කුරුළු උණ හේතුවෙන් ඉන්දියාවේ පක්ෂීන් රැසක් මිය යයි

Thursday, January 07, 2021 0 Comments

 


ඉන්දියාවේ  'කුරුළු උණ' රෝගය පැතිර යමින් පවතින බව සනාථ වීමත් සමඟ මාංශ සඳහා ඇතිකරන පක්ෂීන් දහස් ගණනක් මරා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම H5N8 වෛරස් මාදිලියේ ව්‍යාප්තියත් සමඟ පසුගිය සතිය පුරා එරට පක්ෂීන් විශාල ප්‍රමාණයක් මරණයට පතව තිබේ.  එබැවින් මෙහි ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා  "හදිසි පියවර" ගන්නා ලෙස ඉන්දීය මධ්‍යම ආණ්ඩුව අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබේ.

කුරුළු උණ ඇතිකරවන බොහෝ වෛරස් මාදිලි මිනිස් සිරුරට අඩු අවදානමක් සහිත නමුත් මරණයට පත් වූ හෝ රෝගී තත්වයේ පසුවන පක්ෂීන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසට ජනතාවට උපදෙස් ලබා දීමක්ද සිදුකර තිබේ.

දැනට මෙම වෛරසය තාරාවන්, කපුටන් සහ පාත්තයන් අතර සීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින අතර තවත් පක්ෂි වර්ග බොහොමයකට ද මෙය ආසාදනය වී ඇති බව සොයා ගෙන ඇත. එමෙන්ම ඉන් සංක්‍රමණික පක්ෂීන් 2,400ක් පමණ මරණයට පත්ව ඇති බවද වාර්තා වේ.

කෙසේ වුවද ඉන්දියාවේ ප්‍රාන්ත විශාල ප්‍රමාණයක මෙම කුරුළු උණ හේතුවෙන් පක්ෂීන් රැසක් මරණයට පත්වෙමින් තිබෙන බැවින් මේ පිළිබඳව එම සියලුම ප්‍රාන්ත වැසියන්ට අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇත.