මම කැමැති නෑ පැල්බැඳගෙන මෙගා කරන්න - බුද්ධික ලොකුකැටිය

Thursday, January 21, 2021 , 0 Comments




වර්තමාන සමාජයේ වැළලී යන හෙළ වෙදකම, අංගම්පොර සටන් කලාව මූලාශ්‍රකර ගනිමින් නිර්මාණයකට නැඟුණු ‘පුළිඟු’ ටෙලිනාට්‍ය පසුගියදා නිමාවට පත්විය. දේශීය ටෙලිනාට්‍ය කලාවට යම් ප්‍රවණතාවක් දීමට රංගන ශිල්පී බුද්ධික ලොකුකැටිය අධ්‍යක්‍ෂණය කළ ඒ කුලුඳුල් නිර්මාණය ‘පුළිඟු’ වර්තමාන මෙගා ටෙලිනාට්‍ය නිර්මාණකරුවන්ට ආදර්ශයක් විය. ඉතිං ඔහුගේ අලුත් විස්තර ගැන පුවත්පතකට ඔහු මෙලෙස පවසා තිබුනා



ඔබ නිර්මාණය කළ කුලුඳුල් ටෙලි සිතුවම පසුගියදා නිමාවට පත්වුණා. ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබුණේ මොනවගේ ප්‍රතිචාරයක්ද?

ගොඩදෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර තමයි ‘පුළිඟු’ ටෙලිනාට්‍යයට ලැබුණේ. ගොඩදෙනෙක් පැවැසුවා තවදුරටත් ‘පුළිඟු’ කරගෙන යන්න තිබ්බානේ කියලා. ඒත් මම කැමැති වුණේ නැහැ මෙගා ටෙලිනාට්‍යයක් විදියට පැල්බැඳගෙන ‘පුළිඟු’ කරගෙන යෑමට. ටෙලිනාට්‍ය තවදුරට කරගෙන යෑමට තිබුණත් මම හිතුවා නතර කළයුතු සුදුසුම කාලය දැන් තමයි කියලා. උසස් රසවින්දනයකින් අපේ උරුමය මූලාශ්‍රය කරමින් ප්‍රේක්‍ෂකයන්ට එය රසවිඳීමට ඉඩලබා දීමයි මගේ අරමුණ වුණේ.


 ඇයි ඔබ නාගරික පරිසරයෙන් මිදිලා ග්‍රාමීය කතාවක් නිර්මාණය කිරීමට හිතුවේ?

මමත් ගමේ කොල්ලෙක්. අද අපි දකින ටෙලිනාට්‍යවල බහුතරයක්ම නිර්මාණය වෙන්නේ නාගරික කතාවන්. එවැනි නිර්මාණ කිරීමට ඕනෑ තරම් නිර්මාණකරුවන් ඉන්නවා. මම කරපු පළමු නිර්මාණය අපේ සංස්කෘතියට ගැළපෙන, අපේ හෙළ වෙදකම මූලාශ්‍ර කරගෙන ප්‍රචලිත කතා සිද්ධීන් කිහිපයක් සම්බන්ධ කරගෙන ගමේ කතාවක් කරන්න තමයි මගේ ආශාවක් තිබුණේ.


අධ්‍යක්‍ෂණය වගේම තවත් පැත්තකින් ‘පුළිඟු’ ටෙලිනාට්‍ය නිෂ්පාදනය පැත්තෙනුත්, ඔබ දායකත්වය සපයනවා. ලාභ ඉපැයීමටද ඔබ නිෂ්පාදනයට සම්බන්ධ වුණේ?

නිර්මාණයක් අධ්‍යක්‍ෂණය කරමින් එය නිෂ්පාදනය පැත්තෙනුත් තවත් පැත්තකින් මම ‘පුළිඟු’ ටෙලිනාට්‍යයේ සුවිශේෂී චරිතයක් නිරූපණය කරනවා. මේ සියල්ලම මට අභියෝගයක්. ‘පුළිඟු’ ටෙලිනාට්‍යයෙන් මට කිසිම ලාබයක් නැහැ. නමුත් ආත්ම තෘප්තියක් තිබෙනවා. මට එය මුදලට වඩා වටිනවා. ගොඩ ඉඳලා පීනන්න බෑ. ඉතින් මමත් වතුරට බැහැලම බැලුවා. මගේ සුජාත දරුවා ලෝකවාසීන්ට රස විඳීමට ඉඩකඩ සලසා දුන් ස්වාධීන රූපවාහිනිය ඇතුළු සියලුම අංශවලට මම ස්තුතිය පුදකරනවා.


