ඕස්ට්‍රේලියාවේ බොක්සිං ඩේ ටෙස්ට් තරගය නැරඹූ අයෙකුට කොරෝනා

Thursday, January 07, 2021 0 Comments


ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පසුගිය දෙසැම්බර් 26 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

අදාල ආසාදිත පුද්ගලයා ක්‍රීඩාංගනයේ අංක 05 කලාපයේ සිට තරගය නරඹා ඇති බව මෙල්බර්න් ක්‍රිකට් සමාජය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. මෙම පුද්ගලයා තරගයේ දෙවැනි දිනය වූ දෙසැම්බර් 27 වැනිදා තරගය නැරඹීමට පැමිණ ඇති අතර එදින පස්වරු 12.30 - 3.30 අතර කාලයේදී ඔහු තරගය නරඹා තිබේ.

මේ වනවිට ඕස්ට්‍රේලියානු බළධාරීන් අදාල කලාපයේ තරගය නැරඹමින් සිටි පුද්ගලයන් හඳුනා ගනිමින් සිටින අතර ඔවුන්ට කෝවිඩ් වැළඳීමේ අවදානමක් ඇති බව ජංගම දුරකතන ඔස්සේ දැනුම් දීමට කටයුතු කර තිබේ.

මෙම තත්වය මත හෙට දිනයේදී ආරම්භ වීමට නියමිත ඉන්දු-ඕස්ට්‍රේලියා තෙවැනි ටෙස්ට් තරගයට දැඩි නීති-රීති ප්‍රමාණයක් පමුණුවා ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව තරගය පැවැත්වෙන සිඩ්නි ක්‍රීඩාංගනයට ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 25% ක් පමණක් පිරවීමට බළධාරීන් තීරණය කර ඇති අතර මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇත.

ලොව රටවල් කිහිපයක මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආරම්භ වී ඇති අතර ඇතැම් රටවල් තරග පවත්වන්නේ කිසිදු ප්‍රේක්ෂකයෙකු නොමැතිවයි. කෙසේ නමුත් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සිය ක්‍රීඩාංගන ප්‍රේක්ෂකයන් සඳහා විවෘත කර ඇති නමුත් මුව ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ආදී අනිවාර්ය සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය නොකරන බවද දක්නට තිබේ. නමුත් මේ සිදුවීමත් සමග නැවතත් එම ක්‍රියාමාර්ග කෙරෙහි ලොව පුරා ක්‍රිකට් බළධාරීන්ගේ අවධානය යොමුව ඇත.