවා.


කුස්සියේ කෑම බීම හදද්දී ඇඟ ගැන හිතනවද? 

රංගන ශිල්පිනියක් වුණා කියලා මම කවදාවත් මගේ ඇඟ ගැනවත්, හම ගැනවත් හිතන්න කාලය වෙන් කරලා නැහැ. ඒත් නිරෝගිකම ආරක්ෂා කර ගන්න පුළුවන් හැම වෙලාවකම වස විස නැති කෑම බිම ආහාරයට ගන්න උනන්දු වෙනවා. 


උයන කොට උදව්වට එන්නේ කවුද? 

කඩිසරව, කාර්යක්ෂම උයන්න පිහන්න මට පුළුවන්. නමුත් නිතරම ගෙදර නොරැදෙන නිසා මගේ කුසියේ වැඩට අම්මා කෙනෙක් ඉන්නවා. මම උයන දවසට ඒ අම්මා කුස්සිය අස්කරනවා. මම ගෙදර නැති දාට ඇය උයලා කුස්සියත් අස්කරලා ඔක්කොම කරනවා. 


කුස්සියේ ඉද්දි වැඩිපුර වතුර බොනවාද? 

වතුර කොහොමත් නිතර බොනවා. ඊට අමතරව මම පොල්වතුර බොන්න හරිම ආසයි. තැඹිලි, කුරුම්බා ඒ වගේ දේවල් නිතර ගන්නවා. හැමදාම උදේ ගන්නේ එළකිරි. අපි පිටිකිරි බොනෑ. අපි දෙන්නාම ගෙදර විවේකව ඉන්නවා නම් කෝපි එකක් හදාගෙන බොනවා. කෝපි නම් බොන්න අපි දෙන්නම හරිම ආසයි.


උයන වෙලාවට ටී.වී. බලන්න හරි රේඩියෝ අහන්න හරී පුරුද්දක් නැද්ද? 

අපෝ නෑ. උයන වෙලාවේ චැනල් අල්ල අල්ල රේඩියෝ අහන්න ගියොත් උයන්න වෙන්නෑ. ටී.වී. බලන එක නම් ඉතිං කොහොමත් කරන්න වෙන්නේ නෑනේ. උයන වෙලාවට සතුටින් ඒක ගැනම හිත යොදවලා වැඩ කරනකොට ඒකේ මහා අමුතු දෙයක් තියෙනවා. 


මුළු තැන්ගෙයි ක්ෂණිකව භාවිත කරන්න පුළුවන් බඩු නිතර භාවිතා කරනවාද? 

නෑ. වංගෙඩිය, මෝල්ගහ, මිරිස්ගල, හිරමනේ අපේ අත්වලට හරිම හුරුයි. මොන තරම් කාර්යබහුල වුණත් කවදාවත් මම පොල් කිරි පැකටි අරං කෑම එකට හලන්නෑ. පොල් බිඳලා ගාලා අතින් මිරිකලා තමයි කෑම හදන්නේ. පොල් බ්ලෙන්ඩර් කරලවත් ගන්න මට ආස නෑ. අපේකම අමතක කරලා ක්ෂණික වෙන්න ගිහින් නිකං ලෙඩ දාගන්න ඕනේ නෑනේ.