අධ්‍යක්‍ෂණ කරමින් ඒ තුළම චරිත ජීවමාන කිරීමත් අසීරු කර්තව්‍යයක් වන්නට ඇති?

නිර්මාණයක් කරනවා කියන්නේ පහසු කටයුත්තක් නෙවේ. ලොකු වගකීමක්. ‘පුළිඟු’ ටෙලිනාට්‍යයේ මම ‘පුංචිත්තා’ කියලා මෝඩ පහේ චරිතයක් කළා. හැබැයි මම හිතුවා ඒ චරිතය වුණත් විරූපී විදියට මිනිසුන්ට මාව අඳුරගන්න බැරිවෙන විදියට වෙනස්ම විදියේ චරිතයක් කරන්න. ‘පුළිඟු’ ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්‍ෂ නිශාන්ත ප්‍රදීප්ගෙන් වගේම සියලුම දෙනාගෙන් 100%ක සාර්ථක සහායක් ලැබුණා මට නිර්මාණය කරගෙන යෑමට. ඔවුන් දුන්න සහායත් එක්ක තමයි ‘පුළිඟු’ ටෙලිනාට්‍ය මේ තරම් සාර්ථක නිර්මාණයක් බවට පත්වුණේ.


 ‘පුංචිත්තා’ වෙනස් ස්වරූපයකට ගැනීමට මොනවගේ උත්සාහයක්ද ඔබ ගත්තේ?

‘පුංචිත්තා’ චරිතය මට වෙනස් අත්දැකීමක්. මම එවැනි චරිතයක් මෙයට පෙර කරලා නැහැ. බාහිර ස්වරූපය වෙනස් කළා වගේම මම එයට ගැළපෙන පරිදි දත් දෙපළක් හදාගත්තා. එය රඳවාගෙන කතා කිරීමට ලොකු අපහසුවක් දැනුණා. එය ටෙලිනාට්‍යයේ මුල් කොටස්වලදී ප්‍රේක්‍ෂකයන්ට දැනෙන්නට ඇති. පසුකාලීනව ටික ටික පුරුදු වුණා.


සම්මාන බලාගෙනද ඔබ ‘පුළිඟු’ නිර්මාණය කළේ?

සම්මානයක් ලැබෙනවා නම් සතුටුයි. ඒ වගේම නිර්දේශ නාමාවලියට හරි මගේ ටෙලිනාට්‍යයේ රඟපාපු ශිල්පියෙක්ගේ නමක් හරි සඳහන් වුණොත් එයත් සතුටක්. හැබැයි ඉතින් ඒ හැමදේටම වඩා අපි සියලුම දෙනාටම ජනතා සම්මානය ලැබුණා.


ඒ කාලයේ නළුවෙක් වෙන්න බලාගෙන කොළඹට ඇවිත් කාපු කට්ට එහෙම අමතක නැතුව ඇති?

ඒ ගෙවපු කටුක ජීවිතයේ සාර්ථක ප්‍රතිඵල තමයි දැන් අත්විඳින්නේ. ඒ කාලයේ මම ගම්පොළ ඉඳලා කොළඹ එනවා වේදිකා නාට්‍ය රඟපාන්න. ඇවිත් ඉතින් වේදිකාවේ හිටගෙන ඉඳලා රෑ දෙගොඩ හරියේ යන්න බස් නැතුව මම අනන්තවත් පන්සල්වල, හන්දිවල නිදාගෙන පහුවදා තමයි යන්නේ. එහෙම දුක්විඳින නළුවෝ දැන් දකින්නවත් නැහැ. අද ඉන්න අයට ටෙලිනාට්‍යයක දෙබසක් කියන්න නැතිනම් රඟපාන්නවත් එන්නේ නැහැ.


මේ දවස්වල ඔබේ නිර්මාණ කටයුතු කොයිවගේද?

මේ දවස්වල නෑනලා ටෙලිනාට්‍ය නිෂ්පාදන කටයුතු වගේම රංගනයෙන් සම්බන්ධ වෙනවා. අලුත් ටෙලිනාට්‍යයක් කිරීමට සැලැසුම් කරගෙන යනවා.


ඔබ නිර්මාණය කළ පිහාටු ටෙලිනාට්‍ය ගැනකතා කළොත්?

එය ගැන මම දැන්ම කතා කරන්න කැමැති නැහැ. යෞවනත්වයේ සුන්දරත්වය සමඟ ආදරය ගැන තමයි පිහාටු තුළ කතා කරන්නේ. අලුත්ම පිරිසක් සමඟ තමයි මම පිහාටු නිර්මාණය කළේ.


වසන්ත විතාරණගේ