මට නොගැළපෙන චරිත තිබුණොත් මම සම්බන්ධ වෙන්නේ නැහැ - උදාරි පෙරේරා

Monday, January 11, 2021 , 0 Comments

 



ටෙලිනාට්‍ය නිළියන් අතර කැපීපෙනෙන තවත් රංගන ශිල්පිනියක් විදියට උදාරි පෙරේරා හඳුන්වන්නට පුළුවන්. කාලෙන් කාලෙට විවිධ භූමිකා හරහා අප අතරට එන ඇය මෑත කාලේ නිර්මාණවල දැකගන්නට ලැබුණේ නැහැ. ඇය මේ දවස්වල මොකද කරන්නේ කියලා පුවත්පතකට පවසා තිබුනේ මේ ලෙසයි.


උදාරි නව වසරේ ආරම්භයත් සමඟ වැඩකටයුතු කොහොමද?

නව වසරෙත් හොඳ නිර්මාණ කිහිපයකට ආරාධනා ලාබුණා. ඒ නිර්මාණ කටයුතු පටන් ගත්තට පස්සෙ ඒවාට සම්බන්ධ වෙන්න තමයි බලාපොරොත්තුව. එයට අමතරව මම සම්බන්ධ වුණු ‘මිස් ජෙනිස්’ චිත්‍රපටය නැවැත තිරගත වෙනතුරු ආසාවෙන් බලාගෙන ඉන්නවා.


කාලෙකට පස්සේ ඔබ සම්බන්ධ වුණු චිත්‍රපටයක් තිරගත වුණා. එයින් ඔබට ලැබුණු ප්‍රතිචාර ගැන කතා කළොත්?

මිස් ජෙනිස්’ චිත්‍රපටය  ප්‍රේක්‍ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් වුණා . මට විතරක් නෙවේ ‘මිස් ජෙනිස්’ චිත්‍රපටයටදත් හොඳ ප්‍රතිචාර තිබුණා. ඒත් කොරෝනා වසංගතය නිසා සියලුම සිනමා ශාලාවන් වසා දැමුවා. සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයින්  අඩුවුණු කාලයක තමයි ‘මිස් ජෙනිස්’ තිරගත වුණේ. මිස් ජෙනිස් නැරැඹීමට ප්‍රේක්‍ෂක ජනතාව නැවැත සිනමා ශාලාවලට එකතු වීමට ගත්තා.


ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නයන් සමඟ තමයි ඔබට රඟපෑමට තිබුණේ?

ඔහු අද අප අතර නැතත්, ඔහුගේ මතකයන් ජීවමානයි. මගෙත් ලොකු ආසාවක් තිබුණා ඔහු සමඟ රඟපෑමට. ඔහු අවසන්වරට රඟපෑ චිත්‍රපට අතරින් එකක් තමයි ‘මිස් ජෙනිස්’ චිත්‍රපටය. ඔහු කාන්තාවක් විදියට වෙස්වළාගෙන තමයි මේ චිත්‍රපටයේ රඟපාන්නේ. කතාව මම කියන්න කැමැති නැහැ. චිත්‍රපටය නැවැත තිරගත වීමට තිබෙන නිසා.


ඔබ නිර්මාණවලට සම්බන්ධ වීමේ අඩුවක් අපි දකිනවා එයට හේතුව?

එහෙම අඩුවක් නැහැ. කතාබහ කරන ඒවට මම සම්බන්ධ වෙනවා. ඒ අතර මට නොගැළපෙන චරිත තිබුණොත් මම සම්බන්ධ වෙන්නේ නැහැ.


 නොගැළපෙන චරිත කිව්වෙ මොනවගේ ඒවද?

මෙහෙමයි. මම බිරියක්, ඒ වගේම මවක්. ඒ විතරක් නෙවේ මට සහෝදරියක් ඉන්නවා. ඒ හැමෝටම ආදර්ශයක් විය යුතුයි. ඉතින් මම කැමැති නැහැ නිකම් කරන්නම්වාලේ නිර්මාණවල රඟපාලා ප්‍රතිරූපයට හානි කරගන්න. අනෙක මට එහෙම ජනප්‍රිය වීමේ ආසාවකුත් නැහැ.


 ඔබේ ආදරණීය නැඟණිය ශෙහානි පෙරේරා මේ ක්‍ෂේත්‍රයේ තාරකාවියක්. ඇයගේ රඟපෑම ගැන ඔබ කොහොමද දකින්නේ?

ඇයත් මම වගේම ලැබෙන නිර්මාණයට උපරිම සාධාරණයක් කරනවා. හර්ෂ උඩකන්ද අධ්‍යක්‍ෂණය කළ ‘ෆේස් ටු ෆේස්’ චිත්‍රපටයෙත්, නාලක විතානගේ අධ්‍යක්‍ෂණය කළ ‘ඊතලය’ චිත්‍රපටයේත් ප්‍රධාන චරිත ඇය නිරූපණය කළා. ඇය මොන නිර්මාණයකට සම්බන්ධ වෙන්න ගියත් එය ගැන මුලින් මගෙන් අහලා තමයි සම්බන්ධ වෙන්නේ.


ගුවන් සේවිකාවක් ලෙසට කටයුතු කළ ඔබ එයින් ඉවත්වීම දුකක් නැතිද?

අනේ නැහැ. අවුරුදු හයක් විතර මම ගුවන් සේවිකාවක් විදියට කටයුතු කළා. රටවල් ගණනාවකට මම ගිහින් තියෙනවා. ඒ ලබපු අත්දැකීම් මට අද වගේ මතකයි. දැන් පවුලේ වැඩකටයුතුත් කරගෙන පුතා සමගින් සතුටින් ඉන්නවා.


වසන්ත විතාරණගේ